UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උතුම් මොහොත ඉක්ම නොයවා ...

උතුම් මොහොත ඉක්ම නොයවා ...

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සැබෑ ලෙසම ඉතිහාසයක් ඇති විමුක්තියේ නිරුත්තර සටහන තබා වදාළ අසහාය ශාස්තෘවරයාණෝ ය. දඹදිව උත්තර භාරතයට අයත් ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තු නගරයට සමීපව පිහිටි රමණීය සල් වනයේ දී සිදුහත් බෝසතාණෝ මිනිස් ලොව උපන් සේක. මව සුද්ධෝදන රජුගේ අගමෙහෙසිය වූ මායා දේවිය යි. ලුම්බිනි ශිලා ලිපියට අනුව අභිෂේකයෙන් විසිවන වසරේ දී ධර්මාශෝක රජතුමා එම ජාත භූමියට ගොස් ‘මෙහි බුදුන් උපන්හ’ යැයි වැඳුම් පිදුම් කළ අතර පශ්චිම ජනයාට නිවැරැදිව ම එම ස්ථානය දැන ගැනීම පිණිස ගල් බිත්තියක් හා ශිලා ස්ථම්භයක් පිහිටුවී ය. ලුම්බිනි ග්‍රාමය ද අය බද්දෙන් නිදහස් කළේ ය. බුද්ධ චරිතයේ සුවිශේෂී සිදුවීම් සිද්ධ වූ ස්ථාන බලා පයින්ම ගමන් ගත් ධර්මාශෝක රජතුමා අභිඥාලාභී රහතන් වහන්සේලාගෙන් අසා නිසැකව ම දැන ඒ ඒ ස්ථානවල ශිලා ස්තම්භ පුවරු ලිපි හා ටැම් ලිපි ස්ථාපනය කළේ ය. ඒවායින් බොහොමයක් අද දක්වා ම නිරුපද්‍රිතව ඇත.

ගම්, නියම් ගම්, නගර, පර්වත, වනාන්තර, ආරාම ආදී බුදුරදුන් දම් දෙසූ ස්ථාන එ නමින් මෙකල ද හැඳින්වේ. ත්‍රිපිටක ධර්මයේ බොහෝ තැන්වල නම් සඳහන් වන කෝසල, බිම්බිසාර, අජාසත්ත, ලිච්ඡවි ආදී රජවරුන් පිළිබඳව ප්‍රාකෘත, සංස්කෘත, අර්ධ මාගධී වැනි භාෂාවන්ගෙන් ලියවී ඇති ඉතිහාස හා කාව්‍ය ග්‍රන්ථ ආදියෙහි සඳහන් ව පවතී. ඔවුන්ගේ රාජ්‍යයන් වූ අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල ආදී සොළොස් මහ ජනපද පිළිබඳව අංගුත්තර නිකායේ තික නිපාතය ආදී පාලි - ධර්ම ග්‍රන්ථවල සඳහන් වන අයුරින් ම ඉන්දීය ඉතිහාස ග්‍රන්ථවල ද වාර්තා වේ. ඒ සියල්ල බුද්ධ චරිතය හා බැඳි අව්‍යාජ ඉතිහාසයේ භෞමික සලකුණු වේ.

ආර්ය පර්යේෂණය අවසන් වූයේ මධ්‍යම ප්‍රතිපදාව පරම සත්‍ය වන චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ,

“මම අවබෝධ කළයුතු දුක අවබෝධ කළෙමි. වැඩිය යුතු දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව වැඩුවෙමි. ප්‍රහාණය කළයුතු දුක්ඛ සමුදය ප්‍රහාණය කළෙමි. එනිසාම ලබන ලද විජ්ජා විමුක්තිය ඇතිව තුන් ලොවට ම අග්‍ර වූ සම්මා සම්බුද්ධ වෙමි.” යනුවෙන් වදාළ සේක.

සව්සත වෙත පතළ මහ කුලුණු සමවතින් යුතු බුදුරජාණන් වහන්සේ දෙවියන්ටද, බ්‍රහ්මයන්ට ද, මිනිසුන්ට ද, සංසාරගත ජීවිතය පිළිබඳව වූ පාඩම කියාදෙමින් සැබෑ නිදහස, විමුක්තිය ලබන මාවත, ශ්‍රී සද්ධර්මය වදාළ සේක. බුදු ඇසින් දුටු ලෝකය කෙ තරම් විස්තිර්ණ වුවද සචේතනික වූ ද, අචේතනික වූ ද, ඒ සකලවිධ පදාර්ථයම හස්තයට ගත් වීදුරු බෝලයක් සේ ම ප්‍රත්‍යක්ෂ විය. ඒ බව ශ්‍රී මුඛයෙන් වදාරා ඇත්තේ මෙසේ ය.

“මහණෙනි! දෙවියන්, බඹුන් , මරුන් , ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත , දෙවි මිනිසුන් සහිත ලෝකයේ යමෙකු විසින් දකින ලද, අසන ලද, ආඝ්‍රහණය කරන ලද රස විඳින ලද, පහස ලබන ලද, මනසින් දැන ගන්නා ලද, විමසීම කරන ලද යමක් වේද , සිත හසුරුවන ලද යමක් වේද ඒ සියල්ල මා විසින් අවබෝධ කරන ලදී.”

සැබැවින්ම සිංහ නාදයක් බඳු වු ඒ විමුක්ති උදානයෙන් පිබිදුණු ලෝකවාසීහු දෑස් විවර කොට බලා එතෙක් නො දුටු ජීවිත රහස දැකිය හැකි දහම් ඇස පහළ කර ගත්හ. දහම් ඇස පහළ කර ගත් ඔවුන් අතරින් බිහි වූ සංඝ සංස්ථාව නිසා ධර්මය සන්දේශය දිගන්තයෙ හි පැතිර ගියේ ය.

ආර්ය ශ්‍රාවක බුදු සව්වන්ගෙන් තුන්ලොව පිරී ගිය පසු පුරා සතළිස් පස් වසරක කාරුණික ලෝකෝපකාරය නිමා කරමින් පිරිනිවන් වැඩි සේක්. භාග්‍යවතුන් වහන්සේ පහත කරුණ අවධාරණය කළ සේක.

“මහෙණනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සම්මා සම්බෝධියට පැමිණී සේක් ද, යම් රාත්‍රියක පිරිනිවන් වඩින සේක් ද, ඒ අතර කාලය තුළ දේශනා කරන ලද, පනවන ලද, නිර්දේශ කරන ලද යමක් වේ නම්, එය ඒ ආකාරයෙන්ම වන්නේ, එය වෙනත් ආකාරයකින් නො වන්නේ ය.”

තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ දුකින් මිදෙන, විමුක්තිය ලබන උත්තම ප්‍රතිපදාව ඔබ මා ඇතුළු පශ්චිම ජනයා වෙනුවෙන් සුරකිනු පිණිස මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු සම්මුඛ ශ්‍රාවකවරු කටයුතු කළහ. සූත්‍ර, විනය, අභිධර්මය වශයෙන් බුද්ධ භාෂිත ධර්මස්කන්ධ අසූහාර දහස, අර්ථකතා සහිතව අකුරක් පමණකුත් වෙනස් නො වන අයුරින් වාවනා මාර්ගයට නැගූහ. වජ්ජි පුත්තක භික්ෂූන්ගේ සසුන් විරෝධී මත සහේතුකව ඛණ්ඩනය කරමින් සබ්බකාමී මහරහතන් වහන්සේ ඇතුළු ක්ෂීනාස්‍රව මුනිවරු දෙවන ධර්ම සංගායනාව පවත්වා නිර්මල ථෙරවාදය ආරක්ෂා කළහ. චිතණ්ඩවාදීන්ගේ වාද නිරාස කරමින් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ කථාවත්ථුප්පකරණය දේශනා කළහ. තුන්වන ධර්ම සංගායනාව සිදු කිරීමෙන් බුදු සසුන පර ප්‍රවාදයන්ගෙන් බේරාගත්හ. ධර්මාශෝක අධිරාජයාගේ සහාය ඇතිව රටවල් ගණනාවකට තථාගත ධර්මය ප්‍රචාරය කිරීම නිසා බුදු සසුනේ සුවිශේෂී පුනරුදයක් ඇති විය.

ධර්මාශෝක රජුගේ අතිජාත පුත්‍ර රත්නය වන මිහිඳු මහරහතන් වහන්සේගේ නික්ලේශී හද මඬලින් අර්ථකතා සහිත ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය සිංහලයන් කෙරෙහි දක්වන ලද උතුරාගිය කරුණාවෙන් ම සිද්ධ කරන ලද්දකි. ලක්වැසියන්ගේ මුවග රැව් දුන් අමා ගීතයක් බඳු බුදු වදන් රාව ප්‍රතිරාව දෙමින් ඇසෙද්දී විරාගී උත්තම උත්තමාවියන් ලක්ෂ ගණනින් පහළවූහ. ස්ථවිරවාදී බුද්ධ පුත්‍රයන්ගේ මූල ආවාසය වූයේ අනුරාධ නගර ආසන්නයේ වූ මහාවිහාරය යි. එම මහා විහාරය භාග්‍යවතුන් වහන්සේගේ ශුද්ධ බුද්ධ වචනය අර්ථකතා සහිතව පරපුරෙන් පරපුරට ගෙන ආ ථෙරවාදීන්ගේ බලකොටුව විය. සැරියුත් මුගලන් පරපුරේ භික්ෂූන් වහන්සේලා දකිනු රිසි, ඇසුරු කරනු රිසි, ඒ දම් අසනු රිසි රජතුමාගේ පටන් සාමාන්‍ය වැසියා දක්වා වූ සියල්ලෝ ම මහා විහාරය මුල්කරගත් විහාරාරාමවලට රැස්වූහ. සැබැවින්ම එදා මහා විහාරය යනු නිර්මල බුදු වදන් අමල දිවි පෙවෙතකින් මූර්තිමත් කළ උතුමන්ගෙන් ගැවසී ගත් ක්ෂේම භූමියක් විය.

