පොසොන් සඳ එළියෙන් ඒකාලෝක වූ
සිහළදීපය
පොල්ගහවෙල
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
ගෞතම සම්බුද්ධ ශාසනය අපගේ සිංහල දීපයේ ස්ථාපිත කළේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ
විසිනි. ඒ වගේම ජයශ්‍රී මහ බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩමවා භික්ෂුණී
ශාසනය ද බිහිකොට ලක්දිව කාන්තා පරපුරට සංඝමිත්තා රහත් තෙරණිය විසින් අනුපමේය ශාසනික
සේවාවක් සිදු කළහ.
හත් හැවිරිදි නිග්‍රෝධ සාමණේර මහරහතන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය අසා සසුනෙහි පහන්ව
උපාසකභාවයට පත් වූ ධර්මාශෝක රජතුමා මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ කලණ ඇසුර
නිසා තව තවත් ශ්‍රද්ධාව තම සිත තුළ බලවත් කර ගත්තේ ය. ඒ සුපහන් සිතින් භාග්‍යවතුන්
වහන්සේ වදාළ අසුහාර දහසක් ධර්මස්කන්ධයට උපහාර පිණිස දඹදිව් තලය පුරාවට අසූහාර දහසක්
වෙහෙර විහාර ඉදි කරවා එකම දිනයක දී ඒ වෙහෙර විහාර බුදු සසුනට මහත් වූ පුද සත්කාර
සමඟින් පූජා කළේ ය. උතුම් මහරහතන් වහන්සේලා ධර්මාශෝක රජතුමාගේ බුද්ධ ශාසනය කෙරෙහි
චිත්තප්‍රසාදය දියුණු තියුණුවීම පිණිස දඹදිව පුරා පිහිටි ඒ සියලු විහාරයන්වල සිදුවන
අලංකාර පුද පූජාවන් රජතුමාට එකවර පෙනෙන අයුරින් “ලෝක විවරණ ප්‍රාතිහාර්යය” නම්
සෘද්ධි ප්‍රාතිහාර්යය සිදු කළේ ය. එයින් අසීමිත බුද්ධාලම්භන පී‍්‍රතියට පත්
ධර්මාශෝක රජු මොග්ගලිපුත්තතිස්ස තෙරුන්ගෙන් මෙසේ විචාළීය.
“ස්වාමිනි, උත්තම සුගත ශාසනයෙහි පරිත්‍යාග සිදු කරන අය අතර අග්‍ර වන්නේ කවරෙක් ද?”
”මහරජතුමනි, පරිත්‍යාග කළ අය අතර ඔබ අග්‍රය. අප සුගත තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ
සිටිද්දීවත්, ඔබට සමාන වූ භාග්‍යවන්තයෙක් බුද්ධ ශාසනයෙහි නො සිටියේ ය.” ”එසේ නම්
ස්වාමිනි, මා බුද්ධ ශාසනය දායාදය ලැබුවෙක් ද?”
”රජතුමනි, ඔබ මහා භාග්‍යවන්තයෙක් වුවත් බුද්ධ ශාසනයෙහි දායාදය ලැබුවෙක් නොවේ. ඔබ
සිව්පසය පුදන දායකයෙක් පමණයි. යමෙකු තම ලෙයින් උපන් පුත්‍රයෙකු හෝ දියණියක හෝ බුදු
සසුනෙහි පැවිදි කරන්නේද, එවිට ශාසන දායාදය ලබන්නේ ය. හුදෙක් සිව්පසය දායකයෙක් වූ
පමණින් ශාසන දායාදයට හිමිකරුවෙකු නො වන්නේ ය.”
එවිට ධර්මාශෝක නිරිඳුන්ට ශාසන දායාදය ලබන්නට මහත් ආශාවක් ඇති වී මහින්ද කුමරුත්
සංඝමිත්තා කුමරියත් ඇමැතුවේය.
”කිම මාගේ දරුවෙනි, තෙපි පැවිදි වන්නාහු ද? බුදු සසුනේ පැවිද්ද වනාහි ඉතා උතුම්
දෙයක් නොවැ”
කුමරුත්, කුමරියත් ඉතා සතුටට පත්ව
”පිය රජතුමනි, ඔබවහන්සේ කැමැතිවන සේක්නම් අප අද වුවත් පැවිදි වීමට කැමැත්තෙමු.
