UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන් වදාළ සුත්ත නිපාතය

බුදුරදුන් වදාළ සුත්ත නිපාතය

අද පටන් අප ඉගෙන ගන්නේ ඛුද්දක නිකායට අයත් උතුම් ධර්ම ග්‍රන්ථයක් වන සුත්ත නිපාතයේ සඳහන් අසිරිමත් සම්බුද්ධ දේශනා පිළිබඳව යි.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ආරම්භයත් සුන්දර යි. මැදත් සුන්දර යි. අවසානයත් සුන්දරයි. ශ්‍රී සද්ධර්මය වනාහි ප්‍රණීත රසැති මධු ගුලාවක් වැන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේ සුත්ත නිපාතයේ අට්ඨක පාරායන වර්ගයන්, ගිහි ගෙදර බ්‍රහ්මචාරී ව වාසය කළ නන්දමාතා වැනි උතුම් කුල කාන්තාවෝ කට පාඩමින් දරාගෙන සිටියහ. නමුත් අද තත්ත්වය ඊට හාත්පසින් වෙනස් ය. “සුත්ත නිපාතය” යන නම පවා බොහෝ දෙනෙකුට නුහුරු ය. මේ නිසා මහා නිධානයක් සැඟව පවතින්නාක් සේ අමිල වූ මහානීය ශ්‍රී සද්ධර්මය සාමාන්‍ය ජනතාවගෙන් දුරස් වී පවති. මෙම පූජනීය ග්‍රන්ථයේ සිරි සම්බුද්ධ දෙසුම් හැත්තෑවක් ඇතුළත් වේ. එම සදහම් දෙසුම් ඔබේ හද නැඟෙන දුක් තැවුල් පිස දමාවි. ඔබට සහනය ලබා දෙයි. ඔබේ බුද්ධියේ නිම්වළලු පුළුල් කරවයි. ඔබ ශාන්ත සුවයට පත් කරව යි. ඔබේ විමසුම් නුවණ තියුණු කරවයි. ඔබට සුන්දරත්වයෙන් පිරී ගිය, අධ්‍යාත්මික ගුණයෙන් සුපෝෂිත ජීවිතයක් ලබා දෙයි.

ඔබත් මේ ශී‍්‍ර මුඛ බුද්ධ දේශනා විවේක සිතින් කියවන්න. යළි යළිත් කියවන්න. තේරුම් පැහැදිලි කර ගන්න. නුවණ මෙහෙයවීමට මහන්සි ගන්න. ටිකෙන් ටික ඔබ යහපත් වනු ඇත. ශාන්ත වනු ඇත. අධ්‍යාත්මික ව ඔබ ධනවත් වන ආකාරය ඔබට ම ප්‍රත්‍යක්ෂ වනු ඇත. දෙදහස් පන්සිය වසරකට පෙරාතුව පිරිනිවන් පා වදාළ අපගේ ශාස්තෘන් වහන්සේගේ අසිරිමත් සද්ධර්ම ශරීරය අදටත් ජීවමාන ව වැඩසිටින ආකාරය ඔබට දැක ගත හැකිවනු ඇත. කෙමෙන් කෙමෙන් ඔබ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අධ්‍යාත්මික ව ළංවන ආකාරය ඔබට ම ප්‍රත්‍යක්ෂ වනු ඇත. භාග්‍යවතුන් වහන්සේ වදාළේ පින්වත් ආනන්දය, යම් ධර්මයක් මා විසින් දෙසන ලද්දේ ද, යම් විනයක් පණවන ලද්දේ ද, මාගේ ඇවෑමෙන් පසු එය ඔබලාට ශාස්තෘ වන්නේ ය කියායි. එමෙන් ම වක්කලී, යමෙක් ධර්මය දකීනම්, හේ මා දකින්නේ ය. යමෙක් මා දකින්නේ නම්, හේ දකින්නේ ධර්මය යි.

වක්කලී , ධර්මය දකින කෙනා මා දකින්නෙකි. මා දකින කෙනා ධර්මය දකින්නෙකි. යනුවෙන් ශාස්තෘන් වහන්සේ වදාළ කරුණ අප ප්‍රායෝගික ව ජීවිතයට ගලපා ගත්තා වන්නේ ද එවිට ය.

සුත්ත නිපාතයේ අසිරිමත් සම්බුදු දෙසුම් පෙළගැසී ඇති අන්දම

මෙම සුත්ත නිපාතයේ අසිරිමත් දෙසුම් සැත්තෑවක් පෙළගස්වා ඇත්තේ උරග වර්ගය, චූල වර්ගය, මහා වර්ගය, අට්ඨක වර්ගය, පාරායන වර්ගය යන ප්‍රධාන කොටස් පහ යටතේ ය. එහි උරග වර්ගය උරග, ධනිය, ඛග්ගවිසාණ, කසී භාරද්වාජ, චුන්ද, පරාභව, වසල, කරණීය මෙත්ත, හේමවත, ආළවක, විජය, මුනි යන සූත්‍ර දේශනා දොළොස ඇතුළත් වේ. දෙවැනි චූල හෙවත් කුඩා කොටස් රතන සූත්‍රය, ආමගන්ධ, හිරි, මංගල, සුචිලෝම, කපිල, බ්‍රාහ්මණ, ධම්ම නාවා, කිං සීල, උට්ඨාන, රාහුුල, නිග්‍රෝධකප්ප, සම්මා පරිබ්බාජනීය, ධම්මික යන සූත්‍ර දේශනා දහ හතර ඇතුළත් වේ.

තුන්වැනි ව ඇති මහා වර්ගය හෙවත් ලොකු කොටසේ පබ්බජ්ජා සූත්‍රයෙන් ආරම්භ වී පධාන, සුභාසිත, සුන්දරික, භාරද්වාජ, මාඝ, සභිය, සේල, සල්ල, වාසෙට්ඨ, කෝකාලික, නාළක, ද්්වතානුපස්සනා යන අර්ථවත් සම්බුද්ධ දේශනා දොළොසක් ඇතුළත් වේ. හතරවෙනු ව ඇති අට්ඨක වර්ගයේ සඳහන් වන්නේ ගාථා අට බැගින් වදාළ රමණීය දේශනා ය. එහි කාම සූත්‍රය, ගුහට්ඨක, දුට්ඨට්ඨක, සද්ධට්ඨක, පරමට්ඨක, ජරා, තිස්ස මෙත්තෙයි්‍ය, පසුර, මාගන්දිය, පුරාභේද, කලහවිවාද චූල, වියුහ, මහා වියුහ, තුවටක, අත්තදණ්ඩ, සාරිපුත්ත සූත්‍රය යන අමා දම් වෑහෙන උතුම් සම්බුද්ධ දේශනා දහසයක් අන්තර්ගත වේ.

පස්වෙනි පාරායන වර්ගයේ ඇතුළත් වන්නේ ගම්භීර දහම් අර්ථ ඇති මේ සසරෙන් එතෙර කරවන ධර්මයන් ඇතුළත් පරම ගම්භීර දේශනා දහසයකි. අජිත, තිස්සමෙත්තෙයි්‍ය, පුණ්ණක, මෙත්තගු, ධෝතක, උපසීව, නන්ද,, හේමක, තෝද්‍යෙය, කප්ප, ජතුªකණ්ණි, භද්‍රාවුධ, උදය, පෝසාල, මෝඝරාජ, පිංගිය එම දේශනා වේ. එම දේශනාවන් වදාරණ ලද්දේ ගෝධාවරී ගංතෙර පන්සියයක් තාපස පිරිස සමගින් තවුස්දම් පිරූ බාවරී තාපසයාගේ ප්‍රධාන ශිෂ්‍ය තාපසවරු දහසය දෙනා උදෙසා ය. එම සෑම දේශනාවක් අවසානයේ දී ම උතුම් රහතන් වහන්සේලා බිහි වූ අතර ශිෂ්‍ය තාපසවරු පන්සිය දෙනා ම උතුම් විමුක්තිය සාක්ෂාත් කොට බුදු සසුනේ උතුම් අරිහත් පැවිදි ශ්‍රාවකයන් බවට පත් වූ සේක.

සුත්ත නිපාතය ග්‍රන්ථ පහළොවකින් සමන්විත වූූ සද්ධර්ම මංජුසාවක් බඳු ඛුද්දක නිකායේ පස්වැනි ග්‍රන්ථය යි. එක්දහස් එකසිය පනස් හතරක් (1154) ගාථාවන්ගෙන් ප්‍රතිමණ්ඩිත වූ සුත්ත නිපාත ග්‍රන්ථයට ඒ නාමය යෙදුනු අයුරු පැහැදිලි කොට ඇත්තේ මෙ ලෙසිනි.

සුත්ත නිපාතය

තමන්ටත්, අන් අයටත් යහපත ඇති කරන, මනා අර්ථය ප්‍රකාශ කරන හෙයින් ද, හිික්මවිය යුතු ජනයාගේ අදහස්වලට, චරිතයට අනුරූප කොට වදාළ හෙයින් ද, වී ආදි ධාන්‍යඵල උපදවන්නා සේ, යහපත් ප්‍රතිපල උපදවන හෙයින් ද, දෙනකගෙන් කිරි දොවන්නා සේ උපායසම්පන්නයාට හිතසුව පිණිස නිසා ද, පිළිපදින අය මැනවින් රකිනා හෙයින් වඩුවාට දැලි නූල සෙයින් ප්‍රඥාවන්තයාට ප්‍රමාණ වන හෙයින් ද, හුයෙන් ගෙතූª මල් නො විසිරෙන්නා සේ පාලියෙන් ගෙතූ අර්ථයන් නො විිසිරෙන හෙයින් ද, උරග සූත්‍රා දී ධර්මය සුත්ත යැයි ප්‍රකාශ කරන ලදී. සංගායනාවට නගන ලද ග්‍රන්ථය මහා කාශ්‍යප ආදි මහතෙරවරුන් විසින් සුත්ත නිපාතය යනුවෙන් නම් කරන ලද සේක.

සුත්ත නිපාතයේ අට්ඨක පාරායන වර්ගයේ සූත්‍ර දේශනා හා ඛග්ගවිසාණ සූත්‍රය විස්තර විභාග කරමින් ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් චූළ නිද්දේස, මහා නිද්දේස, යන ධර්ම පර්යායන් වදාළ සේක. එම නිද්දේස පාලිය ද ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථයකි.

මෙම සුත්ත නිපාතයට අයත් ධර්ම පර්යායන් බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ දී ම ගිහි පැවිදි ශ්‍රාවකයන් මතකයේ දරාගෙන මිහිරි ස්වරයෙන් සජ්ඣායනා කොට තිබේ. එමෙන් ම අර්ථ නුවණින් විමසමින් එම ධර්ම කාරණා ජීවිතයට ගලපා ගෙන තිබේ. මෙහි සදහන් දේශනා සියල්ලක් ම පාහේ උතුම් මගඵලලාභී් රහතන් වහන්සේ බිහිකළ දේශනාවන් ය. මහාකච්චායන මහරහතන් වහන්සේ වෙතින් සුත්ත නිපාතයේ අට්ඨක පාරායන වර්ගය ඉගෙනගත් සෝණ කුටිකණ්ණ තෙරුන්, බුදුුරජාණන් වහන්සේ සමීපයෙහි සජ්ඣායනා කොට පැසසුම් ලැබූහ.

තව ද, ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා නිතර අසත් නම්, දරත් නම්, මැනවැයි කියා හාබ්‍රෑ ශිලා ලිපියෙහි දැක් වූ මුනි ගාථා හෙවත් මෝනෙය්‍ය සූත්‍රය සහ සාරිපුත්ත සූත්‍රය යන ධර්ම පර්යායන් ද, මේ සුත්ත නිපාතයට ඇතුළත් වේ. මේ අනුව බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ පටන් ම මේ සුත්ත නිපාතය ගිහි පැවිදි ශ්‍රාවකයන්ගේ මහත් සම්භාව්‍යයට පත්ව තිබුණි.

අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සුත්ත නිපාතයේ සඳහන් සූත්‍ර දේශනා අර්ථ විවරණ හා විස්තරාර්ථ සපයමින් දේශනාවන් හි පසුබිම් විස්තර කරමින් පරමත්ථ ජෝතිකා නම් අටුවාව රචනා කරන ලදී.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 23 වන දා අඟහරුවාදා අපර භාග 10.34 ට ලබයි. 24 වන දා බදාදා අපර භාග 10.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]