වෙසතුරු සිරිත දන්නෝ දෙ ලොවම ජය ලබන්නෝ
බළන්ගොඩ රාධ හිමි
අමාවක රෑ පහන් තරුව මෙන් ඒ අසිරිමත් බුදු නුවණ ප්‍රභාස්වර ය. එය ගිම් නිවන පැන්
පොකුණක් මෙන් ලෝ සතුන්ගේ සසර ගිම් නිවාලයි. විභජ්ජවාදී ඒ උතුමාණෝ බිම්සර, කොසොල්
වැනි මහා රජදරුවන්ට ද, පොක්ඛරසාති, පොට්ඨපාද වැනි ත්‍රිවේදයේ කෙළ පැමිණි බමුණන්ට
ද,අනේපිඬු , උග්ග ආදි මහා සිටුවරයන්ට ද, සුනීත, සෝපාක වැනි අන්ත අසරණයන්ට ද,
කිසාගෝතමී, පටාචාරා වැනි හැඳිවත පවා ගිලිහුන බව නොදත් අහිංසකාවන්ට ද දම් දෙසූහ.
නිකෙලෙස් හද මඬලක ඇති නිරාමිස සතුටේ උණුසුම කරා ඔවුන් ගමන් කර වූ සේක.
ඉන්ද්‍රිය පරොපරියත්ත ඤාණයෙන් සමන්වාගත බුදුරජාණන් වහන්සේ ඒ ඒ සත්ත්වයන්ට ගැළපෙන සේ
දහම් දෙසූ සේක. ඒ සඳහා උපයුක්ත ශාස්තෘ මුනිවදන “සුත්ත , ග්‍යෙය, වෙය්‍යාකරණ , ගාථා,
උදාන, ඉතිවුත්තක,ජාතක,අබ්භූතධම්ම, වේදල්ල” වශයෙන් නව වැදෑරුම් ය. ඒ අතරින් ජාතක
කථාව සඳහා කුඩා බිළිඳාගේ පටන් වැඩිහිටි මහල්ලා දක්වා ඇත්තේ අතෘප්ත
ශ්‍රවණකාමීත්වයකි.
ඒ ලොව්තුරු සැනසුම සොයන අසහාය ගමන් මඟ මහ බෝසත් ප්‍රතිපදාව ය. ඝන තිමිර බව අඳුර
නසනා, ඥාන නම් අසිපතට පන්නරය වූයේ එම පාරමිතා ගමනයි. ඒ නිසා දුකින් මිදී නිවන්
දකිනු කැමැත්තෝ ඒ අතීත බෝසත් කථා දැනගනු කැමැත්තා හ. හේතුව නම්, ඒවායින් ප්‍රකට
වන්නේ සිතෙහි වැඩුණ ලෝභ,ද්වේෂ, මෝහ යන අකුසල් මුල් හඳුනාගනිමින් ඒවා ජයගත් ආකාරය
බැවිනි.
තථාගත නුවණින් අවබෝධ කොට වදාළ ඒ ලොව්තුරු දහම සර්වඥතා ඥානයෙන් මිස අන් සත්ත්වයන්
නොදකින නිසා ‘ගාම්භීර’ ය. එහෙයින් ම නිවැරැදි ව දැක්ම උගහට වන්නේ ‘දුද්දස’ ය. ඒ
දැකීමේ අපහසු බව නිසා ම ‘දුරනුබෝධ’ය. එමගින් සියලු කායික – මානසික තැවීම් නිවන නිසා
ම ‘සන්තය’, උත්තම වූ ඥාන විෂයයට පමණක් ගෝචර හෙයින් හා හුදෙක් තර්කයෙන් බැසගත නො
හැකි නිසා ‘අතක්කාවචර’ ය. කෙලෙසුන්ට වහල් වූ නුනුවුණ බාලයන්ට, අවිෂය වීමත්,
නුවණැත්තන් හට තලු මරමින් රසවිඳිය හැකිවීම නිසාත්, “පණ්ඩිත වේදනීය’ ය. එ නමුත් දුගී
පැල්පතේ අහිංසක නූගත් දුප්පතාගේ පටන් රූප බඹලොව බක බ්‍රහ්මයන් තෙක් දෙව් මිනිසුන්ට
ම දහම අවබෝධ කරවිය හැකි අයුරු බුදු නුවණින් දන්නා ලදී. ඒ නිසා ගැඹුරු දහම සරල ව
වටහා දීමට උපයුක්ත මාධ්‍යයන් අතරින් ජාතක කථාවට සුවිශේෂී තැනක් හිමි වේ.
කුසෙන් වැදූ ළතෙත් මව්ගෙන් අනියත විවරණ ලත් දා පටන්, දීපංකර බුදුන් පාමුල වැදහෙව
නියත විවරණ ලත් සුමේධ තාපස දිවිය පසුකරමින් අවසන් වරට මනුලොව උපත ලත් වෙසතුරු දිවිය
තෙක් ඒ ජාතක කථා වස්තුන් පෙළ ගැස්වේ. දානා දී සමතිස් පාරමිතාවන්ගෙන් සිතේ ඇති වූ
කෙලෙසුන් දුරලමින් ආ ගමන එයින් විද්‍යමාන ය. එහිලා ද සත් වතාවක් මහ පොළොව කම්පා
කරවමින් පරමාර්ථ වශයෙන් දාන පාරමී පිරූ අයුරු විශ්වන්තර මහා ජාතක වස්තුවෙන් දේශිත
ය.
දෙව් ලොවින් සැවැ වෙළෙඳ වීථියක දී උපන් බැවින් අප බෝසතාණෝ ‘වෙස්සන්තර’ නම් ලත් හ.
උපන් සැණින් ‘මව්නි! දන් දෙනු කැමැත්තෙම්. කුමක් ඇත්තේ දැ’යි විමසූහ. එවිට අත තැබූ
දහසින් බැඳි පියල්ල කිරිමව්නට දී දන්දීම ඇරඹියේ මව්කිරි දෙතොල් ගෑවීමටත්, පෙර ය. අට
හැවිරිදි වියේ දී ඇස්,ඉස්, ලේ,හෘදය මාංශ උගුලුවා දන්දීමේ සිතිවිලි හමුවේ මහ පොළොව
කුඹල් සකක් සේ කම්පා විය. ගෞතම නමින් බුදු වනදා පි‍්‍රය යශෝධරා තොමෝ, එදින මන්ද්‍රී
දේවී නමින් ස්වාමි දියණි වූවා ය. සිල් බලන්නන් අතරින් අගතැන් වන රාහුල භද්‍ර මහා
තෙරණුවෝ එදින ජාලිය කුමරාණෝ වූහ. ඍද්ධිමත් මහා තෙරණින් අතර අගතැන් ලබන්නී උපුල්වන්
මෙහෙණ එදින ක්‍රිෂ්ණජිනා දියණිය වූවා ය.
දසරාජ වතින් ජයතුරා නුවර සනහා රාජ්‍යය කරවන විට කළිඟු රටෙහි විශාල දුර්භික්ෂයක්
ඉපැදිණ. එකල ද සිය දරුවනට මෙන් මුළු ලොවටම මෙත් සිතැති මහා බෝසතාණෝ ඔවුනට පිහිට වූ
හ. ඒ අකලට මහ වැසි වස්සවන ඇලි ඇතු දන් දීමෙනි. දෙවිවරු සාධුකාර දෙමින් සතුටු වුව ද
රටවැසියෝ ඊට කිපුණහ.රාජ්‍යයෙන් පහකර වංකගිරි මහවනයට නෙරපීම දඬුවම විය. ලොවින් මිදී,
අත්හැරුමෙන් විඳින සැපය දත් වෙසතුරු රජ අළුයම කෙළ පිඬකටත් තරම් නොවන නර සැප අත්හළේ
අපමණ සතුටිනි. එනිසා ම වනයට වැඩියේ තමන්ට දොස් කී සියල්ලන්ට ආශිර්වාද කරමින්,
නොයෙක් දෑ සත් සියය බැගින් වූ සත්තසතික මහදන් දෙමිනි.
වනයෙහි අපමණ සතුටින් තවුස් ගුණදම් පුරා සත් මසක් ඇවෑමෙන් දිවාකල අහස් කුසට හිරුවන්
ජාලිය කුමරුන් දන් දුන්නේ ය. නිශා කල නැබ කුසට සඳුවන් ක්‍රිස්ණජිනාත් දන් දුන්නේ ය.
මිහිමඬල කම්පා වූ ඒ දන් පෙළහර අවසන් වූයේ පණ දෙවැනි කොට ස්වාමි සෙනහස් දැක්වූ
මන්ද්‍රී දේවීන් දන් දීමෙනි. ලොව්තුරා සැපතින් තමන් සැනහී ලොවක් සනහන්නට, මනුලොව දී
පිරූ අවසන් පෙරුම් දම්හි සංක්ෂිප්ත සටහන වෙසතුරු දාවෙහි කියැවෙන්නේ මෙලෙස ය.
අප තිලෝගුරු බුදුරජාණෝ දිවමන් කල්හි කිඹුල්වතට වැඩිදා තම ඥාති වර්ගයා සුවපත් කරමින්
මේ දේශනාව වදාළහ. එ කල ඔවුන් ලැබූ සැනසුම සියවස් විසි පහකට පසු අදටත් සාධාරණ ය.
