UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කණ්ඨක චේතිය සැරසූ මූර්ති කැටයම්

කණ්ඨක චේතිය සැරසූ මූර්ති කැටයම්

පුරාණ ශ්‍රී ලංකාවේ මූර්ති කැටයම් පිළිබඳ සඳහන් කරන විට මිහින්තලේ පිහිටි කණ්ඨක චේතිය ආශි‍්‍රතව ඇති මූර්ති කැටයම් පිළිබඳ පුළුල් ලෙසින් සඳහන් කළ යුතුව ඇත. පුරාණ භාරතයේ බෞද්ධ මූර්ති කැටයම් පිළිබඳ ඉතා ප්‍රකට පුදබිම භාරුත් නමින් ප්‍රකට ය. එමෙන් ම පුරාණ ලංකාවේ බෞද්ධ මූර්ති කැටයම් දක්නට ලැබෙන පුදබිම වන්නේ මිහින්තලේ කණ්ඨක චේතියයි. මෙම දාගැබ පිළිබඳ මෑත භාගයේ දී සොයා ගෙන ඒ ගැන අධ්‍යයනයක් සිදු කළ විද්වතා ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ය.

එතුමා කණ්ඨක චේතිය පාදා ගෙන, එය සංරක්ෂණය කර, ඒ පිළිබඳ ඉතා දීර්ඝ විස්තරයක් ද ඉදිරිපත් කර ඇත.

මෙම දාගැබේ (කණ්ඨක චේතිය) උඩකොටස කඩාවැටීමෙන් ඇතිවුණු ගොඩැල්ල ‘කිරිබඩපව්ව’ යන නමින් හැඳින්වුණේ ය. එය මීට (1934 ට) පෙර වාර්තාවල සඳහන් වූයේ ඒ නාමයෙනි. එහෙත් එහි නියම නම කණ්ඨක චෛත්‍යයයි.එම දාගැබට වයඹ දිගින් පිහිටි සෙල්ලිපියක ද ඒ නම සඳහන්ව ඇත. 1934 වාර්තාවේ සඳහන් පරිදි මිහින්තලේ කණ්ඨක චේතියේ නටබුන් කැණීම 1934 දෙසැම්බර් මස ආරම්භ කෙරුණි. ඒ කාර්ය 1935 ජුනි මස අවසන තෙක් කරගෙන යන ලදී. කැණීම ඇරඹීමට පළමුව එහි ස්තූපයක කිසිම ලකුණක් පෙනෙන්නට නොතිබිණි. සියවස් කීපයකට පෙර ස්තූපයේ උඩකොටස කඩා වැටී ඒ සුන්බුන්වලට මුළු යට කොටස වැසී තිබිණි. මෙය මහ ගස් වැවුණු කඳුගැටයක් ලෙස පෙනී ගියේ ය. ස්තූපය පිහිටා තිබුණේ ඒ කඳු ගැටය මුදුණේ යැයි සලකනු ලැබී ය.

මේ කඳු ගැටය කිරිබඩපවු දාගැබ, කිරිබත්වෙහෙර ගිරිභණ්ඩ යන නම් වලින් ව්‍යවහාරයේ පතළ වූ හෙයින් 1910 -11 යන වර්ෂයේ පුරාවිද්‍යා සමීක්ෂණ වාර්තාවේ එය හඳුන්වා ඇත්තේ මෙහි අන්තිමට සඳහන් කළ නාමයෙනි. එහෙත් ස්තූපය අසල පිහිටි පළමුවැනි සියවසට පමණ අයත් සෙල්ලිපියක කණ්ඨක චේතියට ( කටක චෙත) පූජා කළ දේ ගැන සඳහන් වේ. ශෛලමය සන්නසකින් විස්තර කෙරෙන පූජා ඒ සන්නස (ශිලාලේඛනය) අසල ඇති ස්තූපයට කරන ලද පූජා වශයෙන් සැලකීම හේතු සහිත බැවින් එම සෙල්ලිපිය අසල ඇති නටබුන් කණ්ඨක චේතියේ නටබුන් ලෙස සැලකීම පිළිගත යුතු වේ. දේවානම්පියතිස්ස රජතුමා (ක්‍රිස්තු පූර්ව 250-210 පමණ) කණ්ඨකචේතිය අවට ගල්ගුහා සැට අටක් පිහිටුවීමේ කටයුතු ඇරඹුවේයැයි මහාවංසයේ දහසය වැනි පරිච්ඡේදයේ 12-13 යන ගාථාවල සඳහන් වන විස්තරයෙනුත් මෙම නිගමනය තවත් ස්ථිර වේ. බ්‍රාහ්මී අකුරෙන් ලියන ලද සෙල්ලිපි කීපයක් මේ ස්තූපය අවට ඇත. එයින් කීපයක් ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසට අයත්වේ. කණ්ඨකචේතිය පළමුවෙන් ඉදි කළේ කවුරුන් විසින් ද යන්න වංසකතාවල සඳහන් වන්නේ නැත. එහෙත් (ලජ්ජිතිස්ස රජු ක්‍රි.පූ. 119-109 පමණ) මේ දාගැබ සඳහා කංචුකයක් තැන වූ බව මහාවංසයේ (තිස්තුන් වැනි පරිච්ඡේදයේ 25 ගාථාව) සඳහන් වී ඇත. මුල් ස්තූපය ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසට පෙර ඉදි කරන ලද බවත් ඒ අනුව ඒ ස්තූපය මෙරට ප්‍රථම ආගමික සිද්ධස්ථාන කීපයෙන් එකක් බවත් මෙයින් පෙනේ. (පුරාවිද්‍යා පර්යේෂණ – මහාචාර්ය සෙනරත් පරණවිතාන පි. 74-75 සී/ස (පෞද්) විසිදුණු ප්‍රකාශකයෝ දෙවන මුද්‍රණය -2001)

කණ්ඨක චේතිය මතු කර ගැනීම සඳහා ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ නායකත්වය යටතේ සිදු කරන ලද කැණීම්වලදී පස් බොහෝ ඉවත් කිරීමට සිදුවිය. දාගැබේ හතරැස් මළුව මතු කර ගැනීමට අඩි 30 පමණ ගැඹුරට පස් කපා ඉවත් කළ යුතුව තිබුණි. ඒ අසල තවත් නටබුන් තිබුණු නිසා ඒවා යට නොවන සේ, එම පස් ඇද දැමීමට ද සිදු වූ බව වාර්තා වී ඇත. ඉන් පසු මතු කරගත් වාහල්කඩ පිළිබඳව ද මහාචාර්ය පරණවිතාන මහතා මෙසේ සඳහන් කරයි.

“සුන්බුන් ඉවත් කළ පසු දාගැබ් අණ්ඩයේ පහළ කොටසක් මළුවට සම්බන්ධකොට එක පිට එක තනා තිබුණු පේසාවළලු තුනත්, වාහල්කඩ හතරත් හෙළි විය. මෙරට වෙනත් කවර පුරාතන දාගැබක වුවද දකින්නට නැති තරම් හොඳින් මේ වාහල්කඩ දෙකකුත්, පේසාවළලු තුනත් ආරක්ෂා වී තිබිණි. විශාලත්වය අතින් අනුරාධපුරයේ යෝධ දාගැබ්වලට සමාන කළ නොහැකි වුවත් කණ්ඨකචේතිය සැලකිය යුතු විශාලත්වයක් ඇති දා ගැබකි. එහි පාදමේ වට ප්‍රමාණය අඩි 425 1/2කි. කැඩීගොස් තිබියදී පවා එය අඩි 40 උස ය. පේසාවළලු තුන කොඳු වලින් යුක්ත ය. මේ අතින් එය අනුරාධපුරයේ මිරිසවැටියට සමාන වේ. වෙනසකට ඇත්තේ මූණත මිරිසවැටියේ ගඩොලින් බැඳ තිබීමත් කණ්ඨක චේතියේ රුවන්මැලිසෑයේ මෙන් හුණුගලින් බැඳ තිබීමත් ය.

වාහල්කඩ යනු මොනවාද?

ලංකාවේ පැරැණිම බෞද්ධ මූර්ති කැටයම් හමුවන්නේ මිහින්තලේ කණ්ඨකචේතියෙනි. ඒවා ඇත්තේ එම දාගැබේ වාහල්කඩවලය. වාහල්කඩ යනු දාගැබක් සෑදීමේ දී එහි ප්‍රධාන පැති සතරට දාගැබේ බඳට බද්ධකර සාදා ඇති මූර්ති කැටයම් සහිත වූ නිර්මාණයකි. මේවා දැගැබේ මැදට පිටතට නෙරා ඇති ආකාරයෙන් සාදා ඇත. මෙහි කැටයම් කරන ලද ශිලා ටැම් ද දැකිය හැකි ය. (ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය –අංක 1 – සිරිසමන් විජේතුංග පි. 383- සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ -2012)

සතර දිශාවට මුහුණලා ප්‍රක්ෂේප හතරක් දාගැබේ වෙයි. මෙය අනුරාධපුරයේ විශාල දාගැබ්වල නිර්මාණ ලක්ෂණයකි. මේවා හැඳින්වෙන්නේ වාහල්කඩ යන නාමයෙනි. අනුරාධපුරයේ හෝ අන් තැනක හෝ දක්නට නොමැති තරම් හොඳින් කණ්ඨක චේතියේ වාහල්කඩ දෙකක් ආරක්ෂා වී ඇත. ඒ අනුව මෙම දාගැබේ වඩාත් ම වැදගත් නිර්මාණ කලාත්මක අංග මේවායි. මේ වාහල්කඩ සාදා ඇත්තේ ගඩොලින් වුවත් ඒවායේ පහළ කොටසේ මුහුණතට හුණුගල් අල්ලා ඇත.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා පූර්ව භාග 02.44 ට ලබයි.
එදින ම අපරභාග 11.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 09 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk