UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදුදනට කරුණාවෙනි : නොමඟට යන දරුවන් සුමඟට ගැනීමට මව්බොදුදනට කරුණාවෙනි : නොමඟට යන දරුවන් සුමඟට ගැනීමට මව්පිය චරිතාදර්ශය ඕනෑ පිය චරිතාදර්ශය ඕනෑ

නොමඟට යන දරුවන් සුමඟට ගැනීමට මව්පිය චරිතාදර්ශය ඕනෑ

"බොහෝ ආගම්වල කුඩා කාලයේ දී දරුවන් ආගමට ඇද බැඳ තබා ගන්නා ක්‍රම පවත්වාගෙන යනවා. එහෙත් බුදු දහම නිදහස් චින්තනයක් මත සකස් වූ බැවින් කවුරුවත් බලයෙන් ඇද බැඳ තබා ගැනීමක් සිදු කරන්නේ නැහැ. මේ නිසා මවුපියන් විසින් තමන්ගේ චරිතාදර්ශයෙන් යුක්ත ව, පව් පින් අවබෝධයෙන් යුක්ත ව විශ්වාස කරන දරු පරපුරක් බවට පත් කරවීම වර්තමාන කාලය තුළ අවශ්‍යමයි."

භික්ෂු භික්ෂුණීන් වහන්සේලා සේ ම, උපාසක උපාසිකාවන්ගේ ද ධර්ම මාර්ගය වගේ ම, ධර්ම මාර්ගයේ කෙළවර අරමුණ නිවන් මඟ ලෙසින් කෙටියෙන් තේරුම්ගත යුතුයි.

අප පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ මේ අදහසින් යුක්ත ව යම් කෙනෙක් මේ සම්බුද්ධ ශාසනයේ සැනසිල්ල සොයාගෙන පැමිණෙනවා නම්, කෙසේ අනුගමනය කළ යුතු ද කියන අදහසයි. බුදුරජාණන් වහන්සේගේ සමයේ බොහෝ කෙනෙක් තෙරුවන් සරණ යන්නට මත්තෙන්, බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ බුදුරජාණන් වහන්සේ කවුරුන් දැයි මැනවින් හඳුනා ගත්තා.

ඒ හඳුනාගත්තේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය ශ්‍රවණය කිරීමෙන්, විමසා බැලීමෙන් හා ප්‍රශ්න ඇසීමෙන්. භාග්‍යවතුන් වහන්සේ ලබාදුන්න පිළිතුරු තමන්ට ගළපාගෙන අවංකව ම තේරුම් කර ගැනීමෙන් හා අවබෝධයට පත් කර ගැනීමෙනුයි. ඉන් අනතුරුවයි ඔවුන් සඳහන් කළේ අද පටන්, දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හෝ උපාසිකාවක් හැටියට පිළිගන්නා ලෙසට. ඔවුන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් ඇතිකර ගත්තා වූ පැහැදීම හෙවත් ශ්‍රද්ධාව, විශ්වාසය මොනතරම් ද? එය මේ උපමාවන්ගෙන් පැහැදිලියි. ඔවුන් බොහෝ කෙනෙක් විසින් සඳහන් කරනු ලැබූයේ “යටිකුරු කොට තිබුණු දෙයක් උඩුකුරු කොට පැවැත්වූවා වගෙයි”, “වසා තිබූ දෙයක් පියන්පත් හැර මතුකොට දැක්වූවා වගේ” “මං මුලා වූ කෙනෙකුට මාර්ගය පෙන්නලා දුන්නා වගේ” “අඳුරේ සිටින කෙනෙකුට පොල්තෙල් පහනක් දල්වා රූප බලන්නට යැයි පෙන්වා දුන්නා වාගෙයි.” භාග්‍යවතුන් වහන්සේගේ දහම අසා මෙතෙක් කාලයක් පැවැතුණු මිථ්‍යා විශ්වාසයන්ගෙන් බැහැර ව සත්‍ය අවබෝධකරගෙන මගේ සිත තුළින් ම මා කවුරුන් දැයි තේරුම්ගෙන ධර්මයෙන් සුවයක් ලැබුවා කියන අදහසයි.

