UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවන ධර්ම සංගායනාව 5 කොටස: සෘද්ධිබල නා රජු දමනය වීම

තෙවන ධර්ම සංගායනාව 5 කොටස:

සෘද්ධිබල නා රජු දමනය වීම

"මහරහතන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අසා පැහැදුනු නා රාජු තිසරණ සහිත පංච සීලයෙහි පිහිටියේ ය. එසේ ම අසූ හාරදහසක් වූ නා පිරිවරේ හිමාලවාසී බොහෝ ගාන්ධර්වයෝත්, යක්ෂයෝත්, කුම්භාණ්ඩයෝත් තිසරණ සහිත පන්සිල්හි පිහිටියහ."

මෙම ලිපියේ මුල් කොටස බිනර අව අටවක  බුදුසරණ පත්‍රයේ පළ විය.

කාශ්මීර ගාන්ධාර දේශයට වැඩමවීම කළ මජ්ඣන්තික මහරහතන් වහන්සේ, එරට වැසියන් පෙළමින් සිටි අරවාළ නම් වූ නා රජු ප්‍රධාන සෘද්ධිමත් නාගයන් සිය අරහත් තෙදින් දමනය කොට වදාළ සේක.

ඉන්පසු මහරහතන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අසා පැහැදුනු නා රාජු තිසරණ සහිත පංච සීලයෙහි පිහිටියේ ය. එසේ ම අසූ හාරදහසක් වූ නා පිරිවරේ හිමාලවාසී බොහෝ ගාන්ධර්වයෝත්, යක්ෂයෝත්, කුම්භාණ්ඩයෝත් තිසරණ සහිත පන්සිල්හි පිහිටිියහ. එහි සිටිි පණ්ඩක නමැති යක්ෂයෙක් සිය බිරිඳ වන හාරිතා නමැති යකින්නිය ද, පන්සියයක් පුත්‍රයන් ද සමගින් අපගේ මහරහතන් වහන්සේගෙන් බණ අසා සෝවන් ඵලයට පත් වූ හ.

එවෙලෙහි කාශ්මීර ගාන්ධාර දේශවාසී මිනිසුන් නා රජුට පූජාවන් පැවැත්වීම පිණිස එතැනට පැමිණි අතර, මජ්ඣන්තික මහරහතන් වහන්සේ දැක ආදරයෙන් වන්දනා කොට එකත්පසව වාඩි වූ හ. එවිට මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ දෙසා වදාළ දෙසුමක් වන ආසිවිසෝපම සූත්‍රය මුල්කොට ධර්මය දේශනා කළ සේක. අසූ දහසක් ජනයාට ධර්මාවබෝධ වූ අතර, පසුව ලක්ෂයක් පුරුෂයන් මහරහතන් වහන්සේ වෙත පැවිදි වූ හ. කාශ්මීර ගන්ධාර පෙදෙස්වල බුදු සසුන එතැනින් ආරම්භ විය. මහවංශය රචනාකළ ක්‍රි.ව. 5 වන සියවස වනවිටත්, එම ප්‍රදේශයේ මිනිසුන් සැදැහැති බෞද්ධයන් ව සිටි අතර, කසාවතින් බැබැළුණු බව ද සඳහන් වේ.

මහාදේව මහරහතන් වහන්සේ මහිෂ මණ්ඩලයට වැඩම කොට මහජනතාවට සම්බුදු දෙසුමක් වන දේවදූත සූත්‍රය මුල්කොට දහම් දෙසා වදාළ සේක. සතළිස් දහසක් ජනයාට ධර්මාවබෝධය ලැබුණා සේ ම සතළිස් දහසක් පුරුෂයෝ උන්වහන්සේ ළඟ පැවිදිබවට පත් වූ හ. වනවාසී ප්‍රදේශයට වැඩම කළ රක්ඛිත මහරහතන් වහන්සේ අහසේ වැඩ සිටිමින් එහි රැස් වූ ජනයාට අනමතග්ග සංයුත්තය වදාළ සේක. එයින් දහසක් මිනිසුන් ධර්මාවබෝධය ලැබූ අතර, තිස් දහසක් දෙනා මහරහතන් වහන්සේ වෙතින් පැවිදි වූ හ.

