සැප සදන
සප්ත වත
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය
ගම්මන ශ්‍රී ධර්මාලෝක පිරිවෙණේ කෘත්‍යාධිකාරී
ශ්‍රී සම්බුද්ධ ශාසන කීර්ති සමාජ සේවා ශිරෝමණී
ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත
සාම
විනිසුරු ත්‍රිපිටකාචාර්ය
විනයකීර්ති ශ්‍රී සුමංගල
අමුණුපුර පියරතන නා හිමි
නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
අප්පමාදෙන මඝවා - දේවානං සෙට්ඨ තං ගතො
අප්පමාදං පසංසන්ති - පමාදො ගරහිතො සදා
සුපින්වත්නි,
සකල සතවෙත පතළ මහා කරුණා ඇති අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසාලා
මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩවසන සමයෙක සක්දෙවිඳුන් පිළිබඳ ව මහාලි නම් ලිච්ඡවී රජු
විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.
මෙම මහාලි ලිච්ඡවී රජ සක්ක පඤ්හ සූත්‍රය අසා බුදුරදුන් ශක්‍ර දෙවියන්ගේ සම්පත්තිය
ඉතා උසස් කොට දේශනා කරන්නේ, ශක්‍ර සම්පත්තිය දැකලා දැනගෙන ද? නැතිනම්, නොදැක
නොදැනදැයි, අසන්නෙමි'යි සිතාගෙන දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ බුදුරදුන් දෙපා
නැමද එකත්පසව හිඳ මෙසේ ඇසී ය.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ශක්‍රදේවයන් දැක තිබේ ද? එසේ නොවේ නම්, ශක්‍රයාගේ
ප්‍රතිරූපයක් වත්දැයි පිළිවිසී ය. එහි දී බුදුරජාණන් වහන්සේ ‘මහාලිය, මම ශක්‍රයා ද
දන්නෙමි, එම ශක්‍ර සම්පත්තිය ලබා ගැනීමේ ධර්මය ද දන්නෙමි. යනුවෙන් පිළිවදන් දී
ශක්‍රදේවේන්ද්‍රයාගේ අතීත කතාව මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සේක.
අතීතයෙහි මගධරට මචලගම ‘මඝ’ නම් මානවක, තවත් තිස් තුන්දෙනෙකුන් සමඟ ගම් හා ජනතාව
දියුණු කිරීම සඳහා ඉතා උදාර කාර්යය භාරයක් ඉෂ්ට සිද්ධ කළහ. පාරතොට ශුද්ධ පවිත්‍ර
කිරීම, මං මාවත් හැදීම, ළිං පොකුණු මල් උයන්, විශ්‍රාමශාලා ආදී ජනතා පොදු අවශ්‍යතා
උපරිම වශයෙන් සම්පූර්ණ කිරීමේ නිරත වූ හ.
මෙසේ උසස් චින්තනයෙන් ගම් දියුණු කරන විට, ජනතාව යහමග ගමන් කරන විට එහි
ග්‍රාමභෝජකයා තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන හා රජයේ වරප්‍රසාද නැතිවේදෝයි යන ක්‍රෝධයෙන්
රජතුමාට කේලාම් කියා බිඳුවා මඝ මානවක ඇතුළු පිරිස මං පහරන හොරු කණ්ඩායමක් වශයෙන්
සම්මතකොට රාජ දණ්ඩණයට නියම කරවීමෙන් රාජාංගණයේ දී ඇතුන් ලවා පාගා මරන්නට නියම විය.
මෙම කාරණයේ දී ඉවසීමේ ගුණය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් මඝමානව තමාගේ පිරිසට අවවාද
දෙන්නේ, ඇතුන් එනවිට සියලුම දෙනාට මෛත්‍රී කරන ලෙස නියම කළේ ය. පාගන්නට එන
ඇතුන්ටත්, ඇත් ගොව්වන්ටත් බොරු චෝදනා කළ ග්‍රාමභෝජකයාටත්? රජතුමාටත්? එකම මෛත්‍රී
සිත පතුරු වන විට ඇත්තු මෙම පිරිසට කිට්ටු වී නාදකොට පිටව යති.
රජතුමා මෙම සිද්ධියෙන් පුදුමයට පත් ව සියල්ලන් කැඳවා තොරතුරු විමසා සත්‍ය සිද්ධිය
දැනගෙන ග්‍රාමභෝජක පදවිය ඔහුට පිරිනමා ඇතු ආදී සම්පත් මෙන් ම ගම්වරද ලබාදුන්හ.
මඝමානවක එතැන් සිට මුල දී සිදුකළ සේවාවන්ට වඩා සියදහස් ගුණයෙන් වර්ධනය කරමින් මහමග
විශ්‍රාමශාලාවක් කරන්නට මෙන් ම එයට පැමිණෙන අයට දන්හල්, පැන් පොකුණු උයන් ආදී සියලු
පහසුකම් ද සම්පාදනය කළහ.
තව ද මෙම පිරිස සප්තවත සමාදන් ව ජීවිතාන්තය දක්වා පින් දහමෙහි නිරත වූ හ.
මාතා පෙත්තිහරංජන්තුං
කුලෙ ජෙට්ඨාපචායිනං
සණ්හං සඛිල සම්භාසං
පෙසුනෙය්‍ය ප් පහායිනං
මච්ඡෙර විනයෙ යුත්තං
සච්චං කෝධාභිභුංනරං
තං වෙ දෙවා තාව තිංසා
ආහුසප්පුරිසො ඉති
මෙසේ මෙවන් සත්පුරුෂ ගුණ ඇති මඝමානව ප්‍රධාන පිරිස මව්පිය උපස්ථානය, කුලදෙටුවන්
පිදීම, මෘදු වචන කතා කිරීම කේලාම් නොකීම, පරිත්‍යාගය, සත්‍ය වචන කතාව, ක්‍රෝධ
නොකිරීම, මෙවන් උතුම් සත් ක්‍රියාවන් කරමින් තමන්ගේ ජිවිතය පරාර්ථ සේවය පිණිස ම
නිරත ව දිවිකෙළවර තව් තිසා දෙව්ලොව උපන්හ. මඝ මානව සක්දෙව් රජ වශයෙන් ද සහායකයෝ
පිරිවර දෙවියන් ලෙස ද උපන්නේ මහා කුසලබලයේ ප්‍රතිවිපාක ප්‍රකාශ කරමිනි.
මිනිස් ලොව දී මඝමානව හා යහළුවන් අප්‍රමාද ව සිහියෙන්, අධිෂ්ඨාන වීර්යයෙන්,
ඉවසීමෙන් මානව සමාජයට කළ සේවය කොතරම් ද, යන්න මඝමානව ප්‍රධාන පිරිස තව්තිසා දෙව්ලොව
දිව සැපත් විඳීමෙන් ප්‍රකට වන්නේ ය. මඝමානව දෙ දෙව් ලොවටම අධිපති ව ඒ අසිරිමත්
දිවසැපත් විඳීමට තරම් මහා පින්කම් රාශියක් කළ අතර එය බුද්ධාදී උත්තමයෝ
ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන දෙවියන් මිනිසුන් ඉදිරියේ ප්‍රශංසාවට භාජන කරති. සෙසු
ජනතාවගේ යහපත පිණිස, ආදර්ශය පිණිස, සුගතිගාමී පිණිස, දුගතිගාමීන් නම් ඉන් මිදීමට
එසේ ප්‍රශංසා කරති.
ලොව්තුරා බුදු කෙනෙකුගේ ශ්‍රී මුඛයෙන් ප්‍රශංසා ලැබීමට තරම් වාසනා මහිමයක් ලැබීම
ඉතාම දුර්ලභ කාරණයකි. වර්තමාන සක්දෙවිඳු පිළිබඳ ව අප බුදුරජාණන් වහන්සේ මහාලී
ලිච්ඡවී රජුට අර්ථාන්විත නම් රාශියකින් හඳුන්වා දුන් සේක. සක්කෝ, පුරින්දදො,
දෙවානමින්දො, වාසවො, සහස්සක්ඛෝ සුජම්පති.
සාරවත්, අර්ථවත් ප්‍රශංසාත්මක වචනමාලාවලින් ශක්‍රදේවේන්ද්‍රයාගේ අසිරිමත් දිව සැපත්
ලබන්නට තරම් උදාර කුසල බල මහිමයක් වෙනත් කෙනෙකුට නොමැති බැවින් සුරා සුර යුද්ධයේ දී
සක්දෙවිඳුන් දෙවියන් අමතා සංග්‍රාමයේ දී බියක් ත්‍රාසයක් ඇති වූ විට මගේ ධජය බලන්නට
යැයිද එයින් බිය දුරුවේ යැයි ද නියම කළ වග ධජග්ග සූත්‍රයේ දී විස්තර වන්නේ ය.
ලෞකික වශයෙන් උපරිම සම්පතින් සම්පූර්ණ වුව ද, ශක්‍ර පදවිය පවා කෙදිනක හෝ වෙනස්
වන්නේ ය. පුණ්‍ය බල මහිමය ඉවර වෙන විට දෙව්ලොවින් චුත ව, කර්මානුරූපව කාම භවයේ
කොතනක හෝ උපදින්නේ ය.
පමාදො ගරහිතො සදා ප්‍රමාද වූ අයට ආර්ය උත්තමයෝ නින්දා කරති. එයට හේතුව සියලු
විපත්තීන්ට ප්‍රමාදය මුල් වන නිසා ය. සිහි කල්පනාව අඩුවීමටත්, කරන කාර්ය අඩාල
වීමටත් ප්‍රමාදයෙන් බාධා වේ.
මෙම ධර්ම දේශනාව බුද්ධියෙන් හා තෙරුවන් පිළිබඳ ශ්‍රද්ධාවෙන්, මෙනෙහි කොට දේව
මානුෂිකාදී ලෞකික සැප සම්පත් හා උතුම් නිවන් සැප ලබා ගැනීමට ද උත්සාහ ගන්න. ඔබ සැමට
තෙරුවන් සරණයි. |