එහෙත් වර්තමාන තත්ත්වය කුමක් ද? මවුපියන් බෞද්ධ වූ නිසා, දරුවන් ද බෞද්ධ වන ස්වභාවය දකින්නට තිබෙනවා. ඒ වගේ ම කුඩා කාලයේ සිට වැඩි පිරිසක් පුරුද්දට විහාරයට යෑමත්, ගාථා සජ්ඣායනා කිරීමත්, වත්පිළිවෙත් වල නිරතවීමත් දකින්නට ලැබෙනවා. ඒවා එසේ නොකළ යුතු යැයි කිසිවිටකවත් පවසන්නේ නැහැ. මවුපියන් විසින් තම දරුවන් පවින් වළක්වා, යහපතෙහි පිහිටුවා, ශිල්ප ශාස්ත්‍රය කියාදෙන වැඩපිළිවෙළේ දී බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා ගෞරවය ඇතිවන ආකාරයෙන් දරුවන්ට කරුණු කියාදීමත්, සද්ධර්මයට අනුව පවින් වළක්වා කුසලයට යොමු කිරීමත් කළ යුතුමයි. හැබෑවට ම ඒ දේ තරමකින් හෝ සිදුවෙන බව දැක ගැනීම සතුටට කරුණක්. නමුත් බොහෝ මවුපියන් දරුවන්ට සාම්ප්‍රදායික ව පුරුදු, සාමාන්‍ය පුරුදු, වත්පිළිවෙත් ක්‍රමය හඳුන්වාදීම විනා ඉන් ඔබ්බට ගැඹුරින් හිතන්නට අවස්ථාවක් සාම්ප්‍රදායික ව සිදුවන්නේ නැති බව පෙනෙන්නට තිබෙනවා.

මෙතන දී ඔබ හිතන්නට පුළුවන් වර්තමානයේ දහම් පාසල් අධ්‍යාපනයෙන් මේ සියල්ල ලබාදෙනවා නේද කියා. එසේ නම් අපේ ඊළඟ ප්‍රශ්නය මේ තරම්, මේ සියලු දේ සිදු කරද්දී වර්තමානයේ දරුවන් අතර පවා පවතින මත් වතුර, මත්ද්‍රව්‍යයන්ට යොමුවීම, දැඩි ආශාවන්ගෙන් පිරිපුන්වීම වැනි කරුණු ද වේගයෙන් ම සිද්ධවෙන්නේ කුමන හේතුවක් නිසා ද කියන කාරණයයි. එක් අයුරකින් දහම් පාසල් අධ්‍යාපනයටත් යොමු වී පවතින්නෙත් බෞද්ධ ලෙස පෙනී සිටින දරුවන්ගෙනුත් හරි අඩකටත් වඩා අඩු පිරිසකුයි. ඒ වගේ ම පාසල් අධ්‍යාපනය තුළත් විෂයයක් හැටියට බුද්ධ ධර්මය ඉගැන්වූවත් බොහෝ විටෙක එය විභාග සමත්වීමට ඇති කරගන්නා වූ දැනුමකි. අප යෝජනා කරන්නේ මීට වඩා මවුපියන් විසින් කුඩා කල සිට ම දරුවන්ගේ සිත් තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකොට ටිකෙන් ටික ධර්මය පරික්ෂා කරමින් නියම ආකාරයෙන් ධර්මයට එකතු වෙන වැඩපිළිවෙලක් සකසාදිය යුතු බවයි.

