UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

නිකිණි අමාවක 2018.09.09

ආදර්ශවත් චරිත

ජීවිතයේ යථාර්ථය තේරුම් ගත් තරමට ජීවත් වීම පහසු ය. තමන්ගේ මෙන් ම අනුන්ගේ යහපත ගැන සිතන්නේ ද,එවැනි පුද්ගලයා ය.ඔහුගේ ජීවන පැවැත්ම අන්‍යයන්ටද පහසුවකි. නිවැරැදි කළ යතු තැන නිවැරැදි කරන්නට උත්සාහයක් හෝ නොගන්නන්, උපකාරයක් විය යුතු තැන අන්ධයින් සේ දිවි ගෙවන්නන් අතර, තමන් ගැන පමණක් ම සිතන ආත්මාර්ථකාමී මිනිසුන් අතර එවැනි පුද්ගලයෝ මිණිරුවන් සේ බබළති.

පසුගිය දිනෙක කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියේ එවැනි අපූර්වතම මිනිසෙක් දුටුවෙමි. ඔහු මැදිවියේ ය. දුම්රිය මැදිරිය තරමක් අබලන් ය.එහි එක් තැනෙක කැඩී ගිය යකඩ පතුරකි. එයද මළ කා තිබුණි. මැදිරිය මගීන්ගෙන් පිරුණ කල එය කිසිවෙකුට ඇස ගැටෙන්නේ නැත. ඒ නිසා ම පාදයක හෝ හැපුණේ නම් වන අනතුර විශාල ය. දුප්පත් පොහොසත්, බාල මහලු නිල තල භේද ඊට නැත.පෙර සඳහන් කළ මහත්මා ගුණැති ඒ මිනිසා එය දුටුවේ ය. වට පිට බැලුවත් කිසිවක් නොදැක, අත්බෑගය හැර විමසා කවරයක් ගෙන මනාව සකසා යකඩ පතුර ආවරණය කළේ ය. අනතුර බොහෝ දුරට වැළකිණි. සරල සිදුවීමකි.එය කෙනෙකුට සැලකිය යුත්තක් සේ නො දැනෙන්නට ද ඉඩ ඇත. එහෙත් මේ සිදුවීම දුටු කුඩා දැරියක් ඒ මොහොතේ පුදුම සහගතව ඒ සිදුවීම තම මවට පෙන්වා අගයනු දුටුවෙමි. ඇය පුදුම වූයේ එවැනි ආදර්ශවත් දසුන් දුර්ලභ නිසා විය හැකි ය. පරාර්ථකාමී බව කරුණාව ඇය ඒ මොහොතේ ඔහුගෙන් උගත්තා ය.

කෙනෙකුට විපතක්, කරදරයක් වේ යැයි යන හැඟීමෙන් සංවේදී සිතැතිව ඒ යකඩ පතුර ආවරණය කිරීම පසුපස උගත යුතු පාඩම ද, ආදර්ශය ද සුවිශාල ය.

මනුෂ්‍යයෙක් වී උපත ලැබුව ද මානුෂීය ගුණධර්ම නැති තැන ඇත්තේ හිස් බවකි. එවැන්නෝ මිනිස් කමටද නිගා කරන්නෝ වෙති. ආදර්ශයට චරිත ඇත්තෝ මෑත ඉතිහාසය තෙක්ම බොහෝ වූහ. මහපාරක පය ගැටී තුවාල විය හැකි ගලක් මුලක් දුටුවත් එය ඉවත් කර එතැනින් නික්ම යන්නට තරම්වත් ගුණ යහපත්කම් ඉතිරිව ඇත්තෝ දුලභ ය.ඒ දුර්ලභ මිනිසුන් හෝ ඇගයිය යුතු කියවා අසා දැන හැදෙන්නට එවැනි චරිත මාහැඟි මෙහෙවරක් ඉටු කරන නිසා ය.

අපගේ ශාස්තෘන් වහන්සේ ගිහි ජීවිතය වඩාත් යහපත් ව ගත කිරීමට අනුදැන වදාළ සදූපදේශ අකාලික ය. උන්වහන්සේ පෙන්වා දුන්නේ තමන්ට හිත පිණිස, අනුන්ට හිත පිණිස ජීවිතය පවත්වන ලෙසටය. සමාජයේ ජීවත්වන විට තනි පුද්ගලයකු ලෙස පැවතිය නොහැකි ය. දම්වැල් පුරුක් සේ ඔවුනොවුන් එකට බැඳී සිටිති. එක් පුරුකක් හෝ ගිලිහී ගියේ නම්, පැවැත්ම අසම බර ය. අද බොහෝ ප්‍රශ්න ගැටලුද ඒ නිසා ය. තමන් ගැන පමණක් සිතීම තුළ යම් තැනක තමන්ද අනාරක්ෂිත බව, විපතේ වැටෙන බවට බොහෝ දෙනකුට අවබෝධයක් නැත. පවුල තුළ පවා බොහෝ විට මේ බෙදීම දැකගන්නට පුළුවන.එකිනෙකාට උපකාරී වන චරිත,එකිනෙකා ගැන සිතන චරිත අඩු ය. මව්පියන් වැඩිහිටි නිවාසවල තනිවන්නේ ද, මහමඟ අතරමං කරන්නේ ද, මව්පිය සෙනෙහස නොමැතිව දරුවන් අසරණ වන්නේ ද ඒ ගුණධර්ම ගිලිහී යාමේ බරපතලකම නිසා ය.

අනුන්ගේ කුස හිස් කොට කවරාකාරයකින් හෝ තමන්ගේ කුස පුරවා ගන්නට වෑයම් කරන තැන් සුලබ ය.නිවස තුළ ,ආයතන තුළගම රට සමස්ත සමාජයක එවැනි දේ වර්ධනය වූ තරමට ඉදිරිය අවිනිශ්චිත ය. දුක්, කරදර, විපත් බොහෝ ය. ශෝචනීය ය. දිවි පැවැත්ම අසීරු ය.

ගෙවෙන තත්ත්පරයක් පාසා අප ළඟා වන්නේ මරණයටය. එය කවර මොහොතක සිදුවේදැයි කිව නොහැකිය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අපගේ ජීවිතය ක්ෂණයක් පාසා වෙනස්වන බව ය. මරණයට ළංවන බව ය. මේ යථාර්ථය තේරුම් ගන්නට තරම් නුවණක් වේ නම් අපගේ දුර්වලකම්, ආත්මාර්ථකාමී හැඟීම් මග හැර ගුණදහම් හඳුනන මනුෂ්‍යයෙක් වීමට පුළුවන. ඒ සඳහා සිත වර්ධනය කරන්නට , හැකි තරම් ධර්ම ඥානය ලබාගන්නට උත්සාහවත් වෙමු. ධර්ම මාර්ගයට පිවිසෙමු.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා පූර්ව භාග 02.44 ට ලබයි.
එදින ම අපරභාග 11.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 09 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]