නා උයනේ
ශ්‍රී අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ
ස්වයං කථිත චරිත කථාව -03:
ඔය උතුරන තරමට වතුර පිරිලා
පින්කමට වැස්ස නතර වුණා
ස්වාමීන් වහන්සේ ගේ ඒකායන අධිෂ්ඨානය වූ පැවිදි බව කෙසේද? සිදුවුණේ,
“ඔය අතර පණ්ඩිත ස්වාමීන් වහන්සේ නියම කළා මාර්තු 27 මහණ පින්කම යෙදෙනවා කියලා. මම
පියතුමාට දැනුම් දුන්නා. අපේ පියතුමා අවශ්‍ය සියලු දේ සූදානම් කරගෙන තවත්
හතරදෙනෙකුත් සමඟ පැවිදි පින්කමට පෙර දින ආවා. බෝධිරක්ඛිත ස්වාමීන් වහන්සේත් වැඩියා.
නාගොල්ල ආරණ්‍යයේ වැඩසිටිය කනංකේ මුදිත ස්වාමීන් වහන්සේත් වැඩියා. උන්වහන්සේ මට
සිවුරු පිරිකර සකස්කර දෙන්න උපකාර කළා. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා හත්අටනමක් ගල්දූවේ
වැඩ හිටියා. මාර්තු 27 උදේ ධම්මාවාස ස්වාමීන් වහන්සේ මගේ හිසකෙස් බා දුන්නා. වනරතන
ස්වාමීන් වහන්සේ සිවුරු පඬු පොවලා සකස් කරලා දුන්නා. ඉතින් හැමෝම පිහිට වුණා. මහණ
පින්කම උදේ 8.30 ට පමණ ආරම්භ වුණා. අපි තුන් දෙනෙක් හිටියා මහණ වෙන්න. වයසක
දෙදෙනෙකුයි, මමයි. මම වයසෙන් අඩුයි. වයස දහඅටවත් පිරිල නෑ. එතැන වැඩ සිටියා ගරු
කටයුතු ස්වාමීන් වහන්සේලා කිහිප නමක්. මහෝපාධ්‍යයන් වහන්සේ (පූජනීය මාතර ඤාණාරාම
මාහිමි) පණ්ඩිත ස්වාමීන් වහන්සේ (පූජනීය කඩවැද්දුවේ ජිනවංස මාහිමි) ගැටමාන්නේ
පණ්ඩිත ස්වාමීන් වහන්සේ (පූජනීය ගැටමාන්නේ විමලවංස මාහිමි) පහතමුල්ලේ පියදස්සී
පණ්ඩිත ස්වාමීන් වහන්සේ, වලස්මුල්ලේ ඤාණාවාස ස්වාමීන් වහන්සේ හා ආරණ්‍යයෙහි
වැඩසිටිය අනෙකුත් ස්වාමීන් වහන්සේලා පැවිදි පින්කමට සහභාගී වුණා. මගේ සිවුරු පටිය
බැන්දේ මහෝපාධ්‍යයන් වහන්සේ යි. වැඩි දායක පිරිසක් හිටියේ නෑ. ගල්දූවේ මූලික දායක
මාතාව වූ සමලින් වික්‍රමරත්න සේනානායක මෑණියෝ කියලා තියෙනවා. මේ පොඩි හාමුදුරුවන්ට
ඉගැන්වීමේ කටයුතු සඳහා සියලු දේ බාර ගන්නවා කියලා. දින කිහිපයකින් නා උයනේ අරියධම්ම
යන නම ලැබුණා. ඔය විදිහට මා බලාපොරොත්තු වූ සසුන් පැවිද්ද සිද්ධ වුණා. දිනය 1957
මාර්තු 27 යි.
ඇදුරු පෙළපත
පූජනීය අරියධම්ම ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යාය ස්වාමීන් වහන්සේ වූයේ අතිපූජනීය මාතර
සිරි ඤාණාරාම මාහිමිපාණන් වහන්සේ ය. ආචාර්ය වූවෝ අතිපූජනීය කඩවැද්දුවේ සිරි ජිනවංස
මාහිමිපාණන් වහන්සේ ය. මේ දෙනම වහන්සේ ශ්‍රේෂ්ඨ ඇදුරු පරපුරක යතිවරු වූහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවා වදාළ අඹගහවත්තේ මහානායක මාහිමිපාණන් වහන්සේ
ප්‍රධාන රාමඤ්ඤ දේශයෙන් ගරු උපසම්පදාව ලැබූ සඟ පිරිසට නිශ්‍රයාචාර්ය වූයේ ද, ප්‍රථම
උපාධ්‍යායන් වහන්සේ වූයේ ද අතිගරු වරාපිටියේ සිරි සුමිත්ත මහා ස්වාමීන්ද්‍රයන්
වහන්සේ ය. ඒ මාහිමියන් වහන්සේ අපේ අතිගරු මාතර ඤාණාරාම ස්වාමීන් වහන්සේ ගේ
ප්‍රාචාර්යයන් වහන්සේ වූහ. එම වරාපිටියේ මාහිමිපාණන් වහන්සේගේ කිංකර ශිෂ්‍ය රත්නය
වූ ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි ප්‍රථම සඤ්ඤාලේඛකාචරිය වූ ද සුපුජ්‍ය මාතලේ
අග්ගධම්මාලංකාර මාහිමිපාණන් වහන්සේගේ විශිෂ්ට ශිෂ්‍යරත්නය වූවෝ අප ප්‍රධානාචාර්යයන්
වහන්සේ ය. ගරු කටයුතු ඤාණාරාම මහෝපාධ්‍යායයන් වහන්සේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම
සංස්ථාවේ ප්‍රධාන විනේතෘන් වහන්සේ වූහ. අනුරාධපුර හඳගල ආරණ්‍යාධිවාසීව වැඩ විසූ
ධූතගුණධාරී අතිපූජ්‍ය පුලියංකුලමේ දීපංකර මාහිමියන් වහන්සේ ගේ හා අතිගරු අඹගහවත්තේ
ඉන්ද්‍රාසභවරඤාණසාමි මහානායක මාහිමියන් වහන්සේගේ සුවච ශිෂ්‍ය වූවෝ අතිගරු වඳුරැස්සේ
රතනජෝති මාහිමිපාණෝ ය. තත් ශිෂ්‍ය පූජ්‍යපාද කඩවැද්දුවේ සුගුණතිස්ස මාහිමිපාණන්
වහන්සේගේ තත් ශිෂ්‍ය ගරුතර කැකණදුරේ ශ්‍රී ආර්යවිලාසාසහ මාහිමිපාණන් වහන්සේගේ
දීප්තිමත් ශිෂ්‍ය රත්නය වූවෝ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක හා ප්‍රධාන
අනුශාසක අතිගරු කඩවැද්දුවේ සිරි ජිනවංස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප කථානායක
මාහිමිපාණන් වහන්සේගේ පූජ්‍යතර ආචාර්යයන් වහන්සේ වූහ.
අඹගහවත්තේ මාහිමිපාණන් වහන්සේගේ පුනර්ජන්මය කඩවැද්දුවේ මාහිමිපාණන් වහන්සේ යැයි
සිතෙන තරමට කඩවැද්දුවේ ජිනවංස පඬිහිමිපාණන් ගේ සසුන් සේනාධිනායකත්වය ආශ්චර්යවත් ය.
හෙරණ බණ දහම් පුහුණුව
ස්වාමීන් වහන්සේ ගේ සාමණේර අවධිය ටිකක් විස්තර කළොත්...
“මා පැවිදි වී ගල්දූවේ ඉන්න ලැබුණේ දින තුනයි. නාථගණේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ
(ගැටමාන්නේ විමලවංස ස්වාමීන් වහන්සේ) අපත් සමඟ ඒ දින කිහිපය ගල්දූවේ වැඩ සිටියා.
මාර්තු 29 සවස ගැටමාන්නේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මට කියනවා. මේ පොඩි නමට මං ඉන්න
තැනට එන්න බැරිද? මම උගන්නන්නම් කියලා. මම කිව්වා. උපාධ්‍යායන් වහන්සේ අවසර දෙනවා
නම් මම එන්නම් කියලා. පස්සේ කඩවැද්දුවේ ස්වාමීන් වහන්සේ සමඟ කතා කරලා අවසර ගත්තා.