බොහෝ ආගම්වල කුඩා කාලයේ දී දරුවන් ආගමට ඇද බැඳ තබා ගන්නා ක්‍රම පවත්වාගෙන යනවා. එහෙත් බුදු දහම නිදහස් චින්තනයක් මත සකස් වූ බැවින් කවුරුවත් බලයෙන් ඇද බැඳ තබා ගැනීමක් සිදු කරන්නේ නැහැ. මේ නිසා මවුපියන් විසින් තමන්ගේ චරිතාදර්ශයෙන් යුක්ත ව, පව් පින් අවබෝධයෙන් යුක්ත ව විශ්වාස කරන දරු පරපුරක් බවට පත් කරවීම වර්තමාන කාලයතුළ අවශ්‍යමයි. මේ නිසයි පළවෙනි පියවරක් හැටියට මව්පියන්ගේ ගුණයන් පිළිබඳ ව දරුවන්ට කුඩා කාලයේ පටන් මනාකොට උගන්වන්ට යැයි අප විසින් නිතර පෙන්වාදෙනු ලබන්නේ. සමහර මව්පියන් විසින් සිහිපත් කරන්නේ තමන්ට වන්දනා ගැනීමට දරුවන් ඒතරම් උනන්දු නොකළ යුතු බවයි. එය ඔබගේ පුද්ගලිකත්වයට කරන වන්දනාවක් හැටියට නොසිතිය යුතුයි. දරුවා ඔබට වන්දනා කරන්නේ මාතෘත්වයට කරන ගෞරවයක් හැටියටත් පීතෘත්වයට කරන ගෞරවයක් හැටියටත් කුඩා කල පටන් ම දරුවන්ට පෙන්වා දිය යුතුයි. ඒ වගේ ම මුලින් සඳහන් කළා සේ පස්පව් දස අකුසල්වල තියෙන ආදීනවය ඔවුන්ට මනාකොට කුඩා කල පටන් මවුපියන්ගේ චරිතයන්හි ආදර්ශයෙන් ම පෙන්වා දිය යුතුමයි. මෙතන දී විසඳා ගත යුතු කරුණක් තිබෙනවා. මව්පියන්ගේ ජීවිතවල මනා වූ ආදර්ශයක් නැති නම් දරුවන්ට ඒ ටික පෙන්වා දිය නො හැකිවෙනවා. මෙන්න මේ නිසා තමයි විවාහ ජීවිතවලට තරුණ දරුවන් පත්වෙන විට දරුවන් ලබන විට වඩාත් ම තමන්ගේ ඇවතුම්පැවතුම් කෙරෙහි සැලකිලිමත් ව දරුවන්ට උපදේශයක්, අවබෝධයක් දිය හැකි ආකාරයෙන් ම චරිත පවත්වා ගත යුතුම යි. මේ පිළිබඳ කරුණු සිඟාලෝවාද සූත්‍රයේ දී සදිසා නමස්කාරයේ දී තේරුම්ගත හැකියි.

මා ඔබට මේ කතාවෙන් සඳහන් කරන්නේ යම් කෙනෙක් සම්බුද්ධ ශාසනයට එනවා නම්, පළමුවැනි කරුණ සීලයේ පිහිටා සිටීමයි. භාග්‍යවතුන් වහන්සේ ගණකමොග්ගල්ලාන වැනි සූත්‍රවල දී පෙන්නුම් කළේ සීලයේ පිහිටා සිටින ලෙසයි.

වර්තමානයේ යම් යම් පිරිස් පවසන අදහසක් ද සඳහන් කළ යුතුයි. එනම් සීලය ප්‍රධාන නොවන බවත්, ප්‍රඥාව ප්‍රධානවන බවත් දැන සීලයක් ගැන නොසිතා ප්‍රඥාව ඇතිකරගන්නට උත්සාහ කළ යුතු බවයි. ප්‍රඥාව ප්‍රධාන බව සැබෑ ය. එහෙත් ප්‍රඥාව ඇතිකරගන්න පසුබිම සකස් කර ගැනීමට නම් සීලය අවශ්‍යම ය. එයට දහම් පෙළින් අපට උපමා දැක්විය හැකියි. භාග්‍යවතුන් වහන්සේගෙන් ගණකමොග්ගල්ලාන බ්‍රහ්මණයා මෙසේ ප්‍රශ්න කරනවා.

භාග්‍යවතුන් වහන්ස, මේ ශාසනයට සැනසිල්ල හොයාගෙන යම් කෙනෙක් පැමිණෙනවා නම්, කුමක් කළ යුතු ද? භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර වූයේ “සීලවාහෝති” සිල්වත් වූයේ වෙයි. කියන අදහසයි. එසේ නම් භික්ෂුවක් නම්, පාතිමොක්ෂ සංවරයෙන් යුක්තවන්නට අවශ්‍යයයි. ගිහි අයෙක් වූවත්, උපාසක, උපාසිකා ස්වභාවයේ පිහිටා පංචශීලයෙහි පිරිපුන් ව, ධර්මය සොයාගෙන යමින් නිවන අරමුණු කරන අයෙක් බවට පත්විය යුතු ම යි. සීලය යන තැන කායික වාචසික සංවරය මනාකොට විස්තර කොට තිබෙනවා. ආචාර ගෝචර සම්පන්න ව සිරිත්, විරිත් දක්නා නුවණින් යුක්ත විය යුතු යි. සිරිත් විරිත්වලින් යුක්ත නො වූයේ නම්, බුදු දහමෙහි පෙන්වා දෙන සම්‍යක් ප්‍රඥාව ඇතිකර ගැනීමට තියෙන අවස්ථාව අඩු වෙනවා. මේ සිරිත් විරිත් හෙවත් චාරිත්‍ර වාරිත්‍ර අන්ධ විශ්වාසයෙන් යුක්තව කළ යුතු දේ හැටියට සලකන්නේ නැහැ. අර්ථාන්විත ව කළ යුතු දේ බවට පත්කරගත යුතු වෙනවා. ධර්මයේ සඳහන් කරන ආකාරයෙන් ඒ සිරිත් විරිත් මොනවා දැයි “සේඛියා” නම් වූ ශික්ෂා පද හැත්තෑපහක් පෙන්වා දී තිබෙනවා. භික්ෂුවක් නම්, වැඩම කරන ආකාරය. ගිහි අයෙක් නම් ගමන බිමන පිළිබඳව යි. ඒවගේ ම චීවරය පෙරවීම පිළිබඳවයි. ගිහි අයෙක් නම් ඇඳුම පැළඳුම සකස් කර ගැනීම පිළිබඳවයි. ආහාර ගැනීම පිළිබඳවයි. ඒ වගේ ම ශරීරය පවිත්‍ර කර ගැනීම හෙවත් වැසිකිළිය, කැසිකිළිය පරිහරණය කිරීමේ පටන් මේ සිරිත් විරිත් දක්වා තිබෙනවා. මේ සිරිත් විරිත්වලින් බලාපොරොත්තු වන්නේ සංසිඳුණු මනසක් ඇතිකර ගැනීමට පහසුවෙන පරිසරයක් ඇතිකර ගැනීමයි. ඒ සිරිත් විරිත්වලින් පවත්වන ඒ සංසිඳීම නැති වූ තැනක ඇතිවන මානසික ව්‍යාකූලත්වය පමණක් නොවෙයි විහාරයක, ආරාමයක වූවත් ගිහිගෙදරක වූවත් සිදුවන ව්‍යාකූල ස්වභාවය, නොසන්සුන් ස්වභාවය අවුල්සහගත ස්වභාවය ඔබට තේරුම්ගත හැකියි.

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 08 වනදා සඳුදා පූර්ව භාග 11.35 ට ලබයි.09 වනදා අඟහරුවාදා පූර්ව භාග 09.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය

ඔක්තෝබර් 16 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk