දුර්මත විදාරණය:
හරසුන් මතවාද කුමට ද?
සාරධර්ම සුරකිමු
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මැදගොඩ
අභයතිස්ස හිමි
බුදු සමය දාර්ශනික ඉගැන්වීම් සමුදායක එකතුවක් මෙන්ම, යථෝක්ත බෞද්ධ දර්ශනය පදනම්
කොටගෙන සකස් වූ ආචාර ධර්ම, වත් පිළිවෙත්, සංස්කෘතික කාරණා රැසක් ඒ වටා බැඳී පවතී.
දර්ශනයක් සමාජයක් තුළ බොහෝ කාලයක් පවතින්නේ එය සංස්කෘතියකින් වෙළාගත් කල්හි ය. එම
සංස්කෘතිය උපතේ පටන් මරණය දක්වා පුද්ගල ජීවිතය හා බැඳී පවතින්නක් විය යුතු ය. එතෙක්
සමාජයේ පැවැති ආගම ධර්මයන් විසින් ස්පර්ශ කරන ලද පුද්ගල ජීවිතයේ හා කුටුම්භගත
ජීවිතයේ යථෝක්ත සංස්කෘතික අවශ්‍යතාව ආගම විසින් සම්පූර්ණ නො කරන්නේ නම්, ඒ සඳහා
විකල්ප සෙවීමට ආගමිකයා නිරායාශයෙන් පෙළඹේ.
දරුවෙකුගේ උපත, නම් තැබීම, ඉඳුල් කටගෑම, අකුරු කියවීම, විවාහ මංගල්‍යය, මරණය
දක්වාවන මේ සියලු අවස්ථාවන් “ගෘහ්‍ය කර්ම” යනුවෙන් හඳුනා ගැනෙන අතර, යථෝක්ත ගෘහ්‍ය
කර්ම ඔස්සේ ආගම පුද්ගල ජීවිතයට බද්ධ වේ. යම් කෙනෙකු මියගිය අවස්ථාවේ දී ඔහු
වෙනුවෙන් පැන් වඩා පින් අනුමෝදන් කිරීම නිශ්ඵල, බුදු සමය අගය නො කරන ක්‍රියාවක් ලෙස
පසුගියදා එක්තරා දුර්මතධාරී කණ්ඩායමක් විසින් ප්‍රකාශ කරනු අසන්නට ලැබුණි. ඔවුන්ගේ
ප්‍රකාශ එසේ වූයේ වී නමුත් පැන් වැඩීම, අත පැන් වත් කිරීම බඳුු චාරිත්‍ර වඩා හරවත්
අර්ථයකින් සමාජය තුළ ක්‍රියාත්මක වී ඇත.
ශ්‍රී ලංකාවේ අතීතයේ දී රාජ්‍යත්වය පැවරීමේ දී ස්වයංජාත විලකින් කඩුව සෝදා එය සිදු
කිරීමත්, දේවානම්පියතිස්ස රජු දෙවැනිවරට අභිෂේක කිරීමේ පටන් ඉන්දියානු ක්‍රමවේදයට
අනුව පැන් කෙණ්ඩියෙන් හිසට දිය වත් කොට (අභිෂේකය) රාජ්‍යත්වය පවරා දීමත් සිදු
කෙරුණි. දරුවකු සසුනට භාර දීමේ දී මව්පියන් විසින් අතපැන් වත්කොට පවරාදීමේ
චාරිත්‍රයත්, දියණියක විවාහපත් කරවීමේ දී අතපැන් වත්කොට පතිකුලයට භාර දීමත් පෙරදිග
චාරිත්‍රය යි. පූර්වාරාමය,වේළුවනාරාමය, ජේතවනාරාමය, බුදු සසුනට පූජා කළේ ද මහා
විහාරය මිහිඳු මා හිමියන්ට පූජාකළේ ද අතපැන් වත්කොට ය.
මේ සියලු කරුණු ඔස්සේ පෙර දිග සමාජයේ යමක් පවරා දීමේ දී ජලය සාක්ෂි කොට පවරාදීම
දක්නට හැක ිය. පැන් වැඩීමේ චාරිත්‍රයේ දී ‘යථාවාරි වහා පූරා’ යන ගාථාවතුළ අදහස්
වනුයේ ගංගාවන් පිරී මහාසයුර පුරවන්නා සේ, මෙලොව පින් කොට දෙන පුණ්‍ය ශක්තිය පරලොව
පින් බලාපොරොත්තු වන අයට අනුමෝදන් වන බව ය. නො එසේව පැන් හරහා ගලායන පිනක් පිළිබඳව
අදහසක් එහි ඇත්තේ ම නැත.
අප පැරැණි සමාජයේ අඹ යහළුවා යන වචනයක් ඇතිවූයේ ‘අඹ” යන වචනයෙහි ඇති ‘ජලය’ යන අර්ථය
සලකාගෙන ය. (අඹ=ජලය) ජලය බිංඳු කොපමණ එක බඳුනකට රැස් වුවද, එම ජල බිඳු වෙන වෙනම
හඳුනා ගත නො හැකිව එකම ජලය වන්නා සේ මිත්‍රත්වය යනු ජලය මෙන් එකට බැඳී පවතින්නක් බව
මෙහිලා අදහස් වූවා විය හැකි ය.
ජලය යනු ජීවිතයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. ජලය සාක්ෂ කොට යමක් පවරා දේ නම්, එය
එතරම් ම උසස් පැවරීමකි. යම්කිසි පිනක් සිදුකොට එවන් ප්‍රායෝගික ක්‍රියාවලියක් තුළ ම
පින පවරා දීමේ කටයුත්ත සිදුවන විට පින් දෙන පුද්ගලයාගේ මනස ද ඉතා තදින් එම
ක්‍රියාවෙහි නිමග්න වේ. මුලින් සඳහන් කළ ආකාරයට පැන් වැඩීම නමැති මෙම සංස්කෘතික
බද්ධ කරුණ බෞද්ධ දර්ශනය හා නො සැසඳේ යැයි ප්‍රතික්ෂේප කිරීමෙන් ශාසනයට වන යහපතක්
නොමැති අතර, සාමාන්‍ය පුද්ගලයාගේ මියගිය අය වෙනුවෙන් යමක් කිරීමේ වුවමනාව වෙනත්
අතකට යොමු වීමෙන් ඔවුන් විවිධ මිත්‍යා ඇදහිලි වෙත ඇදී යාමට හැකියාව ද ඇත. එබැවින්
බෞද්ධ දර්ශනය තුළ ඉගැන්වෙන මියගියවුනට පින්පෙත් අනුමෝදන් කිරීමේ උතුම් සාරධර්මය ද
මෙම පැන් වඩා පින් දීමෙන් ඉටුවන්නේ වෙයි.
මෙවන් සංස්කෘතික බද්ධ කරුණු සමාජයට බොහෝ කාලයක් මුළුල්ලේ ස්ථාපිතව පවතින්නේ කුමක්
සඳහා දැයි අවධානයට නො ගෙන ඒ වෙනුවට නවීන මතධාරීන් ලෙස පෙනී සිටිමින් විදග්ධයන් යැයි
සිතමින් අතළොස්සක් දෙනාගේ සිත පින වීමට ද කටයුතු කරන්නෝ ඒ හරහා සිදුවන මහා
සංස්කෘතික හානිය ගැන සිය අවධානය යොමුකළ යුතු ය. එමෙන් ම මෙම හරසුන් මතවාද නිසා
බෞද්ධයන් විවිධ මිත්‍යාදෘෂ්ඨින් කරා ගමන් කිරීමට ඇති හැකියාව වළක්වාලීම පිළිබඳව සිය
අවධානය යොමු කළ යුතු ය.
- රමණී සුබසිංහ |