සුචරිතවත් ජීවිතයක් කැමැති වුණට මෙය සදහම් අදාසයකි.
ලෞකික,ලෝකෝත්තර උභයාර්ථකාමීන් හට වෙස්සන්තර දිවියෙන් ලැබෙන්නේ මනා මාර්ගෝපදේශයකි.
දසරාජ ධර්මයෙන්, සතර සංග්‍රහ වස්තුවෙන් රට වැසියන් සුඛිත මුදිත කිරීම රජුගේ
ප්‍රමුඛාධ්‍යාශයක් විය යුතු ය. ගුණධර්ම වැඩීමට අවකාශ නැති රජ සැපට වුවත් නොඇලිය
යුතු ය. ඒ නිසා ම නගරය අතහැර රජු වංකගිරියට නික්මෙන්නේ සතුටින්ම ය. එසේ වුව ද. වනයේ
දී ද ඒ උතුමන්ගේ සිතෙහි ඇත්තේ එකම අදහසකි. එනම්, බෝසත් ගුණ පිරීමයි. ඒ නිසා කුමන
අභියෝග හමුවේ, කෙබඳු පරිසරයක නමුත් තමාගේ සත්පුරුෂ ප්‍රතිපදාව අත් නොහළ යුතු ම ය.
එලෙස එක් ව ගුණ පුරන පිරිස් සසරේ පවා එක්ව පින් පුරන වග ජාතකය තුළින් මොනවට ඉස්මතු
වෙයි.
බිළිඳු වයසේ නමුත් සිඟිති දරු දෙදෙනාගේ උතුම් සිතිවිලි ස්මරණය වේ. මව්පිය වදන්
හමුවේ ඔවුන් කීකරු වූ අයුරු විද්‍යාචක්‍රවර්තීන් මෙලෙස සිහිපත් කරයි.
“බමුණු මා දිවි ගනීවා ‘යි ම පියාණන් වහන්සේ ලූ හඬ අස අසා නොසිටිමි ‘ සිතා ‘එමි
අපච්චැ’යි කියමින් දරුවෝ දිව එති” ලොව සියල්ලන්ට මුල්ගුරු වන මව්පියන්හට කීකරු වීම
අතිජාත මනුෂ්‍ය ගුණාංගයකි.
මන්ද්‍රී දේවියගේ ජීවිතයෙන් ලොවට කියාපාන කාන්තා මනෝභාවය සහ ආකල්ප සම්පත්තිය අද
සමාජයට පූර්වාදර්ශයකි. සිහිනෙන් පවා දෙවැන්නකු නොපතන ඇගේ හදවත අපමණ ස්වාමි
භක්තියකින් පිරීගිය නිසා ම අව්‍යාජ ය. නිකැළැල් ය. උත්තම මාතෘත්වයකින් ළය පිරීගිය
ඇගේ දරු සෙනෙහස කෙතරම් ද යත් ඇගේ නෙත් සඟල දරුවන් ම ය. එ නිසා දස මසක් කුස හොවා
වැඩූ දරුවකු කෙරෙහි මවකගේ සෙනෙහසෙහි පරම දෘෂ්ටාන්තය මන්ද්‍රී දේවිය යි.
කෙලෙස් හමුවේ වසඟ වූ ද, සත් පුරුෂ උතුමන්ගේ ගුණ නොහඳුනන කාහට නමුත් දිනක අත්වන්නේ
ජූජකගේ දුක්ඛිත ඉරණම යි. මේ අනුව චින්තන විප්ලවවාදී සමාජයක සාරධර්ම ගුණවගාව පිණිස
වෙස්සන්තර ජාතක චරිත මහඟු මඟපෙන්වීමක් ලබාදෙයි.
පුද්ගල සුචරිතවත් භාවයට අමතර ව මෙම කතා වස්තුව ලාංකීය සමාජ සංස්කෘතියේ සංවර්ධනයට ද
වූ දායකත්වය මහත් ය. කාලයත් සමඟ කටුවෙන් ගසා ඔපමට්ටම් කළ ගල් කැටයමින් වංකගිරියේ
දරුවන් දන් දෙන වෙසතුරු රජුන් නිමවීමට තරම් මිනිස් සිත තුළ ළබැඳියාවක් ඇති විය. එසේ
චිත්‍රයෙන්, කැටයමින් පවා ලොව්තුරු ගුණ මහිමය නැවතත් ලොවට සිහිකර ලන්නේ දක්නවුන්ගේ
ද කලාකාමී හදවත් සනසමිනි. සීහළ බෞද්ධ මහා රණවිරුවාණන් වූ දුටුගැමුණු මහ රජ
ක්‍රි.පූ. 2 වන සියවසේ දී සත්රුවනින් එය මූර්තියට නැංවී ය.