හෙතෙම බුද සසුනෙහි උත්තම පැවිදිබව ලැබීමෙන් අප දෙදෙනාටත්, ඔබ වහන්සේටත් යහපත්ක්
සිදු වන්නේ ය”.ඉන්පසු ධර්මාශෝක රජු බුද්ධියෙන් සහ රූපයෙන් බබළන මිහිඳු නම් සිය
පුත්‍රයාත්, සංඝමිත්තා නම් දියණියත් මහත් ගරු සත්කාර සහිතව ගෞතම බුද්ධ ශාසනයෙහි
පැවිදි කරවී ය. ඒ වනවිට මිහිඳු කුමාරයාට වයස අවුරුදු විස්සක් වූ අතර සංඝමිත්තා
කුමරියට අවුරුදු දහ අටකි.මිහිඳු කුමාරයා පැවිදි වූ දිනයේදී ම උපසම්පදාව ලැබුවේ ය.
උන්වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ වූයේ මොග්ගලිපුත්ත මහරහතන් වහන්සේ යි. මහාදේව තෙරුන්
වහන්සේ පැවිදි බව ලබා දුන්හ. මජ්ඣන්තික තෙරුන් වහන්සේ උපසම්පදාවේ දී කර්ම වාක්‍යය
වදාළේ ය. උපසම්පදා මාලකයේදී ම මිහිඳු තෙරණුවෝ සතර පටිසම්භිදාවෙන් යුක්තව උතුම්
අරහත්වයට පත්වී වදාළහ.
මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබා තුන් අවුරුද්දක් තුළ සිය උපාධ්‍යාය වූ
මොග්ගලිපුත්තිස්ස තෙරුන්ගෙන් සූත්‍ර, විනය, අභිධර්මය යන තුන් පිටකය අර්ථ විස්තර
සහිතව ඉගෙන ගත් අතර, භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර දෙසිය තිස්හයකට
පසුව මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පාඨලිපුත්‍රයේ ආශෝකාරාමයේ
දී තුන්වන ධර්ම සංගායනාව සිදු කළේය. බිය තැතිගැනීම් නැති විශාරදභාවයට පත් උතුම්
මහරහතන් වහන්සේලා දහස් නමක් එයට සහභාගි වූ අතර, අපගේ මහකස්සප මහ රහතන් වහන්සේ
ප්‍රථම ධර්ම සංගායනාව සිදුකළ අයුරින් ම කාකන්ඩපුත්‍රයස මහ රහතන් වහන්සේ දෙවැනි ධර්ම
සංගායනාව කළ අයුරින් ම, මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද තුන්වෙනි ධර්ම සංගායනාව
පවත්වා වදාළේ ය.
නව මසකින් නිමාවට පත් වූ ගෞතම බුදු සසුන චිරාත් කාලයක් පවත්නා ආකාරයෙන් සිදු වූ මේ
තෙවෙනි ධර්ම සංගායනාව අවසානයේ දී මහපොළොව කම්පිත විය. ගෞතම සම්බුදු සසුන බබුළුවාලු
මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ ධර්ම සංගීතියෙන් පසු අනාගතයෙහි ඈත පිටිසර
රාජ්‍යවල (ප්‍රත්‍යන්ත දේශවල) බුදු සසුන පිහිටන බව අරහත් ඤාණයෙන් දැක වදාළේ ය.
ඉන්පසු රාජ්‍ය නමයක් උදෙසා ධර්ම දූතයන් ලෙසින් ඒ ඒ රටවල සම්බුදු සසුන පිහිටුවීමට
රහතන් වහන්සේලා වැඩම කරවීමට කටයුතු කළේය. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුලු තම ශිෂ්‍ය
පුත්‍රයන් වන ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල නමැති රහතන් වහන්සේලා ලක්දිවට වැඩි
සේක. ඉතා රම්‍ය වූ ලංකාදීපයට වැඩම කොට ඉතා සොඳුරු වූ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය එහි
පිහිටුවන්නැයි මොග්ගලිපුත්තතිස්ස රහතන් වහන්සේ වදාළේ ය.
ලංකාදීපේ මනුඤ්ඤම්භි
මනුඤ්ඤං ජිනසාසනං
පතිට්ඨාපේථ තුම්හේති
පඤ්ච ථෙරේ අපේසයි
පැවිදි උපසම්පදාවෙන් දොළොස් වසරක් ඉක්මවා තිබූ මහා නුවණැති අනුබුදු මිහිඳු මහරහතන්
වහන්සේ ගෞතම සම්මා සම්බුදු සසුන කෙරෙහි ලංකාද්වීපවාසීන් පහදවනු පිණිස ඊට සුදුසු
අවදිය කෙසේදැයි විමසූහ. “ලංකාද්වීපයේ දැන් සිටින මුටසීව රජු ඉතා මහලුයි. ඔහුගේ
පුත්‍ර වූ දේවානම්පියතිස්ස කුමරු ඊළඟට රජ බවට පත් වූ පසු මම එහි වඩිමියි” සිතා
වදාළේ ය.
එසේ ලංකා රාජ්‍යයේ අලුත් රජෙකු බිහි වෙන්නට කාලයක් ගතවිය. ඒ අතරතුර තමන් වහන්සේගේ
ඤාතින් දකින්නට අදහස් කළ මිහිඳු මා හිමියෝ ඒ සඳහා උපාධ්‍යායන් වහන්සේගෙන් සහ සංඝ
රත්නයෙන් අවසර ගෙන සිය පියාණන් වූ ධර්මාශෝක රජුට ඒ පිළිබඳව දැනුම දී ඉට්ඨිය,
උත්තිය, සම්බල, භද්දසාල යන මහරහතන් වහන්සේලා ෂඩ් අභිඤ්ඤාලාභි සුමන සාමණේරයන් වහන්සේ
කැටුව ඤාතින්ට අනුග්‍රාහ කිරීමට රජගහනුවර හරහා දක්ඛිණගිරි ජනපදයට වැඩම කළාය.
අනුක්‍රමයෙන් තම මෑණියන් වූ දේවි කුමරියගේ නගරය වන වේදිසගිරියට වැඩම කළ සේක. මව්
දේවිය තම පි‍්‍රය පුත්‍රයන් වහන්සේ ප්‍රමුඛ සඟ පිරිසට මහත් ශ්‍රද්ධාවෙන් දන්පැන්
පූජා කළේය. ඇය විසින් තැන වූ සුන්දර වේදිසගිරි විහාරයේ උන්වහන්සේලා වැඩ සිටියහ. එම
විහාරයේ වැඩ සිටිද්දී මිහිඳු මහරහතන් වහන්සේ අධිෂ්ඨාන කිහිපයක් සිදු කළහ.
”මාගේ පිය රජතුමාගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන දෙවැනි අභිෂේක මහෝත්සවය දේවානම්පියතිස්ස
නිරිඳු සිදු කරත්වා, එමෙන් ම පිය රජුන් විසින් යවන රාජකීය දූතයන්ගෙන් තුණුරුවන්ගේ
ගුණ අසා දැන ගනිත්වා. ඒ දෙවනපෑතිස් රජු ලබන පොසොන් දින මිස්සක නමැති පර්වතය වෙත
පැමිණේවා. එදිනට අපද ලංකාද්වීපයට වැඩම කරත්වා” කියා අදිටන් සිදු කළේය. ඉන් මසකට පසු
මිහිඳු මා හිමියන් වහන්සේ, රහතන් වහන්සේ සිව්නමත්, සුමන සාමණේරයන් වහන්සේත්,
අනාගාමි සත් හැවිරිදි භණ්ඩුක උපාසකත් සමඟින් වේදිසගිරි විහාරයෙන් අහසට පැන නැඟී
ලක්දිවට වැඩම කොට රම්‍ය වූ මිස්සක පර්වතයෙහි ඉතා සිත්කළු වූ අම්බස්ථල ගල මත වැඩ
සිටි සේක. මිහිඳු මහරහතන් වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි දේවානම්පියතිස්ස නිරිඳුන් හමු
වූ අවස්ථාවේ දී උන්වහන්සේ මෙසේ වදාළ සේක.
සමණං මයා මහාරාජ
ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා
”මහරජ අප ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයන් වහන්සේලා වෙමු. ඔබ කෙරෙහි
අනුකම්පාවෙන් ම දඹදිව සිට මෙහි ආවෙමු.”ඉන් අනතුරුව උන් වහන්සේ රජතුමා ප්‍රධාන
සතළිස් දහසක් පිරිසට
චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කරමින් ලක්දිව දහම් ප්‍රචාරය ආරම්භ කළහ. කෙටි කලක්
ඇතුළත මෙරට කසාවතින්ද, උපාසක, උපාසිකාවන්ගෙන් ද, වෙහෙර විහාරවලින්ද බැබළෙන්නට වුණි.
ලක්දිව සම්බුද්ධ සසුන ඒකාලෝක කරමින් මාර්ගඵලලාභී සිව්වනක් පිරිසම බිහි වී බුදු සසුන
ශෝභමානව බැබළුණේ ය.
- නයනා නිල්මිණී |