UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කැනඩාවේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලබන බ්‍රාහ්මණගම මුදිත නාහිමි

කැනඩාවේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලබන බ්‍රාහ්මණගම මුදිත නාහිමි

ජාත්‍යන්තර සීමා මායිම් හරහා උන්වහන්සේගේ ධර්මඥානය බෙදා හැරීම ස්වකීය පරමාර්ථය කර ගත්හ. සුදු ජාතීන්ට ජීවන ගමනේ යථාර්ථය ධර්මඥානය තුළින් ලබා දී සම්‍යක් දෘෂ්ඨිකත්වයට පත් කරලීම උන්වහන්සේගේ ජීවන ගමනෙහි පරමාර්ථකාමිත්වයයි.

ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතිෂ්ඨාපිත භික්ෂු ශාසනය වසර දෙදහස් පන්සියයක් තිස්සේ අවිච්ඡින්නව, අඛණ්ඩ ව, සුරක්ෂිතව පැවතීමට කටයුතු සම්පාදනය වූයේ තථාගතයන් වහන්සේ ධරමාන අවධියේ දී ම ය. සැරියුත්, මුගලන්, ආනන්ද මහාකාශ්‍යප ආදී වූ මහරහත් උතුමන් වහන්සේලා ප්‍රධානත්වයෙහි තබා පැවිදි උතුමන් කෙරෙහි අග තනතුරු ප්‍රදානය කිරීමෙන් සම්බුදු සසුනෙහි චිරස්ථිතිය සිදු වූ අයුරු සුපැහැදිලි ය. එම පෞරාණික චාරිත්‍ර අතීතයේ පටන් වත්මන දක්වා ම, පවත්වමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව එලෙසින් ම ඒ ඒ උචිත ස්ථවිර වහන්සේලා උදෙසා තනතුරු ප්‍රදානය කිරීම අතිශය කාලෝචිත ය.

ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ වප් මස පුර දසවක නම් තිථිය ලත් කිවිදා හෙවත්, ව්‍යවහාර වර්ෂ 2018 ක් වූ ඔක්තෝබර් මස 19 වන සිකුරාදා දින කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමා ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ධුරන්දර ඉත්තෑපානේ ධම්මාලංකාරාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක වින්සත්වර්ගික කාරක සංඝ සභාවේ ඒකමතික අනුමැතියෙන් කැනඩාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිළියන්දල සිද්ධමුල්ල ශ්‍රී සංඝාරාමය, පිළියන්දල කුඩාමාදූව ශ්‍රී සාංඝිකාරාමය, කොට්ටාව, පන්නිපිටිය දීපන්ගොඩ සිරිවර්ධනාරාමය, ඇමෙරිකාවේ මිචිගන් ග්‍රේට් ලේක්ස් බෞද්ධ විහාරය, කැනඩාව ඔටාවා හිල්ඩා ජයවර්ධනාරාමය යන දෙස් විදෙස් විහාරයන් හි විහාරාධීෂ්වර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කල්‍යාණ කාරක සංඝ සභික ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අප ගුරුදේවෝත්තම බ්‍රාහ්මණගම මුදිත නාහිමියන් වෙත පිරිනැමෙන අභිනව නායක පදවිය ද, ථේරවාදී සම්බුදු සසුනෙහි චිරස්ථිතිය පිණිස ම වන්නේ ය.

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම බ්‍රාහ්මණගම නම් අතිශය සුන්දර වූ ග්‍රාමවරයෙහි, මොරවකගේ මුදුනිස් පෙරේරා සහ ඇග්නස් පෙරේරා යන පින්වත් මවුපියන්ට දාව 1952 ඔක්තෝබර් 15 වන දින අප ගුරු දේව නාහිමියෝ ජන්මලාභය ලැබූහ. දහර අවධියේ දී ගමේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා, සැදැහැවත් මව්පියන්ගේ අපේ්ක්ෂා මත නාහිමියන් සසර පිරූ පින්බල මහිමයෙන් මාවිත්තර ශ්‍රී ආරියවංශාභිධාන නාහිමිපාණන් වහන්සේගේ සහ පරගස්තොට පියරතන නාහිමිපාණන් වහන්සේ ගුරු කොට 1970 ජනවාරි 22 වෙනි දින ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූ හ. අනතුරුව මහරගම ශ්‍රී වජිරඤාණ ධර්මායතනස්ථ භික්ෂු මධ්‍යස්ථානයෙහි මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ අග්ගමහා පණ්ඩිත , මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන්ගේ සහ අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේ යටතේ ශ්‍රමණ ධර්ම සහ ආකල්ප ඉගෙනීමට තරම් අප ගුරු දේවයන් වහන්සේ භාග්‍ය සම්පන්න වූහ. ඉතා කෙටි කාලයක දී ප්‍රාචීන ප්‍රාරම්භ , ප්‍රාචීන, මධ්‍යම සහ ප්‍රාචීන අවසාන විභාගය ද විශිෂ්ට ලෙස සමත්ව රාජකීය පණ්ඩිත උපාධියෙන් පිදුම් ලබා ධර්ම විනයධර, සුපේෂල ශික්ෂාකාමි තරුණ යතිවරයාණන් වහන්සේ නමක් බවට පත් වූ හ.

එ කල මහරගම භික්ෂු මධ්‍යස්ථානාධිපති ව වැඩ විසූ අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදය ඇතිව එම පිරිවෙනෙහි ම ධර්මාචාර්යවරයන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කිරීම ද, නාහිමියන්ගේ ජීවිතයේ අමරණීය සන්ධිස්ථානයකි. අනතුරු ව උසස් අධ්‍යාපනයට සම්බන්ධ වන නාහිමියන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, එම විශ්ව විද්‍යාලයේම පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගත් හ.