තව ද, වනවාසී ප්‍රදේශයේ පන්සියයක් විහාරයන් ඇති විය. ගී‍්‍රක ජාතික ධම්මරක්ඛිත මහරහතන් වහන්සේ අපරන්ත දේශයට වැඩම කොට ජනයා මධ්‍යයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළ අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දේශනා කොට වදාළ සේක. ඒ තුළින් එහි රැස් ව සිටි තිස් දහසක් මිනිසුන් ධර්මාවබෝධය ලැබූ අතර, පුරුෂයන් දහසකුත් ඊටත් වැඩියෙන් ස්ත්‍රිහුත් රාජවංශිකයන්ගෙන් නික්ම අනුත්තර බුදු සසුනෙහි පැවිදි වූහ. මහාධම්ම රක්ඛිත නම් මහරහතන් වහන්සේ මහාරාෂ්ට්‍ර ප්‍රදේශයට වැඩම කොට එහි දී වදාළේ මහානාරද කස්සප ජාතක දේශනාව මුල්කරගත් ධර්ම දේශනාවකි. ඒ ධර්මය ඇසූ හාර දහසක් ජනයාට ධර්මාවබෝධය ඇතිවුණි. දහතුන් දහසක් දෙනා උන්වහන්සේ ළඟ පැවිදි වුණි. මහාරක්ඛිත මහ රහතන් වහන්සේ යෝනක දේශය හෙවත් ගී‍්‍රක දේශයට වැඩම කොට එහි රැස් වූ ජනයාට භාග්‍යවතුන් වහන්සේ වදාළ කාලකාරාම සූත්‍රය මුල් කොට උතුම් ධර්මය වදාළ සේක. එහි දී එක් ලක්ෂ හැත්තෑදහසක් ජනයාට මාර්ගඵල අවබෝධය ලැබුණි. දස දහසක් දෙනා උන්වහන්සේ වෙතින් පැවිදි බව ලැබූහ.

මජ්ක්‍ධිම නමැති මහරහතන් වහන්සේ කස්සපගොත්ත, මූලකදේව, දුන්දුභිස්සර, සහදේව යන රහතන් වහන්සේ සමඟ හිමාල ප්‍රදේශයට වැඩම කළ සේක. එහි රැස් වූ ජනයාට භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව මුල්කොට ධර්ම දේශනා කොට වදාළ හ.

බොහෝ සත්ත්වයන් හට මාර්ගඵලාවබෝධය ඇතිවිය. එම වැඩම කළ රහතන් වහන්සේ පස්නම ඒ හිමවත් ප්‍රදේශයේ තිබූ රටවල් පහේ ම මිනිසුන් සම්බුදු සසුන කෙරෙහි පැහැද වූ සේක. ගෞතම සම්මා සම්බුදු සසුන කෙරෙහි පැහැදුනු ඒ පුරුෂයෝ ලක්ෂය බැගින් එක් එක් තෙරුන් වහන්සේ ළඟ පැවිදි වූ හ.

මහත් සෘද්ධි බලයෙන් යුක්ත වූ අපගේ සෝණ මහරහතන් වහන්සේ උත්තර මහරහතන් වහන්සේ සමග සුවණ්ණ භූමියට වැඩම කළ සේක. ඒ දවස්වල එම ප්‍රදේශයේ එක්තරා රෞද්‍ර දිය රකුසියක් පිරිවර සමග මහා සාගරයේ ඇවිදිමින් බොහෝ පිරිසකට කරදර කරමින් සිටියා ය. අපගේ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් රකුසියගේ පිරිසට වඩා දෙ ගුණයක් රකුසියන් පිරිසක් මවා පිරිස සහිත රකුසිය සතර පැත්තෙන් ම වට කළ හ. එවිට රකුසිය සිතන්නේ අලුත් රකුසියන් පිරිසක් මෙරට අල්ලාගෙන සිටින බව යි. ඒ රකුසියන්ට භය වූ රකුසියන් පිරිස සහිත පිරිස මුහුදට පලා ගියහ. අපගේ රහතන් වහන්සේ එරට හතරවටේ ම නැවතත් රකුසියට ඒමට නො හැකි ලෙස බලවත් ආරක්ෂාව සැලැසූ සේක. රැස්ව සිටි මහජනයාට භාග්‍යවතුන් වහන්සේ වදාළ බ්‍රහ්මජාල සූත්‍රය මුල්කොට දහම් දෙසා වදාළ සේක. බොහෝ ජනතාව උතුම් තිසරණ සහිත පන්සිල්හි පිහිටිය හ. හැට දහසක් ජනයාට ධර්මාවබෝධය ඇතිවිය. කුල දරුවන් තුන් දහස් පන්සියය දෙනෙක් බුද්ධ ශාසනයේ පැවිදි වූහ. මේ සිදුවීමෙන් පසු රජවරු රජ ගෙදර උපදින පුත් කුමාරවරුන්ට සෝණ උත්තර මහරහතන් වහන්සේගේ නම ගෙන සෝණ උත්තර කියා නම් තැබූහ.

තෙවන ධර්ම සංගායනාවෙන් පසු රහතන් වහන්සේලා ඈත පිටිසර රටවලට පිටත් කොට යවන කාලයේ දී අපගේ මහා නුවණැති මිහිඳු මහරහතන් වහන්සේ වේදිසගිරි විහාරයේ වාසය කළ සේක. පොසොන් පුර පසළොස්වක පොහෝ දවසක අපගේ මිහිඳු මහරහතන් වහන්සේ සතර නමක්, සුමන නමැති සාමණේර රහතන් වහන්සේ, භණ්ඩුක අනාගාමි උපාසකත් සමග වේදිසගිරි විහාරයෙන් අහසට පැන නැංගහ. ඒ සියලු පිරිවර සමගින් අපගේ ලංකාද්වීපයට වැඩම කොට රම්‍ය වූ මිස්සක පර්වතයෙහි ඉතා සිත්කළු වූ උතුම් වූ අම්බස්ථල ගල්කුල මත වැඩ සිටි සේක. ලංකාව කෙරෙහි හිතකාමි වූ අපගේ ශාක්‍ය මුනින්ද්‍රයාණන් වහන්සේ විසින් පිරිනිවන්පාන අවස්ථාවේ ලංකාදීප ප්‍රසාදක ගුණයෙන් යුතු මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ වදාළ සේක. ලක්දිවට මිණි පහනක්් බඳු අපගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකා වැසි දෙවියන්ගෙන්, මිනිසුන්ගෙන් පිදුම් ලබමින් වැඩම කොට වදාළහ.

මේ අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා දෙසිය තිස් හයවැනි වර්ෂය යි. මිස්සක පව්වේ දී මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජුට ප්‍රධාන සතළිස් දහසක් වූ පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය මුල්කොට ධර්ම දේශනා කළ සේක. රජු සතළිස් දහසක් මිනිසුන් සමග සරණ ශීලයෙහි පිහිටියේ ය. ඉන්පසු අරිට්ඨ ඇමැතිතුමා ප්‍රධාන පිරිස පැවිදිවීමත්, ලංකාදීපයේ සංඝමිත්තා රහත් තෙරණිය වැඩමවීමෙන් පසු අනුලා බිසව ප්‍රධාන පන්සියයක් කුල කතුන් පැවිදි වීමත් සමග රහත් භික්ෂුණි ශාසනය ලක්දිව බිහිවිය.

මෙම උත්තම ධර්මදූත සේවාව පිළිබඳ මහාවංශය රචනා කළ මහානාම හිමියන් සිය හෘදයාංගම හැඟීම් පළකොට ඇත්තේ මෙලෙසිනි.

අපගේ රහතන් වහන්සේලා ඒ ඒ රට රාජ්‍යයන්ට වඩම කොට ලෝක සත්ත්වයාට බොහෝ කල් හිතසුව පිණිස කටයුතු සලස්වා වදාළහ. එමනිසා ලෝක සත්ත්වයාට හිතසුව පිණිස කටයුතු සැළසුණ හ. මෙවැනි දහමක් ලද ලෝක සත්ත්වයා තමාගේ හිතසුව පිණිස කුමට ප්‍රමාද වෙත් ද? යනුවෙනි.

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 08 වනදා සඳුදා පූර්ව භාග 11.35 ට ලබයි.09 වනදා අඟහරුවාදා පූර්ව භාග 09.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය

ඔක්තෝබර් 16 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk