බිනර අමාවක 2018.10.08
කියවිය යුතු පොතපත ...
තාක්ෂණික දියුණුවත් සමඟ, වෙසෙසින් ළමා හා තරුණ පරපුර වෙතින් කියවීම දුරස් වී ඇතැයි
බොහෝ දෙනා චෝදනා නගති. එය ගුණ ධර්ම වියැකෙන අනාගතයක පෙර මං ලකුණු යැයි ද තවත්
පිරිසක් කියති. බැලූ බැල්මට සත්‍ය යැයි හැඟුණ ද පොතපතට ආදරය කරන, පොත පත කල්‍යාණ
මිතුරන් බවට පත් කරගත් ළමා, තරුණ හා වැඩිහිටි විශාල පිරිසක් තවමත් සමාජය තුළ ඉතිරි
වී ඇති බව පෙනෙන විට ඇති වන්නේ ආඩම්බරයකි. ගෙවී ගිය සාහිත්‍ය මාසයේ බණ්ඩාරනායක
අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මහා පොත් ප්‍රදර්ශනයට දස දෙසින් දහස් ගණනින්
නොව ලක්ෂ ගණනින් ජනතාව ඇදී ආහ. පොත්පත් මිලදී ගත්හ. සමහර පාසල් ළමයින්ට තමන් වඩාත්
කැමැති ම පොත පත කියවන්නට ගෙදර යනතුරු ඉස්පාසුවක් නොවුණ බව හැඟුණේ අව් රශ්මියට
යාන්තමින් සෙවණ දුන් කුඩා ගස් අතු පතර යට පවා පොත් පෙරළාගෙන කියවන්නට දැක් වූ
උනන්දුව දැකීමෙනි. කියවීමට ඇති මේ ඕනෑකම ඇගයිය යුතු ම ය. කියවීමට තව තවත් දරුවන්
හුරු කරවීමද, ඒ ආදර්ශය දීම ද වැඩිහිටියන්ගේ, ගුරු දෙමව්පියන්ගේ වගකීමකි. ඒ පොතපත
කියවීම මිනිසා සම්පූර්ණ කිරීමට බොහෝ සෙයින් ඉවහල් වන නිසා ය.
සාහිත්‍ය මාසය උණුසුම් ලෙස ගෙවී ගියේ ය. එළඹ ඇත්තේ කියවීමේ මාසයයි. සම්පූර්ණ
මිනිසෙකු වීමට නම් කියවිය යුතු කවර ගණයේ පොත පත ද? පොත පත මුද්‍රණය වූ තරමට ඒ
සියල්ල හොඳ පොත පත යැයි සහතික විය නො හැකි ය. මේ නිසා දුහුනන් දැනුම් සඳහා තෝරාගත
යුතු ග්‍රන්ථ පිළිබඳව ද මනා අවබෝධය අත්‍යවශ්‍ය ය. වානිජ පරමාර්ථ මුදුන් පමුණුවා
ගන්නටත්, නමක් හදාගන්නටත් හතු පිපෙන්නා සේ හරසුන් පොත පත ද ප්‍රකාශනය වන නිසා ය.
ඕනෑම විෂයයකට එය අදාළ විය හැකි ය.
වෙසෙසින් බොදු ජනතාව තුළ ද දහම් පොත පත පිළිබඳ මහත් උනන්දුවක් තිබුණු බව පෙනුණි.
අතීතයේ මෙන් නොව වර්තමානයේ දී දහම් පොත පත පරිශීලනය කළ යුතු ද විමර්ශනශීලී ව ය.
සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් කල් පාරමී දම් පුරා අප තථාගතයන් වහන්සේ තමන් වහන්සේ
විසින් ම අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය දේශනාකොට වදාළේ සියලු ලෝ සත දුකින් මුදවා
නිවන් මඟ අවබෝධ කරවනු පිණිස ය. ඒ පිළිබඳ ව කිසිදු හැඟීමකින් හෝ දැනීමකින් තොර ව
ඇතැම් අඥානයෝ තමන්ගේ පටු අරමුණු උදෙසා ඒ ශ්‍රී සද්ධර්මය විකෘති කරමින් යම් පිරිසක්
මිථ්‍යා දෘෂ්ඨියට ඇදගෙන යන්නට වෙර දරන බවට වත්මන් සමාජයේ විවිධ සිදුවීම් සාක්ෂි
දරයි. විමර්ශනශීලී විය යුතු එ හෙයිනි. නිවැරැදි ධර්ම මාර්ගය හඳුනා ගැනීම අත්‍යවශ්‍ය
ය. ඇතැම්හු විවිධ මාධ්‍ය ඔස්සේ ධර්මයට විවිධ අර්ථ කතන දෙති. දහස් ගණන් ජනී ජනයාගේ
වන්දනාමානයට පාත්‍ර වූ පුදබිමක අශික්ෂිත ලෙස හැසිරෙන කෙනෙකුට අන් අයට ආදර්ශය පිණිස
දෙන සාමාන්‍ය දඬුවම පවා විවේචනය කරමින් ලියන ඇතැම් අඳ බාලයන් එ මඟින් උත්සාහ කරන්නේ
තමන් මහා මානව හිතවාදීන් ලෙස සමාජයට පෙන්වීමට ය. මෙවැනි මන්දබුද්ධිකයෝද අප අතර
වෙති. ප්‍රවේශම් විය යුතු එහෙයිනි. බෞද්ධ පුද බිමක වේවා, අන්‍ය ආගමික පුදබිමක වේවා
අසංවර හැසිරීම මොන තරම් ලජ්ජිත ක්‍රියාවක් දැයි බාලාංශයක දරුවෙකුට වුව තේරුම් ගන්නට
අපහසු නැත.
එදා බුද්ධ ඝෝෂ හිමියන් විසින් හෙළ අටුවා ලිවීමත් සමඟ අපේ රටේ භාෂා ශාස්ත්‍රෝදයට මා
හැඟි ආරම්භයක් ලැබුණි. එතැනින් ආරම්භ ව විද්‍යා චක්‍රවර්තී, ෂඩ් භාෂා පරමේෂ්වර
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ඇතුළු ව වර්තමානය දක්වාත් ධර්මධර, විනයධර, වියත්
පඬිවරයාණන් වහන්සේලා ධර්ම ශාස්ත්‍රීය සේවයෙහි, භාෂා සාහිත්‍ය උන්නතියෙහි කටයුතු
කරති. ගිහි උගත්තු ද අපමණ ය. කියවන්නට හොඳ පොතපත අපමණ තිබේ. හංසයා දියෙන් කිරි වෙන්
කරන්නා සේ ඒවා තෝරා බේරා ගත යුතු ය. ඒ හිස් මිනිසෙකු නොව පූර්ණ මිනිසෙකු වීම
වෙනුවෙනි.
|