UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෝණ මහරහත් තෙරණින් වහන්සේ

සෝණ මහරහත් තෙරණින් වහන්සේ

" දීපංකර බුදුරජාණන් වහන්සේ වීර්යය අත්නොහළ, වීර්යය ඇති භික්ෂුණීන්ගෙන් අගතැනට එක් භික්ෂුණියක පත් කරනු දැක ඇය ද එදින එම තනතුර ප්‍රාර්ථනා කළා ය. දීපංකර බුදුරජාණන් වහන්සේ එම ප්‍රාර්ථනාව සමෘද්ධ වනු දැක ගෞතම සම්බුදු සසුනේ සෝණ නමින් ශ්‍රාවිකාවක් වන බව පෙන්වා වදාළ සේක. එය අසා අතිශය සතුටට පැමිණ ජීවිතාන්තය දක්වා ම මහත් වූ ශ්‍රද්ධාව පෙරටු කොටගෙන මෛත්‍රී සිතින් යුක්ත ව බුදුරජාණන් වහන්සේට දිවිහිමියෙන් සිව්පසයෙන් උපස්ථාන කළා ය. කරන ලද මහත් වූ පින් ඇත්තී මනුලොව අතැර තව්තිසා දෙව්ලොවෙහි අනන්ත සැප වින්දනය කළා ය."

සංසාරය කියන්නේ ඉමක් කොණක් නො පෙනෙන දුක්ඛයන්ගෙන් සපිරුණා වූ ඉපදෙමින්, මැරෙමින් ගමන් කරන්නා වූ චක්‍රීය මාර්ගයක්. රියසක පෙරළි පෙරළී යන්නා සේ සසරේ ඇලුම් බැඳුම් වලින් උපාදානස්කන්ධයක් දරන්නා වූ සත්ත්වයා දීර්ඝතර ගමන් කිරීමකින්, දීර්ඝතර ගමන් විඩාවකට පත්ව වසන්නේ ය.

එහි ඇති පුදුම සහගත කරුණ නම් කොපමණ සසරේ දුක් වින්ඳත් කාමයන්ට වහල් වූ සත්ත්වයාට විඳින්නේ දුක්කය යන්න කිසිදු දිනක නො වැටහීමයි. මේ මිනිස් ලොව පාරාදීසයක්, සිරිපුරයක් ය යන සංඥාවට වහල් වී ඉබාගාතේ යන පිරිස් සෙයින් මහත් වූ දුක්ඛිත ගමන් මාර්ගයක මුලා වූ සිත් ඇතිව ගමන් කරති. ප්‍රඥාවන්ත උතුමෝ නම්, ආර්ය භූමියට සැපත් වූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා යි. එවන් වූ උත්තමයන් වහන්සේලා අර්හත් උත්තම ගුණැති මහරහත් උතුමෝ ය. මෝහයෙන් මුලා වූ අනුවණයන් මෙන් නොව සම්බුදු සසුනෙහි මහරහත් උතුමන් වහන්සේලා අනිත්‍ය වශයෙන් සියලු සංස්කාර ධර්මයෝ තත් වූ පරිද්දෙන් දකින්නෝ ය.

කාමයන්ගේ ආදීනවය මස්නැති ඇටකැබැල්ලක් මෙන්ද, මස්වැදැල්ලක් මෙන් ද, සිහිනයක් මෙන් ද සලකමින් මනා නුවණින් දකින්නෝ ය. උතුම් රහත් උතුමන්ගේ සිත විවේකයට නැඹුරු වූයේ වෙති. නිවනට අවනත වූයේ නිවනට බරවූයේ වෙති. කෙලෙසුන්ගෙන් නිදහස් වූ ඒ උතුමෝ ආර්ය මාර්ගයෙන් උපරිම ඵල ලැබුවෝ ය. එසේ දිනන ලද සිත් ඇත්තා වූ මේ උතුම් ගෞතම සම්මා සම්බුදු සසුනෙන් පහළ වූ සෝණ මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳව පැහැදුණු සිත් ඇති කොට සංඝ ගෞරවය උපදවා ගනිමු.

අප ගෞතම සම්මා සම්බුදුපියාණන් වහන්සේ ලොව පහළවන්නට පෙරාතුව කල්ප සියක් දහසකට පෙර දීපංකර සම්මා සම්බුදුපියාණන් වහන්සේ ලොව පහළ වී වදාළ සේක. එකල සෝණ තෙරණියෝ මහත් සැපයෙන් ආඪ්‍ය වූ දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වූ කල සිටු මාළිගාවක සිටු කුමරියක වී උපත ලැබුවා ය. බුදුපියාණන් වහන්සේගෙන් සුමිහිරි දහම් ඇසුවා ය.

එහි දී දීපංකර බුදුරජාණන් වහන්සේ වීර්යය අත්නොහළ, වීර්යය ඇති භික්ෂුණීන්ගෙන් අගතැනට එක් භික්ෂුණියක පත් කරනු දැක ඇය ද එදින එම තනතුර ප්‍රාර්ථනා කළා ය. දීපංකර බුදුරජාණන් වහන්සේ එම ප්‍රාර්ථනාව සමෘද්ධ වනු දැක ගෞතම සම්බුදු සසුනේ සෝණ නමින් ශ්‍රාවිකාවක් වන බව පෙන්වා වදාළ සේක. එය අසා අතිශය සතුටට පැමිණ ජීවිතාන්තය දක්වා ම මහත් වූ ශ්‍රද්ධාව පෙරටු කොටගෙන මෛත්‍රී සිතින් යුක්ත ව බුදුරජාණන් වහන්සේට දිවිහිමියෙන් සිව්පසයෙන් උපස්ථාන කළා ය. කරන ලද මහත් වූ පින් ඇත්තී මනුලොව අතැර තව්තිසා දිව්ලොවෙහි අනන්ත සැප වින්දනය කළා ය. මෙසේ කල්ප සිය දහසක් දෙව් මිනිස් දෙගතියෙහි උපත ලද්දී ය.

අනතුරු ව අප ගෞතම බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි ශ්‍රාවස්ති නම් සශි‍්‍රක පුරයෙහි ධනවත් වූ සමෘද්ධිමත් සිටුකුලයක උපත ලැබුවා ය. වැඩිවියට පත් වූ කල්හි පතිකුලයට ගොස් සුරූපි දරුවන් දහදෙනෙකු ලැබුවා ය. ඇය නමින් ‘බහුපුත්‍රිකා’ බොහෝ දරුවන් ඇත්තී යැයි ප්‍රකට වූවා ය. සියලු සැප සම්පත් දී සියලු දරුවෝ ඇති දැඩි කළ අතර සතුරන්ට පවා පි‍්‍රය වූ දරුවන් වූවා ය. එවන් වූ දරුවන් බොහෝ දෙනෙකුගේ මවක වීම හේතුවෙන් ඇය වඩාත් සතුටින් ලෞකික වශයෙන් සැප සේ වාසය කළා ය.

කාලයාගේ ඇවෑමෙන් ඇයගේ සැමියා බුදු සසුන කෙරෙහි පැහැදුණු සිත් ඇති ව ඇයගේ අනුදැනුමක් නොමැති ව බිරිඳ සහ දරුවන් ද හැර දා උතුම් වූ ප්‍රවෘජ්‍ය භූමියට සැපත්ව පැවිදි සුව වින්දේ ය. සැමියා නොමැති කත ඉන්දීය සමාජයේ ඉතාමත් අසරණභාවයට පත්වන්නී ය. හුදකලාව දිවි රැකුම ඉතා දුෂ්කර වූවකි. සැමියා නොමැතිව, දරුවන් සමඟ දිවි ගෙවන තලතුනා වූ ඇය බොහෝ දුක්ඛිත මානසික පීඩාකාරී දිවියක් ගත කළා ය.

තම සැමියා සම්බුදු සසුනෙහි පැවිදිව විඳින්නා වූ බව දැන සියල්ල අතහැර අනගාරික ශාසනයෙහි පැවිදි සුව පැතුවා ය. ලොව ඇති දුර්ලභ ම කාරණාවක් වන ප්‍රවෘජ්‍යාභූමියට සැපත් ව දිවිගෙවන්නට වාසනාවන්තියක, භාග්‍යවන්තියක, පුණ්‍යවන්තියක වූවා ය. පැවිදිව උපසම්පදාව ඇති ඕ තොමෝ ‘මා මහලු කල පැවිදි වූ හෙයින් අප්‍රමාද ව මහණදම් පුරන්නෙමියි’ ප්‍රාසාදයෙහි පහළ කණුවක් අල්ලවාගෙන ම භාවනාවෙහි යෙදිණ. පසුව සක්මනෙහි යෙදී සිටින විට අඳුරු තැන්වලදී ඇගේ හිස ගස්වල හැපෙතැයි ගහ අතින් අල්වාගෙන ම සක්මන් කරන්නී ය, භාවනා වඩන්නී ය. සෝණ තෙරණියගේ මහත් වූ වීර්යය දුටු භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ මුහුකුරා ගිය පිරිසුදු නුවණ දැක මහා කරුණාවෙන් ගඳ කිළියෙහි සිටම ආලෝක ධාරාවක් විහිදුවා ඇයගේ අභිමුවෙහි සිටින්නාක් මෙන් තමන් වහන්සේ දක්වන ලද්දේ පුරන ලද පාරමී ශක්තිය නිසාවෙනි.

“යමෙක් උතුම් දහම නොදකිමින් අවුරුදු සියයක් ජීවත්වේ ද, එහෙත් උතුම් දහම දකිමින් එක දිනක් හෝ වෙසෙන තැනැත්තාගේ ජීවිතය එයට වඩා ශ්‍රේෂ්ඨ වේ.”

මෙලෙසින් තථාගත බුදුපියාණන් වහන්සේ මහා කරුණාවෙන් සෝණ තෙරණියගේ ප්‍රඥාවට අමතා වදාළ සේක. ගාථාව නිමවනවාත් සමඟින් ම සෝණා වෝ මහරහත් තෙරණියක බවට පත් වූවා ය.

ඕ තොමෝ මෙහෙණ අරමක වැඩ වාසය කරන කල්හි වතුර උණු කරන්නට කියා අන් මෙහෙණන් වැඩි සේක. වතුර ගෙනවුත් භාජනයක වත්කොට ලිප තබා සිටියා ය. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන සියලු ආස්‍රව දුරු කොට මහරහත් භාවයට පත් වූ සේක. භික්ෂුණින් වහන්සේලා නැවත වැඩම කොට උණුවතුර පිළිබඳ ව විමසූහ. එකෙණෙහි ම සෝණ තෙරණිය තේජෝ ධාතුවට සමවදිමින් වතුර උණුකර දුන්නා ය.

එයින් මවිත වූ මෙහෙණන් බුදුරජාණන් වහන්සේට දැන්වූහ. එය ඇසූ බුදුරජාණන් වහන්සේ සතුටුභාවයට පත් වූ සේක. අනතුරුව බුදුරජාණන් වහන්සේ පිළිවෙළින් භික්ෂුණීන් අගතනතුරුවලට පත්කරන්නා වූ, ඒ අතුරින් අත් නො හරින වීර්යය ඇත්තවුන්ගෙන් සෝණ මහරහත් තෙරණියෝ අග්‍රස්ථානයට පත් කරනු ලැබුහ. උත්තම කාන්තාවක වීමේ භාග්‍යය වාසනාව සෝණ මහරහත් තෙරණින් වහන්සේ උරුම කරගත්සේක.

මිනිස්සු ලෝභ, ද්වේෂ, මෝහ මුල්කොට ඇතිකරගන්නා වූ අකුසල ක්‍රියාවට යටත්ව අනන්ත දුක් විඳිති. සතර අපාය නමැති මහගෙදරට යටත්ව මෙසේ විඳින දුක්ඛයන්ගෙන් අතමිදී කිසිදු තැනක ඉපදීමක් නො ලබන තත්ත්වයට පත් වූ උත්තමාවියක වීම කෙතරම් ශ්‍රේෂ්ඨ ද? එසේ උත්තම ලාභය ලද සෝණ මහරහත් තෙරණින් වහන්සේ මහත් වූ සඟ ගුණ සිහිකොට නිති වන්දනා කරමු.

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 08 වනදා සඳුදා පූර්ව භාග 11.35 ට ලබයි.09 වනදා අඟහරුවාදා පූර්ව භාග 09.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය

ඔක්තෝබර් 16 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk