නිකිණි පුර පසළොස්වක 2018.08.25
අභිමානවත් සමාජයක්
මීට දශක දෙක තුනකට එහා ගම රැකුණේ ගමේ මිනිසුන් කෙරෙන් ඉස්මතු වූ ගුණ යහපත්කම් නිසා
ය. එදා බොහෝ ගැමියෝ තමන්ගේ දරුවෙක් නගරයට යවන්නට පවා බිය වූයේ නගරයේ සංකරකම් ගමට
පැමිණේ යැයි බියෙනි. එහෙත් දැන් දැන් ඈත පිටිසර ගම් දනව් ද සංකර වී ඇතැයි හැඟෙන්නේ
එදා අප දුටු සරල, අව්‍යාජ ගැමියන් වෙනුවට ඇතැම් තැනෙක දුරාචාරයට යොමුවුණු පිරිස ද
දකින්නට ලැබෙන නිසා ය. ඒ යහපත් බොහෝ දෙනා අතර එවැනි එක් අයෙක්, දෙන්නෙක් වුව මුළු
මහත් ගමක්, සමාජයක් දුර්ගන්ධවත් කරන්නට ප්‍රමාණවත් ය.
නගරය අයහපත් තැනක් ම වන බවට ද ගම ගැන පෙර කළ සඳහනෙන් අදහස් නොවන බව ද කිව යුතු ය.
ගුණ දහම් හඳුනන, මනුසත්කම් ඇති බොහෝ පිරිස් එහි ද ජීවත්වෙති. එහෙත් ගම මෙන් නොව
නගරය බොහෝ දෙනාට විවෘත ය. නන්නාඳුන අය ද එහි වෙති. වැරැදිකරුවන් සැඟව සිටිනේ ඒ
අවසරයෙනි.
එදා ගමේ මිනිසෙක් වරදක් කළේ නම්, ඒ වරද කිසිවෙක් අනුමත නොකළහ. වැරැදි කළ දරුවන්
අම්මා තාත්තා පවා ප්‍රතික්ෂේප කළහ. ගමේ විහාරස්ථානයේ හාමුදුරුවන් වහන්සේ ද, විවිධ
ග්‍රාමීය නායකයන් ද, ඊට ශක්තිය හා ධෛර්යය ලබා දුන්හ. ගමේ එකමුතුකම ද ඊට මහත්
පිටුබලයක් වුණි. එයම වරද නිවැරැදි කරන්නට මහෝපකාරී විය.
අද වන විට ගම විනාශයට ගෙන යන ප්‍රබලතම සාධකයක් වී ඇත්තේ තැනින් තැන හිස ඔසවන්නට හදන
මත් රකුසා ය. විවිධ වේශයෙන් එන මත්ද්‍රව්‍ය තරුණ පරපුර, වැඩිහිටියන් පමණක් නොව
පාසල් දරුවන්ද බිලිගන්නට උත්සාහකරන අවස්ථා පිළිබඳව විටින් විට වාර්තා වේ.
‘මත්ද්‍රව්‍ය පාලනය කිරීම පොලීසියට පමණක් සිදුකළ නොහැකි කාර්යයක් වන බවත් ඒ සඳහා
සෑම කෙනෙකු අතින්ම ඉටුවිය යුතු යුතුකම් වගකීම් රැසක් තිබෙන බවත් පසුගිය දා
මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් මත්ද්‍රව්‍ය නිවාරණ
ජනාධිපති කාර්යය සාධක බලකාය සමඟ එක්ව පැවැත් වූ වැඩසටහනකදී පොලිස්පති පූජිත
ජයසුන්දර මහතා අවධාරණය කර තිබුණි.
සමාජ යහපත, දරුවන්ගේ යහපත අපේක්ෂා කරන සියල්ලන් විසින් එය අවධාරණයට ගත යුතු වූවකි.
තමන්ගේ දරුවෙක්, අසල් වැසියෙක්, ගමේ කෙනෙක්, මත් ද්‍රව්‍යයට ගොදුරු වෙනවා නම්, ඔහු
ඉන් මුදවා ගත හැකි වන්නේ ද එම සමීපතමයන්ටමය. තමන්ගේකම, ගමේ කම ඉස්මතු නොවෙනතාක්
එවැනි දෙයකට ඉදිරිපත් වන්නට සිත නොනැමෙන්නේ ය. ගම රැක ගැනීම සේ ම නගරය රැක ගැනීම ද
කළ හැකි එහි ජීවත්වන්නන්ටම ය. අවශ්‍ය වන්නේ ඔවුන් ඒ සඳහා පෙළඹවීම ය. පොලිස්පති
පූජිත ජයසුන්දර මහතාගේ උත්සාහය එවැන්නක් බව හැඟේ. රට වෙනුවෙන්, අපගේ දරුපරපුර
වෙනුවෙන්, සමාජ සුරක්ෂිතබව වෙනුවෙන් සැම දෙනා එකමුතු විය යුතුව තිබේ. මතෙන් නිදහස්
රටක් ගොඩනැඟිය හැකි ඒ යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටු කළ පමණට ය.
ඇතැම් පවුල්වල පියාගේ බේබදුකම නිසා අධ්‍යාපනය ලබන්නට නොහැකිව අසරණවන දරුවන් අපමණ ය.
සමහර දරුවන් කුසගින්නේ ය. මත් ද්‍රව්‍ය නිසා පිරිහී යන්නේ ආර්ථිකය පමණක් නොවේ. අපගේ
ශ්‍රම බලකාය ද රටට අහිමි වේ. විකෘති වූ මනස බොහෝ නරකදේට සිත පොළඹවයි. එවිට
සංස්කෘතිය සදාචාරය පිරිහෙයි. තමන්ගේ, තම පවුලේ මතු නොව මුළු රටේම අභිමානය නැතිව
යයි.
රටක අභිමානවත් බව ගොඩනැගෙන්නේ එහි මිනිස්කම් වැඩි වූ තරමටය. එහෙත් මිනිස්කම දුරලන
ව්‍යසනකාරී මත්ද්‍රව්‍ය වෙළෙඳුන්ට හා ඊට ඇබ්බැහි වූවන්ට තමන් රිසිලෙස සමාජ ගතවන්නට
ඉඩ දී නිහඬව බලා සිටීම වගකිවයුතු පුරවැසියන්ගේ යුතුකම නොවේ.
සම්බුදු දහමින් සුපෝෂිත, පස් පවින් මිදුණු සමාජ සංස්කෘතියක් අපට උරුමව තිබුණි. එදා
අපේ අතීත පරපුර පවට ලජ්ජා වූහ. බිය වූහ. ලජ්ජා බිය නැති කරන මතට එරෙහිව නැගී
සිටින්නට සමාජයක් එකමුතු වනවා නම්, මත නිසා සමාජයක් දුර්ගන්ධ කරන එක් මිනිසෙක් හෝ
ඉතිරි නොවනු ඇත. වැඩිහිටි, තරුණ සමිති, බොදු සංගම්, පන්සල, පාසල ඒ සඳහා වහ වහා පෙළ
ගැසිය යුතු කාලය එළඹ තිබෙන්නේ ය.
|