UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අස්ගිරිය ගෙඩිගේ විහාරය හෙවත් පෙරහර ගමන් මාලිගය

අස්ගිරිය ගෙඩිගේ විහාරය හෙවත් පෙරහර ගමන් මාලිගය

සෙංකඩගල පුරවරයේ අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික ගෙඩිගේ විහාරය ක්‍රි.ව. 1347 – 1375 සමයේ ගම්පොළ යුගයේ රාජ්‍ය මෙහෙය වූ තෙවන වික්‍රමබාහු රජතුමා විසින් සිය මෑණියන් වූ චන්ද්‍රවතී බිිසව සිහිපත් කිරීම මුල් කරගෙන ඉදිකර ඇති බව පොතපතෙහි සඳහන් ය.

එම වර්ෂය ක්‍රි.ව. 1364 වශයෙන් දැක්වෙන අතර, චන්ද්‍ර‍්‍රවතී බිිසවගේ ආදාහන කටයුතු ද මෙහිදී සිදුකර ඇත. සිහිවටනයක් ලෙස චන්ද්‍රවතී නමින් රෝපණය කළ බෝධින් වහන්සේ අදටත් මෙහිදී දැකගත හැකි ය.

ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවන ලද ශ්‍රී දළදා වහන්සේගේ දළදා වංශකතාව අසිරිමත් ය. එය සම්බුදු සිරිතේ ආරම්භය දක්වා ඉතිහාසයේ දැක්වෙන අතර, ශ්‍රී ලංකාද්වීපයට වැඩම වූ ශ්‍රී දළදා වහන්සේ සතුරු ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙරට සිද්ධස්ථාන කිහිපයක ම වඩා හිඳුවා සෙංකඩගල පුරයට වැඩම කිරීම සිදු වූ බව සඳහන් ය.

දළදා පෙරහරේ කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කිරීම සුවිශේෂි හේතුවක් මත සිදු වන්නකි. පෘතුගී‍්‍රසින් ලක්දිව අත්පත් කර ගැනීමෙන් පසු කෝට්ටේ විසු හිරිපිටියේ දියවඩන නිලමේ විසින් බුද්ධ වර්ෂ 2095 (ක්‍රි.ව. 1552) දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා සීතාවක මායාදුන්නේ රජතුමාට රහසින් බාරදීමෙන් පසු කුරුවිට දෙල්ගමුවට වැඩමවා කුරහන් ගලක් සාදවා එය තුළ සඟවා තබා මහින්ද නම් භික්ෂුන් වහන්සේට පවරා ඇත. ඉන්පසු පළමු විමලධර්මසූරිය රජු විසින් දළදා වහන්සේ මහනුවර දළදා මාලිගයට වැඩමවන තෙක් දළදා වහන්සේ බොහෝ කලක් සුරැකිව රැකුණේ මේ කුරහන් ගල තුළ ය.

ඒ වගේම වසර කිහිපයක් දළදා වහන්සේ දෙල්ගමුවේ වැඩ සිටි බව ද ඉතිහාස කතා වස්තුන්ගෙන් ප්‍රකාශිත ය. අස්ගිරිමහා විහාරවාසී ඇල්ලෙපොළ මංගල මා හිමි ප්‍රධාන රාජකීය අමුත්තන් පිරිසක් විසින් සෙංකඩගල පුරයට වැඩම වූ ශ්‍රී දළදා වහන්සේ මුලින් ම අස්ගිරිය ගෙඩිගේ රාජමහා විහාරයට වැඩමවා දළදා පුද සිරිත් චාරිත්‍ර පවත්වා ඇත. ශ්‍රී දළදා වහන්සේ මහනුවරට වැඩම වූ මුල් දිනයේ සිට අද දක්වා දළදා වහන්සේ හා ගෙඩිගේ විහාරය අතර පවතින සම්බන්ධතාව සම්බුද්්ධ ශාසනය අතින් ඓතිහාසික ය.

ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන පුද සිරිත් චාරිත්‍ර සම්ප්‍රදායන්වල ආරම්භය ගෙඩිගේ විහාරය මුල්කරගෙන සිදු කිරීමද විශේෂත්වයකි.

අස්ගිරිය ඓතිහාසික මැද පන්සල පිහිටි උඩමඩපත නමැති භූමිය මිලයට ගෙන සංඝාරාමයක් ද ඉදිකර ඉඳලුවගොඩ ධම්මපාල මහානායක හිමියන් වෙත පුද කර ඇත්තේ මීගස්තැන්නේ දුම්බර දිසාවේ විසිනි. ක්‍රි. ව. 1767 දී මෙම මැද පන්සල විහාරය පූජාව එම දිසාවේ විසින් සිදුකර ඇත්තේ ගුරු පඬුරු වශයෙනි.ගලබොඩ මහ නිලමේ විසින් ඉදිකරනු ලැබූ උඩුවෙල හන්තාන විහාරය ද පූජා කර ඇත්තේ මෙම ධම්මපාල මහානායක මහා හිමිපාණන් වහන්සේ වෙත ය.

පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කිරීමත් සමඟ ම ආරම්භ කෙරෙන හේවිසිය කඩ නො කර පසුදින දවල් පෙරහර තෙක් නො කඩවා පැවැත්වීම ද මාලිගාවේ හේවිසි රාජකාරී පිරිසට අයත් රාජකාරියකි. දියවඩන නිලමේ වෙනුවෙන් පෙරහර කරඬුව භාර බස්නායක නිලමේ කෙනෙකු ගෙඩිගේ විහාරයේ රැඳී සිටීම ද චාරිත්‍රයකි. මේ සියලු තේවාවන් සහ රාජකාරී කටයුතු මහානායක මා හිමියන්ගේ සහ දියවඩන නිලමේතුමා ප්‍රධාන සෙසු නිලමේවරු ඉදිරියේ කරනු ලැබේ.

ගෙඩිගේ විහාරයේ හාරයේ තැන්පත් කර තබන පෙරහර කරඬුව සම්බන්ධ වගකිම් සහ භාරකාරත්වය අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක මා හිමි ප්‍රධාන අස්ගිරිය මහා විහාරයේ මහා සංඝරත්නය වෙත පැවරේ. දියවඩන නිලමේතුමාගේ සහ ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ බස්නායක නිලමේතුමාගේ නිර්දේශය මත පෙරහර කරඬුවේ ආරක්ෂාවට බස්නායක නිලමේ කෙනෙකු ද චාරිත්‍ර පැවැත්වීමට සම්ප්‍රදායානුකූලව ශ්‍රී දළදා මාලිගාවේ පල්ලේමාලේ රාළත්, තේවා ශබ්ද පූජාවන් අඛණ්ඩව පැවැත්වීමට හේවිසි වාදකයින් සමඟ කවිකාර මඩුවත් පත් කෙරේ. මෙම චාරිත්‍ර විධි ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරිය සිදු කරන පිරිස විසින් ම පවත්වන අතර, මුළුතැන් බුද්ධ පූජාව ශී‍්‍ර දළදා මාලිගාවේ සිට පංචතුර්ය නාද මැද ගෙන එනු ලබන්නේ ය. ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වනු ලබන සියලු පුද චාරිත්‍ර පූජාවන් ශ්‍රී දළදා මාලිගාවෙන් හැර දක්නට ලැබෙන එකම පූජනීය ස්ථානය මෙම ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරය යි.

දළදා වහන්සේ ඓතිහාසික ගෙඩිගේ විහාරයේ වැඩ සිටි බව සිහිපත් කර දළදා සමිඳුන්ට පවත්වන පුද සිරිත් විිරිත් පූජාවන් ඒ පරිද්දෙන් ම ගෙඩිගේ විහාරයේ දී පවත්වති. සිරිත් පරිදි පවත්වනු ලබන දවල් පෙරහර ගෙඩිගේ රජමහා විහාරයෙන් පිටත්වන මොහොත තෙක් ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කර තබන පෙරහර කරඬුව සම්බන්ධ වගකීම සහ භාරකාරත්වය අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක හිමියන් ප්‍රධාන අස්ගිරි මහ විහාරයේ මහා සංඝ රත්නය වෙත පැවරේ.

මාලිගාවේ ඇසළ පෙරහරේ අවසාන රන්දෝලි පෙරහර මාලිගාවට ගෙවදීමෙන් පසු දියකැපුම් මංගල්‍ය සිදු කරනු ලබන්නේ පෙරහර කරඬුව අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කිරීමන් පසුව ය. පසුදින දවල් ඇසළ පෙරහර පිටත්වීම තෙක් ගෙඩිගේ විහාරස්ථානයේ පෙරහර කරඬුව තැන්පත් කිරීම සහ ඒ සඳහා බැඳි පුදපූජා සිදු කෙරේ. වසරකට වරක් අස්ගිරි ගෙඩිගේ විහාරයට පමණක් මෙම අසිරිමත් දළදා පෙරහරේ පූජනීය අවස්ථාව උදාවෙයි.

ශ්‍රී දළදා මාලිගාවේ දළදා පෙරහර ගමන් කරන එකම විහාරස්ථානය ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරය යි. ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය ලබන ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරයට පිවිසෙන දෙස් විදෙස් බැතිමත්තු අතීතයේ සිට ම පැමිණ පුද පූජා පවත්වා පින් රැස් කර ගනිති.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා අපර භාග 03.16 ට ලබයි.
26 වන දා ඉරිදා අපරභාග 05.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 25 වන දා සෙනසුරාදා ය.


මීළඟ පෝය සැප්තැම්බර් 03 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]