UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝසත් දරුවන්ට : ඉවසීමට පුරුදුවෙමු

ඉවසීමට පුරුදුවෙමු

පින්වත් දරුවනේ, අපි දස පුණ්‍ය ක්‍රියා තුළින් ඉවසීම ඇති කර ගන්නා ආකාරය පිළිබඳව කතා කළා. ඉවසීම ගැන දැන ගත යුතු තවත් බොහෝ කරුණු තිබෙනවා.

ක්ෂාන්තිය එසේ නැතිනම්, ඉවසීම පාරමිතාවක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. පාරමිතාවක් කියන්නේ පරතෙරට පැමිණවීමයි. ඒ කියන්නේ කෙලෙස් නමැති සාගරයෙන් එතෙර කරවන්නට සමත් වෙන විශේෂ ගුණධර්මයන්ටයි.

සත්වයන් මේ සංසාර ගමනේ නොයෙක් ආකාරයේ දුක් පීඩාවන්ට පත් වෙන්නට හේතු වන්නේ ක්ලේශ ධර්මයන්. ඒවාට අපි කෙලෙස් කියලා කියනවා. කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා දේශනා කළ පාරමිතාවන් අතර ක්ෂාන්තිය, නැතහොත් ඉවසීම අත්‍යවශ්‍ය ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දරුවනේ, සෑම සංස්කාර ධර්මයක් ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා. ත්‍රිලක්ෂණය කියන්නේ ත් එයටමයි. ත්‍රිලක්ෂණයට යටත් නොවන කිසියම් දෙයක් මේ ලෝකයේ නෑ. අනිත්‍යයි කියන්නේ ඉක්මනින් ම අභාවයට යාමයි. දුකයි කියන්නේ අප පීඩාවට පත් කරනවා කියන එකයි. ඒ වගේ ම ඇතිවෙලා, නැතිවෙලා ගියා ම ඉතිරිවෙන කිසිම දෙයක් නෑ. අනාත්මයි කියන්නේ තමන් කැමැති විදිහට නොපැවතීමයි. මේ පින්වත් දරුවො පවා කැමැති දේ ම යි සොය සොයා යන්නේ.

ඉතින් පෘථග්ජන මිනිස්සු මේ දෙයට මම කැමැතියි. මේ දෙයට මම අකැමැතියි කියලා බෙදා ගන්නවා. පෘථග්ජන පුද්ගලයා ලෝකයේ බොහෝ දේ අත් විඳින්නට උත්සාහ කරන්නේ තමන් මූලික කරගෙනයි. “පෘථග්ජනයා” කියන්නේ මේ සංස්කාර ධර්මයන් අතර එක කොටසක් මම, මගේ යනුවෙන් වෙන් කරගෙන, අයිති කරගෙන ඉන්නා කෙනාට. ඒ විතරක් නොවෙයි. එහෙම හිතන කෙනාට කියන්නේත් පෘථග්ජන කියලයි.

සංස්කාර කියන දේ එකතු කරනවා කීවා නේ. ඒවා එකින් එක බැඳිලයි පවතින්නේ. හරියට ජාලයක් වගේ. වෙන් කරන්නට නොහැකියි. ඉතින් මේ ජාලය තුළින් පෘථග්ජන කියන කෙනා මමය, මගේ ය කියලා කොටසක් වෙන් කරගන්නවා. ඒ විදිහට පුද්ගලිකව සිතන කෙනා, තමන් මුල් කරගෙන ලෝකය දකින කෙනා මේ මුළු ලෝකයම මම කැමැතියි, මම අකැමැතියි කියලා බෙදා ගන්නවා. එහි දී තමන් කැමැති දේ සිදුවෙන විට සතුටු වෙනවා. අකැමැති දේ සිදුවෙන විට දුක් වෙනවා. ඒ විතරක් නොවෙයි ඒවාට විරුද්ධ වෙනවා. ඉතින් දරුවනේ මේ වගේ දේ සිදු වෙන විට ඒ කියන්නේ, තමන් කැමැති, අකැමැති දේ හමුවේ විරුද්ධ නොවී සිටිනවා නම් එයයි ඉවසීම කියන්නේ. ක්ෂාන්තිය කියන්නේ.

ක්ෂාන්ති පාරමිතාව කියන්නේ ඒ ඉවසීම පිළිබඳ ගුණය නැවත නැවත පුරුදු පුහුණු කිරීම. කෙලෙස් ධර්ම මැඩ පැවැත්වීමට, කුසල ධර්ම වැඩීමට, ඒ වගේ ම සංයෝජන ධර්ම ප්‍රහාණය කරන්නට අවශ්‍ය වන ලෙස සිත පුරුදු පුහුණු කිරීම ක්ෂාන්ති පාරමිතාව ලෙස හැඳින්වෙනවා. දරුවනේ, ක්ෂාන්ති පාරමිතාව ලෙස දැක්වෙන්නේ කවරදේ ඉවසීම ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට තිබෙන ඉන්ද්‍රිය හයට ම සැපදායක දේ වගේ ම දුක් සහගත, කටුක, අප්‍රියජනක දේ අත්විඳින්නට සිදුවන බව. ඒ අකැමැති, කටුක දේ අත්විඳීමේ දී විරුද්ධ නොවී, තරහ ගන්නේ නැතිව ඉන්නට පුළුවන් නම්, ඒ කියන්නේ අකැමැති දේ හමුවේ තරහ ගන්නේ නැතිව ඉන්නට පුළුවන් නම් එයයි ඉවසීම. එහෙම නැතිනම් ක්ෂාන්ති පාරමිතාව ලෙස දැක්වෙන්නේ.

ඒත් දරුවනේ අපට පෙනෙන දෙයක් තමයි බොහෝ දෙනා ඉවසීම පුරුදු කිරීමේ දී බලහත්කාරයෙන්, හිරකරගෙන, දරාගන්නට උත්සාහ කිරීම. තමන්ගේ සිතට මහත් ආවේගයක් එනවා. ඒත් එළියට මතුවෙන්න දෙන්නේ නෑ. හිර කරගෙන ඉන්නවා. එය ඒතරම් හොඳ දෙයක් නොවෙයි. හිතේ තිබෙන දේ පිට නොකර, තද කරගෙන ඉන්න කෙනා කොයි මොහොතක හෝ ඒ ආවේගය පිට කරන්න පුළුවන්. බැලුමක් වුණත් පුම්බලා, පුම්බලා වැඩි වුණාම පුපුරා යනවා නේද? සමහරු කියනවා ඉවසීමේත් සීමාවක් තියෙනවා කියලා. මීට වඩා මම කොහොමද ඉවසන්නේ. ඉවසලා බැරිම තැනයි මම මේ දේ කළේ කියලා. දරුවනේ, ඉවසීම හරියට හඳුනා ගත්තා නම්, හොඳින් පුහුණු කළා නම් දිනෙන් දින ඒ ගුණය දියුණු වෙන්න ඕනෑ. එහෙම නැති වුණොත් ඉවසීමෙත් සීමාවක් තිබෙනවා යැයි සිතා, ඉවසන්නට ම නොහැකි තැන මහා ඝට්ඨනයක් ඇති වෙන්නට පුළුවන්. බලහත්කාරයෙන් කෙලෙස් යටපත් කර ගැනීම ඉවසීමේ පාරමිතාව නොවෙයි. පාරමිතාවක් වන්නේ ඒ කෙලෙස් ධර්මවලින් මනස නිදහස් කර ගැනීමෙනුයි. දරුවනේ, ඉගෙන ගන්නා කාලයේ වුණත් බාහිරින් එන කම්කටොළු, දුක්ඛ දෝමනස්සයන් ඉවසන්නට උත්සාහ කරන්න ඕනෑ. අපේ හිත්වල විවිධ ක්‍රමවලින් අමනාපයත් මතු වෙන්න පුළුවන්. ඒවායෙන් ලෝකයට හානියක් නොවන පරිදි බලහත්කාරයෙන් හෝ යටපත් කර ගැනීම හොඳයි. ලෝකයත් සමඟ හැපිලා, ගැටිලා, හිංසා, පීඩාවලට ලක්වෙනවාට වඩා. ඉතින් ඒ බලහත්කාරයෙන් යටපත් කරගෙන සිටින ආවේගයෙන් අනතුරක් නොවන්නේ සමාජයට පමණයි. තමන්ට අනතුරක් වෙනවා. එහෙම කෙනෙක් නිවැරැදිව ඉවසීම පුරුදු කරන කෙනෙක් වෙන්නේ නෑ.

ලෝකයට අනතුරක් නොවුණත් ක්‍රෝධය, වෛරය, පළිගැනීම සිතේ තැන්පත්ව තිබෙන කෙනා ඇතුළෙන් දැවෙනවා. සිතින් දැවි දැවී ඉන්නාවිට කිසිම දෙයක් සාර්ථකව කර ගන්නට නොහැකියි. මේ හැම දේටම මුල ඉවසීම හරියට හඳුනා නොගැනීම.

බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ තමන්ගේ, කැමැත්තට ඉඩ නොදී වෙනත් විදිහකට ලෝකයා ක්‍රියාත්මක වෙනවා නම්, තරහා නොගෙන ඉන්නා ලෙසටයි. ක්ෂාන්තිය කියන්නේ එයයි. තරහ සිතේ තද කරගෙන පිට නොකර සිටීම නොවෙයි. සිතෙනුත් නොගැටී සිටීමයි. අංගුත්තර නිකායේ චතුක්ත නිපාතයේ පටිපදා සූත්‍රයේ දී ඉවසීම පුරුදු කරන ආකාරය උගන්වා තිබෙනවා. මේ ඉවසීම, ක්ෂාන්තිය පුරුදු කරන ප්‍රතිපදාව කුමක් ද?

“ඉධ භික්ඛවේ එකච්ඡේ වා ඛමොහොති.....”

ආදී වශයෙන් සඳහන් වන ලෙස සීතල, ඌෂ්ණය, මැසි මදුරුවන්ගෙන් වන උවදුරු බහුලවෙන්න පුළුවන්. ඒ හැම මොහොතකම ඉවසන්න බැරි වුණොත් කෝපය මතුවී, කෙලෙස් වැඩි වී ප්‍රාණඝාතාදී අකුසලවලට පවා යොමු වෙන්න පුඵවන්. ඒ නිසා සීතල, ඌෂ්ණය, කුසගින්න, පිපාසය, මැසි මදුරු උවදුරු ඉවසන්න පුරුදු වෙන්න ඕනෑ. ඒ කියන්නේ දරුවනේ මදුරුවන්ට දෂ්ඨ කිරීමට ඉඩ දී බලා ඉන්න කියලා නම් නොවෙයි. මේ උවදුරු වළක්වා ගන්න උපක්‍රමයක් යොදා ගන්න පුළුවන්. හැබැයි ඒ සතුන් මැරීම තහනම්. දරුවනේ, මදුරුවෙක් විදින විට සිතට තරහක් ආවත් තමන්ගේ මනස දූෂණය වෙනවා. ඒ නිසා මදුරුවාගෙන් බේරෙන්නටත් ඕනෑ. සිත දූෂ්‍ය වීම වළක්වාගන්නත් ඕනෑ. ඉවසීම හරිම ගැඹුරුයි නේද?

ඉවසීම නැතිවුණොත් කළයුතු මොනවා ද? නොකළ යුතු මොනවා ද යන්නවත් තේරුම් ගන්න බැරි වෙනවා. පටිපදා සූත්‍රයේ දී බුදු රජාණන් වහන්සේ උගන්වන්නේ බැහැරින් එන පීඩාවන් දරාගන්න කියලයි. ඒ වගේ ම,

“දිගච්ඡා පිපාසා”

පිපාසය, බඩගින්න ආදිය යම් ප්‍රමාණයකට ඉවසන්න ඕනෑ. නොකා නොබී ඉන්න කියලා නොවෙයි මේ කියන්නේ.

මේවාටත් ටික ටික හුරුවෙන්න ඕනෑ. නැතිනම් ඒ හැම වෙලාවක ම අපේ සිත නරක් වෙනවා. අපි දන්නවා ශාසන ඉතිහාසයේ ජාතක කතාවල, චරිතකතාවන්හි සමහර තාපසවරු, උපාසකවරු සමහර අවස්ථාවල දී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට තමන් සතු දේ දන් දී ඒ පිනෙහි සතුට භුක්ති විඳිමින් දින ගණනාවක් නිරාහාරව සිටි අවස්ථාවන්. කුස ගින්නේ සිටීම මොනතරම් අසීරු ද? ඒත් දරුවනේ, මනස සුපසන් නම්, පැහැපත් නම්, සතුටෙන්, ප්‍රීතියෙන් පුරවා ගන්න පුළුවන් නම් කය සුවපත් වෙනවා. බඩගින්න සමනය වෙනවා. සිත නරක් වෙන කොට, බඩගිනි, පිපාසය වැඩි වෙනවා. දෙගුණ තෙගුණ වෙනවා. තරහව කෝපය කියන්නේත් මහා ගින්නක්. කුසගිනි දැනුණාම, පිපාසය ඇති වුණාම ශරීරය පමණයි දැවෙන්නේ. තරහව කෝපය නිසා සිතත් ගතත් දෙකම දැවෙනවා. සිතට තරහක් ආවොත් ශරීරයේ සෛල දහස් ගණනක් විනාශ වන බව වර්තමානයේ විද්‍යාඥයන් විසින් පර්යේෂණ සිදුකොට සොයාගනු ලැබ තිබෙනවා. එවිට අපේ සිතත් ගතත් දෙකම විනාශ වෙන්න පුළුවන්.

දරුවනේ, පාසල් කාලයේ ගුරුවරු අවවාද කරනවා. දඬුවම් දෙනවා. ඒ දරුවන් හොඳින් හදන්නයි. අමනාපයකින් නොවේ. අම්මා තාත්තාගෙන් බැණුම් අහන්න ලැබෙනවා. මේ කිසිම අවස්ථාවක තරහ ගන්න එපා. ඉවසන්න පුරුදු වෙන්න ඕනෑ. ඉවසීමෙනුයි සැනසීම ලැබෙන්නේ.

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.16ට ලබයි.07 වනදා සිකුරාදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk