පොසොන් පුර පසළොස්වක 2018.06.27
අවදිමත් සිතින් යළි සිතමු
සම්බුදු දහමින් සුපෝෂිත වු නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් හිමි,අභිමානවත් ශිෂ්ට
සම්පන්න ජාතියක් ලෙස සිංහල ජාතියේ අනන්‍යතාව ගොඩනඟා ගන්නට විශිෂ්ට මාර්ගෝපදේශකත්වය
ලබා දුන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ උතුම් පුර පසළොස්වක පොහෝ
දිනය අදයි.
ඒ උතුම් ධර්මාලෝකය නිසා අධ්‍යාත්මික වශයෙන්ද, බාහිර වශයෙන්ද මහා වෙනසකට බඳුන් වූ
බෞද්ධ සමාජයේ මිනිසුන්ට බියෙන් සැකයෙන් තොරව, ජීවත්වීමේ අයිතිය තහවුරු කරගන්නට
හැකිවිය. තමන් සතුදේ ආරක්ෂා කරගත්තා මිස ඔවුහු අනුන් සතු දේ උදුරාගත්තේ, හෝ සොකරම්
කළේ නැත. සමාජයේ කුඩා ම ඒකකය වූ පවුල තුළ අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කරගත් අඹු
සැමි සම්බන්ධතාවය ශක්තිමත් පවුලකට පී‍්‍රතිමත්, නැණවත් දරු පරපුරකට අඩිතාලම සකසා
දුන්නේය. බොරුව, වංචාව, බැහැර කොට එකිනෙකා අතර විශ්වාසවන්ත බව ගොඩනැඟී සමාජය
ශක්තිමත් විය. අපරාධයන්ට, විනාශකාරි තත්ත්වයන්ට යොමු කළ, මනස විකෘති කළ මත්ද්‍රව්‍ය
භාවිතය ජන සමාජයේ ලජ්ජාවට කරුණක් වු අතර එය තරයේ ප්‍රතික්ෂේප කළහ. පංචශීලය ගරු කළ,
පවට ලජ්ජා බිය ඇති, කුසලය වර්ධනය කළ සිත් සතන් තුළ පොදු හැඟීම් වර්ධනය විය. අනාගත
පරම්පරාව ප්‍රෞඪ ඉතිහාසයක උරුම කරුවන් කරන්නට , එදා අපේ මුතුන් මිත්තන්ගේ දෑතින්
විස්මිත වෙහෙර විහාර ඉදිවූයේ, සිත්පිත් නැති කළු ගල් පවා මෙත්, කරුණා, මුදිතා ගුණ
නිරූපිත සම්බුදු ප්‍රතිමා වහන්සේ බවට පත්වූයේ, සාගරය පරයන මහා වැව් ඉදිවූයේ ඒ
පරෝපකාරී, පරාර්ථකාමී හැඟීම් නිසාය. අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනයෙන් වසර
දෙදහස් තුන්සිය විසි පහක් ගතවීද අදටත් අප සතුටු වන්නේ, කතා කරන්නේ, ඵල ප්‍රයෝජන
ලබන්නේ ඒ විස්මිත නිමැවුම්වලිනි.
එදා මිහිඳු මා හිමියන් හඳුන්වා දුන් ධර්මාලෝකයෙන් ජන ජීවිතය ඒකාලෝක විය. ඔවුහු
තෙරුවන් සරණ හැර අන් සරණක් නොපැතූහ. භාෂාව, සාහිත්‍ය, කලාශිල්ප , ගෘහ නිර්මාණ ශිල්ප
ආදි මේ සියලු අංගයන් ප්‍රභාවිත වූයේද මිහිඳු මා හිමි හඳුන්වා දුන් ධර්මාලෝකයෙනි.
‘වැවයි, දාගැබයි’ ගමයි – පන්සලයි’ සංකල්පය ලාංකීය සමාජයේත් සංස්කෘතියේත් දියුණුවේ
සංකේතය විය. ශක්තිමත් ගිහි පැවිදි සම්බන්ධය තුළ සමාජය වරදින් මුදවා ගන්නට වෙසෙස්
කාර්ය භාරයක් සිදුවිය. ආගන්තුක සත්කාරය මවුපිය වැඩිහිටියන්ට සැලකීම යුතුකම් වගකීම්
හැඳිනීම ,පරෝපකාරය ආදි උතුම් ගුණාංග තුළ හැදී වැඩුණූ ලාංකීය සමාජය ලොව පුරා කීර්ති
නාමයක් දිනා ගත්තේය. ඒ ගෙවුණු අතීතයේ ය.
මෑත ඉතිහාසය වනතුරුම ඒ ධාර්මික ජීවිතයන් හි සුවඳ, හැදියාව, අපේකම අපේ සමාජය තුළ
මොනවට විද්‍යමාන විය.අපේ පැරැණ්නෝ, අල්පේච්ඡ දිවි පෙවෙතක් ගත කරමින් සන්තුෂ්ටියෙන්
ගත කළ ජීවිතයේ මිහිර පොත පතින් නොව මීට දශක තුන හතරකට එහා අපි සියැසින් දුටුවෙමු.
ඒත් අද අප විපතකට වැටී ඇතැයි ඇතැම් විට හැඟේ. ඒ බුදුදහම හා බැඳුණු සංස්කෘතික
සාරධර්ම, හර පද්ධතීන් අපේ සමාජයෙන් ගිලිහි යන සෙයක් දැනෙන නිසා ය.
මවුපිය දූ දරු, ස්වාමිභාර්යා, ගුරු සිසු, සේව්‍ය සේවක, ගිහිපැවිදි සබඳතාවන්ගේ
වටිනාකම් දිනෙන් දින නොවටිනාකම් බවට පත්වීම තුළ සමාජ සංස්ථාව පරිහානියට යාම
වැළැක්විය නොහැකිය. මිහිඳු මාහිමියන් ලාංකීය සමාජයෙන් අපේක්ෂා කළේ එවැන්නක් නොවේ.
අවදිමත් සිතින් යළි සිතන්නට කාලය පැමිණ තිබේ.
වියැකී යන ගුණධර්ම වර්ධනයට සෑම සමාජ සාමාජිකයෙක්ම පෙළ ගැසිය යුතුව තිබේ.
තාක්ෂණයේ දියුණුව මනාව ගුණධර්මයන්ගේ පරිහානියට නොව සංවර්ධනයට යොදාගත යුතුව තිබේ.
සමාජයෙහි පොදු හැඟීම් වර්ධනය කිරීම අත්‍යවශ්‍ය ය. ජාතියේ,ආගමේ, සමාජයේ උදාරත්වය,
ප්‍රෞඪත්වය වියැකෙන්නට නොදී ආරක්ෂා කරගන්නට, තවත් වර්ධනය කරන්නට විධිමත් සැලසුම්
අත්‍යවශ්‍යය. දැනුම් තේරුම් අති දුර දක්නා නුවණ ඇති සියලු වැඩිහිටියෝ ඒ කාර්යභාරයේ
නියමුවෝ විය යුතුය. ශ්‍රී සද්ධර්මයේ ධර්මාලෝකය අපට නොඅඩුව ලැබේ. මහා සංඝරත්නය ඒ
වෙනුවෙන් ඇප කැපවී සිටිති. වැරැදි නිවැරැදි කොට අඩුපාඩු සකසාගෙන ධර්ම ඥානය ලැබ
ලෞකික ලෝකෝත්තර දියුණුවම ලබන්නට මේ උතුම් පොහෝ දින අධිටන් කර ගනිමු. |