අනේකවිධ අභ්‍යන්තර හා බාහිර ජාතික හා ශාසනික විලෝපයන්ගෙන් යුක්ත වූ වකවානුවලින් ගහන ලංකා ඉතිහාසයේ විකාශය දෙස බලන විට පෙනී යන එක් වැදගත් කරුණක් නම්, කෙතරම් අර්බුදකාරී තත්ත්වයන් තුළ දී පවා සාසන භාරධාරී මහ සංඝරත්නය තෙවලා බුදු වදන් අර්ථකතා සහිතව (පසුකාලීනව මහා විහාර සඟපරපුර තුළින් බිහි වූ ටීකා ද ඇතුළුව) දිවිපුදා නමුත් සුරක්ෂිත කළහ. උන්වහන්සේලා පෙළ දහමෙහි අර්ථාවබෝධය සහ අර්ථ තෝරා දීම සඳහා අර්ථ කතාව හා ටීකාවද, ගුරු කොට ගෙන විපරීතාර්ථ ජනනයෙන් වියහැකි පරිහානිය අවම කළහ.

අද වන විට ලංකාවේ වෙසෙන මහා සංඝරත්නය සෘජුවම මහා විහාරය සම්භව කොට ඇත්තේ වේ. ඒ නිසා ථේරවාදී සද්ධර්මය සුරක්ෂිත කිරීම සඳහා බැඳී සිටී. එහිදී භික්ෂූන් වහන්සේලා ලෙස තරයේ සිහි තබා ගත යුතු කරුණු කිහිපයක් වේ.

මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ ශ්‍රී සද්ධර්මය අර්ථ කතා සහිත ත්‍රිපිටකයකි. පිටක දෙකක් හෝ එකක් නොවේ. ඒ නිසා කිසිදු ධර්ම පරියායක් ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීම කිසිසේත් ම කළ නොහැකි ය.

බුදුන් වදාළ ධර්මය මනාව සුරක්ෂිත කළේ ථේරවාදීන් පමණි. එය මහායානිකයන් ද පිළිගන්නා සත්‍යයකි.

“සුත්තේ දුප්පටිපන්නෝ ම්චිඡාදිට්ඨිකෝ හෝති” සූත්‍ර පිටකයෙහි, වරදවා පිළි පදින්නා මිසදිටු වෙයි. “විනයේ දුප්පටිපන්නෝ දුස්සීල හොති” විනය පිටකයෙහි, වරදවා පිළිපදින්නා දුස්සීලයෙක් වෙයි. “අභිධම්මෙ දුප්පටිපන්නෝ උම්මත්තකෝ හෝති” අභිධර්ම පිටකයෙහි වරදවා පිළිපදින්නා උන්මත්තකයෙක් වෙයි. යන මේ කරුණු සිහිකර බුද්ධ වචනවලට අර්ථ සැපයීම අර්ථ කතාව අනුව ම සිදුකළ යුතු ය.

අත්තනෝමත – පුද්ගලික අදහස් සර්ව දුර්වල හෙයින් ඒවා තථාගත ශ්‍රී සද්ධර්මයට එකතු නො කළ යුතු ය.

ධර්මාවබෝධය වනාහි සුතමය, චින්තාමය, භාවනාමය, යන අවස්ථා ත්‍රිත්වයෙන් ලැබිය යුත්තකි. ඒ සඳහා තථාගතයන් වහන්සේ වදාළ අවම සුදුසුකම් හෝ ඇති ගුරු ඇසුරක් ද ලබාගත යුතු ය. එසේ නො කොට තමාට ගෝචර නො වන ධර්ම කරුණු විවේචනයට ඉක්මන්වීම තථාගත ආඥා චක්‍රයට පහර ගැසීමකි. එය දෙව්දත්ගේ ද්‍රෝහීවීමටත් වඩා මහත් වූ ද්‍රෝහී වීමකි. එය දේශක ශ්‍රාවක දෙ පිරිසගේ ම දුක පිණිස පවතින්නකි.

කරුණු මෙසේ වන බැවින් ගිහි පැවිදි සියල්ලෝම උක්ත කරුණු පිළිබඳව අවධානය යොමුකළ යුතු ය. එසේම නොවුණහොත් ඉතා දුර්ලභව ලද තථාගත ධර්මය නොබෝ කලකින් අතුරුදහන් වී යනු ඇත. අද දවස ලක්වාසීන්ට විමුක්තියේ හිරු මඩල උදාවූ පොසොන් පුන් පොහෝ දිනය යි. ඥාන සම්ප්‍රයුක්ත වූ ශ්‍රද්ධා භක්තිය උපදවාගෙන තෙරුවන් වහන්සේලාට ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් පූජා කරමින් අප්‍රමාදී ව සසර දුකින් මිඳීම පිණිස සියලු දෙනා ම සීල සමාධි ප්‍රඥා පිළිවෙත පුරත්වා!

 

පොසොන් පසළොස්වක පෝය


පොසොන් පසළොස්වක පෝය ජුනි 27 වන දා බදාදා පූර්ව භාග 08.15 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා පූර්වභාග 10.25 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි 27 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජූලි 06 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]