පසුවදා පාන්දර 4.00 ට පමණ මගට දානෙ හදාගෙන ගැටමාන්නෙ පණ්ඩිත ස්වාමීන් වහන්සේ වේරහැර
සාසනයෝගී ස්වාමීන් වහන්සේ පැවිදි වූ නවක ස්වාමීන් වහන්සේ, අතුරුගිරියේ සුධම්මානන්ද
ස්වාමීන් වහන්සේ, මමත් ඇතුළුව අපි පස් නමක් කැපකරුවෙකුත් සමග පිටත් වුණා. බසයෙන්
කොළඹට පැමිණ කොටුව බෞද්ධ මන්දිරයෙන් දානය වළදා එයින් නාථගණ ආරණ්‍ය බලා පිටත් වුණා.
නාථගණේට යනකොට සවස 5.00 විතර වුණා.
ගැටමාන්නේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මාව අවුරුද්දක් නවත්වාගෙන හොඳට ඉගැන්නුවා. මම ඒ
කාලයේ භාවනාත් කරනවා. හොඳ සතියෙන් තමයි ඒ කටයුතු කළේ. සතිය හොඳින් පුරුදු කළ නිසා
පාඩම් කිරීම බොහොම පහසු වුණා. ඒ කාලෙ මම මුළු පිරිත් පොතම පාඩම් කළා. සතිපට්ඨාන
සූත්‍රය පාඩම් කළා. ධම්මපදය, බාලාවතාරය, සූත්‍ර සංග්‍රහය වගේ බොහෝ දේ පාඩම් කළා.
හොඳට පාඩම් මතක හිටිනවා. ඉතින් ස්වාමීන් වහන්සේ අපට විශුද්ධි මාර්ගය ඉගැන්නුවා.
පාලි භාෂාවත් ඉගැන්නුවා. මමයි, සුධම්මානන්ද ස්වාමීන් වහන්සේයි පමණයි ඉගෙන ගන්න
සිටියෙ. සුළු පිරිසක් නො හිටියෙ. 1957 උපසම්පදා වුණු කිහිපනමක් ආරණ්‍යයට වැඩියා. ඒ
ඇත්තන්ටත් අධ්‍යාපනය දෙන්න ලොකු ස්වාමීන් වහන්සේට සිදුවුණා. ඉතින් මට කාලෙ ටිකයි. ඒ
ටික කාලයේ මම හොඳට අධ්‍යයන කටයුතු කරගත්තා.
ඇන්නර කුටිය කියලා ආරණ්‍යයේ ම ඈත කුටියක් තිබුණා. මම මාස 6 ක් ඒ කුටියේ විවේකීව වැඩ
සිටියා. භාවනා කළා. ලොකු අත්දැකීම් එතන දී ලැබුණා. භාවනා කිරීමේ දී මට සුළු
අසනීපයක් දැනුණා. පස්සේ නාථගණේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා පියාට දැනුම් දෙන්න
කියලා.
පියතුමා පැමිණ මාත් සමඟ නාඋයනට ගියා. කසායක් දීලා බෙහෙතක් හදලා දුන්නා. ඒකෙන්ම සුව
වුණා. ලොකු ස්වාමීන් වහන්සේ මට දැනුම් දුන්නා. ‘ආපසු එන්න’ කියලා. මම වැඩියා.
ගියදාට පසුවදා එනම් 1958 මැයි 02 වෙනිදා අලව්වේ අශෝකාරණ්‍යයට වැඩියා. එහෙ නේවාසිකව
වැඩ ඉන්න. එහෙ මම අවුරුදු දෙකක් ම ගැටමාන්නේ ස්වාමීන් වහන්සේගෙන් හොඳට ඉගෙන ගත්තා.
කවුරුත් හිටියේ නෑ. මම විතරයි ශිෂ්‍යයෙකුට හිටියේ. ඒ කාලයේ මජ්ක්‍ධිම නිකායම
කටපාඩම් කළා. බාලාවතාරය සම්පූර්ණ කළා. රූපසිද්ධිය පාඩම් කරමින් ඉගෙන ගත්තා. ලියන්න,
කියන්න, දේශනා කරන්න වැඩි වැඩියෙන් පුහුණු වුණා. ඔය අතර ආරණ්‍යයෙන් බැහැර ධර්ම
දේශනාවලටත් වැඩියා. පිරිස නැති නිසා. ඒ වගේම සිවුරු කපන්න, සිවුරු මහන්න පුරුදු
වුණා. මම උපසම්පදාවෙන්න සුදුසු පාඩම් ඉගෙන ගත්තා. කංඛාවිතරණී මාතිකට්ඨකතාව
සම්පූර්ණයෙන් ඉගෙන ගත්තා.
සිඛවළඳ, සිඛවළඳ විනිස සම්පූර්ණ කළා. ප්‍රාතිමෝක්ෂ සිකපද සතියකින් පාඩම් කරලා පාඩම්
දුන්නා. මහකුඹුක්වැව උත්තරවංස ස්වාමීන් වහන්සේ ළඟ අභිධර්මාර්ථ සංග්‍රහය ටික කලක්
ඉගෙන ගත්තා. ඔය අයුරින් සාමණේර කාලය අර්ථවත්ව ගත කළා.
උපසම්පදා ලාභය
ස්වාමීන් වහන්සේ උපසම්පදා වූ ආකාරය ගැන විස්තරයක් ලැබුණොත් හොඳයි
“ඔය අතර 1958 නොවැම්බර් 25 තිබුණා හදිසියේ යොදාගත්ත උපසම්පදා පින්කමක් නිමලව ඇටුල්ල
ජාතස්සරයේ. ඒ සඳහා ගැටමාන්නේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ලිපියක් යැව්වා. මගේ නමත්
යෝජනා කරලා. නමුත් ලිපිය ප්‍රමාදයක් හෝ වෙලා මගේ නම ඇතුළත් වී තිබුණෙ නැහැ. ඒ
උපසම්පදා පින්කමට ගැටමාන්නේ ස්වාමීන් වහන්සේ වැඩියේත් නැහැ. ස්වාමීන් වහන්සේගේ අදහස
ඉටු නොවූ නිසා, ඉන්පසු කඩවැද්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ සමඟ කතා කරල අපි ඉන්න තැන
උපසම්පදා පින්කමක් සංවිධානය කළා. රංවල ගම මැද්දෙන් යනවා කුඩා ඔය, එහි උදකුක්ඛේප
විසිතුරු සීමා මාලකයක් දායක පිරිස සකස් කළා. උපසම්පදා පින්කම දවස්වල තද වර්ෂාව
තිබුණා. නාථගණේ ලොකු ස්වාමීන් වහන්සේයි මමයි අපි දිනපතා වන්දනා කරන බෝධීන් වහන්සේ
ළඟට ගිහිල්ලා පහන් දල්වල වැඳල කිව්වා. මේ මහ පින්කමක් තියෙනවා. වර්ෂාව වහාම
නවත්වන්න කියල. වැස්ස සම්පූර්ණයෙන් නැවතුනා. ඔය උතුරන තරමට වතුර පිරිලා පාරවල්
මඩවෙලා තිබුණේ.
1959 ජූලි මස 15 වෙනි බදාදා දින උපසම්පදාව සිදුවුණා. උපාධ්‍යායන් වහන්සේ වුණේ මඩවල
ධම්මතිලක නිමලව ලොකු ස්වාමීන් වහන්සේ යි. මාතර ඤාණාරාම මහෝපාධ්‍යයන් වහන්සේ,
කඩවැද්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ, ගැටමාන්නේ ස්වාමීන් වහන්සේ, මූනගම සිරිසුමන
ස්වාමීන් වහන්සේ, දේවගොඩ මංගලසිරි ස්වාමීන් වහන්සේ යන පස්නම වරින් වර කර්ම වාක්‍ය
දේශනා කළා. ගණ පූරක වශයෙන් ස්වාමීන් වහන්සේලා සත් විසි නමක් වැඩහිටියා. මමත් සමඟ තව
සතර නමක් උපසම්පදා වුණා. බුලත්සිංහල විමලධම්ම හිමි, කෝදාගොඩ ජිනානන්ද හිමි, අහංගම
විනීත හිමි, දැරණියගල මේඝිය හිමි යන සතර නමයි. එදා සවස 3.50 ට මම උපසම්පදා වුණා. මේ
විදිහට බොහොම හොඳින් මගේ උපසම්පදාව සිදුවුණා.”
- රම්මුතුගල බුද්ධවංස හිමි |