“වෙස්සන්තරංතු විත්ථාරෙන අකාරයි
තුසිතපුරතො යාව බෝධිමණ්ඩං තථෙවච” (මහාවංශය)
රත්නමාලී අසදෘශ මහා ථූප වර්ණනාව ලිය වූ දඹදෙණි පැරකුම් රජු “ථූපවංශ” ගතෙහි ධාතු
ගැබෙහි වරුණ ඊට අනුව විස්තර කර ඇත. එ නිසා මූර්ති කලාවේ සද්භාවය පිණිස වෙසතුරු දාවේ
රුකුල ඉමහත් ය.
තුන්යම රැයක් පුරාවට දහසක් ගාථාවන්ගෙන් යුත් වෙසතුරු දාවෙන් දම් දෙසූ ව්‍යක්ත ජාතක
භාණක මහ තෙරුන් වහන්සේලා ලක්දිව වැඩසිටි සේක. නවීනත්වයෙන් සංකර නොවූ,
අව්‍යාජත්වයෙන් නිකැලැල් වූ එකල විසූ නූගත් මෙන් ම උගත් සහෘද වැසියෝ ඒ අසා අපමණ
බුද්ධාලම්බන පී‍්‍රතියක් ලැබූහ.
ඒ පිරිස අතර යොදුන් ගණන් දුර පියවි දෙපයින් ආ සැදැහැති උපාසක, උපාසිකා මෙන් ම,
භික්ෂූන් වහන්සේලා ද සිටියහ. එපමණට ම මෙම කථාව හා එහි ධර්ම සාර ය . මෙකල මෙන් ම එකල
ද ශ්‍රාවක හෘදයානන්දකර වග එයින් වැටහේ.
පන්හිඳෙන් පුස්කොළය මත මේජාතක කථා ලියැවෙන්නේ ක්‍රි.පූ. 1 වන සියවසේ අග භාගයේ දී ය.
අනතුරු ව බුදුගොස් හිිමියන් ක්‍රි.ව. 5 වන සියවසේ දී ඒවා පාලියට නඟන්නේ පිරිසුදු
බුදු වදනේ අමා රසය බිඳකුදු අඩු නොවන ලෙසින් ය. ඒ නිසා ම බුදුගුණ අළලා
විද්‍යාචක්‍රවර්තීන් විසින් ලියැවෙන අමෘතාවන නම් බුත්සරණෙහි රසවත් ම හා දීර්ඝතම
පරිච්ඡේදය වෙසතුරු පුවතින් හැඩ ගැන්වෙයි. පැරැන්නෝ මළගෙයක් වූ විට එහි රාත්‍රිය
ගතකළාහු, වෙස්සන්තර ජාතක කාව්‍ය කී හ. මළපොත කීම යනු මෙය යි. කුරුණෑගල යුගයේ පන්සිය
පණස් ජාතක පොත් වහන්සේ තුළ ද මෙය රසවත් ව විස්තර වේ. එනිසා සිංහල ගද්‍ය,
පද්‍ය,නාට්‍ය සහ ගීත කලාවන් වෙස්සන්තර පුවතින් පෝෂණය විය.
ජාතක වස්තුවේ බොහෝ තැන් නෙතට කඳුළක් මෙන් ම ළයට සුසුමක් නංවන මුත්, එතුළින් ජනිත
ශ්‍රද්ධා මහිමය බොහෝ ය. අට හැවිරිදි කුමරුගේ දානාධ්‍යාශය හමුවේ වීර රසයත්, පියතුම
පයේ වෙළී හඬනා දරුවන්ගේ ද, දරුවන් විමසා හඬනා මන්ද්‍රී දේවියගේ ද හඬ සිහිපත් වනවිට
සිතට කරුණා රසයක් නැගෙන්නේ නිසර්ගයෙනි. එලෙස ම සමස්ත වෘතාන්තය පුරාවට මහ බෝසතුන්ගේ
තාදි භාවය, ශාන්ත රසය ද ආදී කොට සියලු රසයන් ජනනය කරයි. මෙලෙස හෘදයාංගම භාවගීතයක්
මෙන් ජාතක වස්තු විකාශනය වේ.
බෝසත් කල වැඩූ ගුණයන්ගේ, පිරූ පාරමිතාවන්ගේ ප්‍රතිමූර්තිය අප්‍රතිම මහා කාරුණික
බුදුරජාණන් වහන්සේ ය. යමෙක් ඒ බෝසත් ගුණ අසා ද, දරාගනී ද, පුරුදු කරයි ද හෙතෙම ඒ
දහමේ සිසිලස විඳින්නට සුදුස්සෙකි. ඉපදෙන මියයන සසරින් එතෙර වනු වස් එය ඒකායන
මාර්ගයක් ද වනු නො අනුමාන ය. |