නා හිමියන්ගේ ආගමික සාසනික සේවාව මෙරටට පමණක් සීමා නොවූ හ. 1992 ඔක්තෝබර් මස ඇමරිකා මිසසාගා වෙස්ටර්න් බෞද්ධ විහාරය, 1999 කැලිෆෝනියා , ලොස්ඇන්ජලීස් යන බෞද්ධ විහාරයන් ද ආරම්භ කළහ. ජාත්‍යන්තර සීමා මායිම් හරහා උන්වහන්සේගේ ධර්මඥානය බෙදා හැරීම ස්වකීය පරමාර්ථය කර ගත්හ. සුදු ජාතීන්ට ජීවන ගමනේ යථාර්ථය ධර්මඥානය තුළින් ලබා දී සම්‍යදෘෂ්ඨිකත්වයට පත් කරලීම උන්වහන්සේගේ ජීවන ගමනෙහි පරමාර්ථකාමිත්වයයි. ඇමරිකාවේ මිචිගන් ග්‍රේට් ලෙක්ස් බෞද්ධ විහාරය කැනඩාවේ ඔටාවා හිල්ඩා ජයවර්ධනාරාමය යන විහාරයන් ගුරු දේවයන් වහන්සේගේ නායකත්වය යටතේ ධර්මඥානය ලබාදෙන විදෙස් විහාරයන් ය.

කාලයාගේ ඇවෑමෙන් දායකකාරකාදීන්ගේ කුදුමහත් ආගමික කටයුතු ශ්‍රද්ධා ශක්තිය පෙරටු ඉටුකරලීම වස් නාහිමියෝ ගම් දනවු සිසාරා වැඩම කරති. සෑම විටම දායකයින්ගේ හිත සුව පිණිසම කටයුතු කිරීම උන්වහන්සේගේ සුවිශේෂී මානුෂීය ගුණයකි. සිය දායක පින්වතුන්ගේ අධ්‍යාත්මික ගුණය අභිවර්ධනය කිරීමට ආගමානුකූල චාරිත්‍ර හා පෞරාණික සිරිත් විරිත් ඒ අයුරින්ම ආරක්ෂා වන අයුරින් ඉටු කිරීම උන්වහන්සේ සතුව පවතින උත්තරීතර ගුණයකි.

කුමන මට්ටමේ සිටින අයෙකුහට වුවත් සමානත්වය පදනම් කරගෙන අර්ථයෙන්, ධර්මයෙන්, අනුශාසනා කිරීම, නාහිමියන් සතු බෝධිසත්ව ගුණයකි. නිරතුරුව මෙත් සිත පෙරටු කරගත් කුළුණු සිතින් කටයුතු කිරීම දැකිය හැකි විශේෂ ලක්ෂණයක් බව සඳහන් කිරීම අතිශෝක්තියක් නොවේ.

දකින්නාගේ ප්‍රසන්නභාවය වර්ධනය වන අයුරින් චාරිකාවේ යෙදීම උන්වහන්සේ සතු උතුම් ගුණාංගයක් බව බොහෝ දෙනෙක් දනිති. ප්‍රදේශයේ ගම් දනව් සිසාරා ගිහි බොදු ජනයාට මඟ පෙන්වමින් අති උදාරතර ශාසනික සේවාවන් රැසක් හිමිපාණන් වහන්සේ ඉටු කරන බව නො රහසකි. ප්‍රදේශයේ දුවා දරුවන්ගේ දහම් අධ්‍යාපනය වර්ධනය කිරීම සඳහා මෙරට පමණක් නොව ඇමරිකාවේ හා කැනඩාවේ යන රටවල ද දහම් පාසල් ආරම්භ කිරීමේ පුරෝගාමි නායකත්වය ගනු ලැබුවේ අප නාහිමියන් ය.

මෙසේ ජාතික ආගමික ශාසනික වශයෙන් සුවිශාල සේවාවක් සිදුකරමින් දෙස් විදෙස් ගිහි පැවිදි උගත් ප්‍රභූන් අතර මෙන් ම , ප්‍රාදේශීය මහා සංඝරත්නය සමගින් සහ දායක කාරකාදීන් අතරත් ගෞරව ප්‍රසාදයට පත්ව වැඩ වාසය කරති. අප ගුරු දේවයන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අනතිමානි, ශ්‍රමණසාරුප්‍යයෙන් හා ධර්මධර, විනයධර ,ගුණයෙන් උප සෝභිත නාහිමියෝ, ධර්මයෙන්, ඔවදනෙන් නිසි මග හෙළි කරමින් දහස් සංඛ්‍යාත ගිහි පැවිදි පිරිසක් සුමඟට යොමු කිරීමට සමත් යතිවරයාණන් වහන්සේ නමකි.

සරල බව, ජීවිතයේ මූලික කාරණයක් කරගනිමින් ජාත්‍යන්තර සීමා මායිම් හරහා ධර්ම දූතයාණන් වහන්සේ නමක ලෙස කටයුතු කරමින් ශිෂ්‍ය පරම්පරාව බුදු දහමින් පෝෂණය කළ ගුරුදේවයාණන් වහන්සේට නිවන අවබෝධයට චින්තන ශක්තිය වඩන්නට ලැබේවා.

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 08 වනදා සඳුදා පූර්ව භාග 11.35 ට ලබයි.09 වනදා අඟහරුවාදා පූර්ව භාග 09.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය

ඔක්තෝබර් 16 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]