ජීවන ගමනට කළහොත් බාධා,
යා යුතු නිවනට කෙලෙසුන් පරදා
බළන්ගොඩ
ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහ නා හිමි
බුදුරජාණන් වහන්සේ චාලක පර්වතයෙහි විවේක සුවයෙන් වැඩසිටිති. එහි දී උන්වහන්සේට
උපස්ථාන කරමින් වැඩසිටියේ මේඝිය නමැති හිමිනමකි. මේඝිය හිමියන් පිණ්ඩපාතය සඳහා වැඩම
කර විවේක සුවයෙන් සිටීම සඳහා පිරිසුදු වැලිතලාවෙන් යුත් ‘කිමිකාලා’ නම් ගං ඉවුරට
වැඩම කළහ. එහිදී උන්වහන්සේට ලස්සන අඹ උයනක් දැක ගන්නට ලැබිණි.
ඒ අඹ උයන උන්වහන්සේගේ සිත්ගත් ස්ථානයක් විය. ඒ පරිසරය ද මිනිස්නුගෙන් තොර ය, නිහඬ
ය. නිසංසල ය. භාවනාව සඳහා සුදුසු වටාපිටාවක් ඇත. අවසර දුනහොත් මෙහි පැමිණ භාවනා
කරන්නෙමි’ යි සිතා බුදුරදුනට මේ බව දන්වා අවසර පැතී ය. වෙනත් හිමිනමක් මෙතනට
පැමිණෙනතුරු ඉන්න, එතෙක් ඉවසන්න යැයි මේඝිය හිමිගේ ඉල්ලීම දෙවැනි වරටත් බුදුරදුහු
ප්‍රතික්ෂේප කළහ. ‘බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ කළයුතු සියලු කාර්යයන් නිමකළ
කෙනෙකි. සියලු කෙලෙස් ප්‍රහීණ කර විමුක්තිය ලබා ඇත. මටත් ඒ විමුක්තිය ලබාගන්නට
අවස්ථාව සලසා දෙන්න’ යැයි බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියහ. මේඝිය, කමක් නැහැ, ඔබ
කැමැත්තක් කරගන්න යැයි අවසර දුන්හ. මෙයින් සතුටට පත් මේඝිය හිමියෝ තම සිත් ගත් අඹ
උයනට වැඩම කර භාවනාව සඳහා ගසක් මුල වැඩ සිටියහ. මෙහි දී මොනතරම් උත්සාහ කළ ද සිත
එකඟ කර
ගැනීමට නොහැකි විය. විවිධ අරමුණු කරා සිත දුවන්නට විය. මෙම අඹ උයන සංසාර
ගමනෙහි ආත්ම පන්සියයක් උද්‍යාන ක්‍රීඩාවේ යෙදුණු, හොඳට හුරු පුරුදු තැනකි. රජ සැප
විඳිමින් නටමින්, විනෝද වෙමින් සැප වින්දනය කළ ස්ථානයකි. මේඝිය හිමි මේ අඹ උයන දකින
විට සිත් ගන්නා සුළු ස්ථානයක් බවට පත්වීමට හේතු වූයේ ඒ අතීත ආත්ම ගණනක වින්දනය කළ
හුරු පුරුද්දයි. මේඝිය හිමිට මෙහි දී සිත එකඟකරගැනීමට නොහැකි වී සිත අලවන විවිධ
අරමුණු කරා ඉඳුරන් යොමු වූයේ, ඒ අතීත අත්දැකීම් සම්භාරය නැවැතත් මතුවීමෙනි, මොනතරම්
උත්සාහ කළ ද, සිත එක්තැන් කර ගැනීමට නොහැකි විය. කෙලෙස් වර්ධනය කරන විවිධ දර්ශන හා
සිතිවිලි තම සිතට ගලාගෙන ඒම වළක්වා ගැනීමට මේඝිය හිමි අසමත් විය. සිතට ගලා ආයේ කාම
සිතිවිලි ය, ව්‍යාපාද සිතිවිලි ය, විහිංසා සිතිවිල ය, තම අරමුණ ඉටුකරගැනීමට නොහැකි
බව තේරුම්ගත් මේඝිය හිමියෝ බුදුරදුන් හමුවට ගොස් අඹ උයනෙහි දී තම සිත තුළ ඇති වූ ඒ
වික්ෂිප්ත භාවය පැහැදිලි කළහ. බුදුරදුහු මේ ගමනට කැමැත්තක් ප්‍රකාශ නොකළේත්, මේඝිය
හිමිගේ බලවත් ඉල්ලීමට නිහඬ ව සිට ඔබේ කැමැත්තක් කරන්නයැයි පිළිතුරු දුන්නේත් මේඝිය
තෙරුනට මෙබඳු මානසික මට්ටමක් උදාවන බව කල්ඇතිව ම දුටු නිසා ය.
අරමුණෙන් අරමුණට පැන පැන යන මේ සිතේ ස්වභාවයත්, සිතේ ඇතිවන සැලෙන ස්වභාවයත්, එක
අරමුණක රඳවා තබා ගැනීමට අපහසුවන චපල ස්වභාවයත්, විවිධ අරමුණු කරා දුවන සිත එක
අරමුණක තබා ගැනීමේ දුෂ්කරතාවයත් පෙන්නුම් කරමින් මේඝිය හිමියනට බුදුරදුහු පහත
දැක්වෙන ගාථාව දේශනා කළහ.
ඵන්දනං චපලං චිත්තං - දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවී - උසුකාරෝ ව තේජනං
කරුණාවෙන් හා මෛත්‍රියෙන් තෙත් වූ හදවතක් ඇති බුදුහාමුදුරුවන් ධර්ම දේශනා කළේ
මිනිසුන්ගේ හදවතට ය. ඒ ධර්මය මිනිස්සු හදවතින් ම පිළිගත්හ. බුදුරදුන් ධර්මය දේශනා
කරන විට අසා සිටි හැම දෙනා ම කීවේ ‘මේ කරුණු කියන්නේ මටම ය, මේ කියන්නේ මා ගැනම ය ‘
කියා ය. හැම කෙනෙකු ගේ ම මනස විනිවිද දැකීමේ හැකියාව බුදුරදුන්ට තිබිණි.
මිනිසා යනු සිතෙහිත් කයෙහිත් එකතුවකි. සමාජය තුළ ජීවත්වන බොහෝ දෙනා තම ශාරීරික
සෞඛ්‍යය ගැන, ශරීරයේ පවිත්‍රබව ගැන සිතති. එය අලංකාර කර ගනිති. නමුත් මානසික
සෞඛ්‍යය ගැන, මානසික පවිත්‍රත්ත්වය ගැන උනන්දුවන අය ඉතා අඩු ය. සිත යනු පුදුමාකාර
බලවේගයකි. මුළු බුදු දහම ම පදනම් වී ඇත්තේ සිතමත ය. බුදු දහමේ මූලික අරමුණ සිත හදා
ගැනීමයි. සංයත, සංවර සිත සැප ගෙන දෙයි. අසංවර, අසංයත සිත දුකගෙන දෙයි. බුදු දහමෙහි
දක්වා ඇති ආකාරයට ‘සිත’ පිළිබඳ නිවැරැදි දැක්මක් වෙනත් කිසිදු ආගමක හෝ දර්ශනයක
දක්නට නැත. බෞද්ධයන් වන අපගේ මූලික ම අවධානය යොමුවිය යුත්තේ මුළු ජීවිතය ම මෙහෙයවන
මේ සිත ඵලදායී ලෙස සකසා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව යි.
අපිරිසුදු සිත යනු කුමක් ද? එය පාපකාරී සිතිවිලිවලින් හා කෙලෙස් සිතිවිලිවලින්
යුක්ත එකකි. අසීමිත ආශාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය හා භීතිය මේ පාපකාරී
සිතිවිලිවලට අයත් ය. අසීමිත ආශාව මොන ක්‍රමයකින්වත් තෘප්තිමත් කළ නොහැකි ය. එක
ආශාවක් තෘප්තිමත් වූ විට තවත් ආශාවක් පැන නඟියි. සිතේ ස්වභාවයත්, ක්‍රියාකාරීත්වයත්
හඳුනා ගැනීම මෙහි දී ඉතා වැදගත් වනු ඇත. අපි ඇසින් රූප දකිමු. කනින් ශබ්ද අසමු.
නාසයෙන් ගඳ සුවඳ විඳිමු. දිවෙන් රස බලමු. කයෙන් ස්පර්ශය ලබමු. මේ සියල්ල ම සම්බන්ධ
වන්නේ සිතට යි.
ප්‍රභාස්වර සිත, ප්‍රසන්න සිත බාහිරින් එන කෙලෙස් දූවිලිවලින් කිලිටිවන අයුරු
ධර්මයෙහි පෙන්නුම් කර ඇත. පිරිසුදු වතුර වීදුරුමතට දූවිලි ටිකක් මඩ ටිකක් එකතු වූ
විට එය මඩ වතුරක් බවට පත්වෙයි. අපේ සිත ද ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයට යි.
කෙලෙස්වලින් තොර සිත පිරිසුදු ය. සිත අපිරිසුදු කරන, කිලිටි කරන දූවිලි වර්ග පහක්
බුදු දහමෙහි පෙන්වා දී ඇත. ඒවා පංචනීවරණ ය.
කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීන මිද්ධය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාවය යන මේ
පංචනීවරණ සිතේ ඇති ප්‍රභාස්වර ගතිය නැති කරයි. කාමච්ඡන්දය යනු කම් සැපයට ඇති
කැමැත්තයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවලින් අප පිනවීම මෙයින් අදහස් කරයි. විවිධ
පාට වර්ග මිශ්‍ර වතුර බේසමක් තුළින් ඔබගේ මුහුණෙහි නියම ස්වරූපය දැකගත නොහැකි ය.
හේතුව පිරිසුදු ජලයට විවිධ පාට මිශ්‍ර වී තිබීමයි. මේ අයුරින් ම කාමච්ඡන්දයෙන්
යුක්ත, සිතට කිසිම දෙයක සැබෑ ස්වරූපය හඳුනාගත නොහැකි ය. කුසල්, අකුසල්, පින් පව් කළ
යුත්ත නො කළ යුත්ත අවබෝධ නොවනු ඇත. මේ අනුව කාමච්ඡන්දය මිනිසා අතරමං කරයි.
විනාශකාරී මං පෙතකට ඇද දමයි. මාරයාගේ ග්‍රහණයට හසු කරයි.
ව්‍යාපාදය යනු වෛරී සහගත සිතිවිලි ය. කිසියම් පුද්ගලයෙක් ගැන හෝ, කිසියම් වස්තුවක්
ගැන හෝ, කිසියම් ක්‍රියාවක් ගැන ඇතිවන අපි‍්‍රය ස්වභාවය, විරුද්ධ ස්වභාවය
ව්‍යාපාදයේ මූලික ලක්ෂණය යි.
වෛරී සිතිවිලිවලින් වන්නේ අප වඩාත් අයහපත්, අසතුටුදායක, අසහනකාරී මට්ටමට පත්වීම යි.
තමාටත්, ගෙදරටත්, ගමටත්, රටටත් මෙයින් සිදුවන්නේ වේදනාත්මක ප්‍රතිඵලයන් ය. උතුරන
වතුර ඇති භාජනයක් තුළින් මුහුණෙහි නියම තත්ත්වය දැකීම දුෂ්කරවේ. මේ අයුරින් ම වෛරී
ද්වේෂ සහගත සිතින් බලන්නාට කිසිම දෙයක හරි වැරැදි ද නොපෙනේ.
ථීන යනු සිතේ ඇති අලස බවයි. මිද්ධ යනු සිතිවිලිවල ඇති රෝගී ගිලන් ස්වභාවයයි. එනම්
අකර්මන්‍ය බවයි. මෙම නීවරණය ඇති තැනැත්තා කම්මැළිය. අලසය. උදාසීනය. කිසියම් පොකුණක
හෝ ජල බඳුනක පෙඳ පාසි ඇත්නම් එයින් අප මුහුණ බැලුවද නියම ස්වරූපය දැකගත නොහැකි ය. ඒ
අයුරින් ම ථීන මිද්ධ නීවරණය ඇති තැනැත්තාට ජීවිතයේ නියම ස්වභාවය වටහා ගැනීමට නොහැකි
වනු ඇත. ගිහි ජීවිතයක් ගත්තත්, පැවිදි ජීවිතයක් ගත්තත් මේ නීවරණයෙන් යුක්තනම් ඔහුගේ
අරමුණ සිහිනයක් පමණි. දියුණුවක් නැත. විමුක්තියක් නැත.
උද්ධච්ච යනු සිතේ පවතින නො සන්සුන්බවයි. කුක්කුච්ච යනු පසුතැවීමයි. එනම්, කළ වරද
ගැන, නොකළ යහපත් දේ ගැන පසුතැවීමයි. මේ දෙකම සිත නොසන්සුන් කරයි. රැළි නැගෙන,
සෙලවෙන වතුර බේසමකින් මුහුණ බැලීමට සමාන ය. හරි වැරැද්ද, කළ යුත්ත නොකළ යුත්ත
තේරුම් ගත නොහැකිය. කරන කියන සියලු දේ බිඳ වැටේ. ජීවන ගමන අවුලකි. සිත එක්තැන්
කිරීම දුෂ්කර ය. විචිකිච්ඡාව යනු සැකය යි.
කිසියම් කරුණක් පිළිබඳ ව නිවැරැදි අවබෝධය අඩුකම යි. ජීවිතයේ නොයෙක් අවස්ථාවන් හි
අපි සැක කරමු. නමුත් ඒ සියලු සැක නීවරණ ගණයට නො වැටේ. නිවනට බාධාවන සැක අටකි.
බුදුරදුන් පිළිබඳ ව, ධර්මය පිළිබඳ ව සංඝයා වහන්සේ පිළිබඳ ව, ත්‍රිශික්ෂාවන් පිළිබඳ
ව, පෙර භවය පිළිබඳ ව, පසු භවය පිළිබඳ ව, පෙර විසු භවයන් පිළිබඳව, පටිච්ච සමුප්පාදය
පිළිබඳ ව යනුවෙන් ඒ සැක කරන ස්ථාන අට දක්වා ඇත.
මෙය බොර වූ මඩ සහිත ජල බඳුනකින් මුහුණ බැලීමට සමාන ය. සත්‍ය දැක ගත නො හැකි ය.
විචිකිච්ඡා තියෙන තාක්කල් ඔහුට නිවනවැසී ඇත. මේ නීවරණ තුළින් සිතේ මතකය අඩු කරයි.
සතිය නැති කරයි. සිත අපවිත්‍රකරයි. අප කළ යුත්තේ පංචනීවරණවලින් අපේ සිත රැක ගැනීම
යි. එවිට අප තුළ ඇතිවන්නේ නිදහස් සිතකි. නිදහස් සිත සංසාර චක්‍රයට ගමන් නො කරයි.
පුනර්භවයක් ලබා නො දෙයි. උතුම් ම සුවය ලබාදෙනු ඇත. |