කෘතවේදී බව වචනයෙන් ද පළ කරමු
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
ආචාර්ය
ඕමල්පේ සෝභිත නා හිමි
මේ ලෝකයේ මිනිසා තිරිසන් සතුන්ගෙන් වෙන්කොට දැක්විය හැකි සුවිශේෂීම සාධකය වන්නේ
උත්තුංග වූ සදාචාර හා අධ්‍යාත්මික ගුණයයි.
‘මනස්ස උස්සන්නත්තා මනුස්සා’
මනං උස්සතීති මනුස්සෝ’ ආදි වශයෙන් මනසේ උසස් බව නිසා මනුෂ්‍යයා වන්නේ ය. මනුෂ්‍යයාට
ඇති මානව ධර්ම අතර ඉතා උසස්, වැදගත් මනුෂ්‍ය ධර්මය කළගුණ සැලකීමයි. කෘතවේදී බවයි.
එය උතුම් මිනිස් ගුණධර්මයක් බව බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළහ. තමන්
වහන්සේගේ සම්බුද්ධ චරිතාදර්ශයෙන් එය ප්‍රායෝගිකවම පෙන්වා වදාළහ. සාරා සංඛ්‍ය කල්ප
ලක්ෂයක් කල් අප්‍රමාණ වෙහෙස විඳ පාරමී දම් පුරා ලැබූ උත්තරීතර පදවිය, ශ්‍රී
සම්බෝධිය ලද පසු උන්වහන්සේ ක්‍රියා කළේ උණගසක ස්වරූපයෙනි. කොතරම් උසට වැඩුණත් උණ
ගසේ දල්ලෙහි ස්වභාවය බිමට නැමී තිබීමය. උන්වහන්සේ ද උතුම් සම්බුදු පදවිය ලද පසු පහළ
බැලූ සේක. උද්දාමයට පත් නොවී මේ අති දුෂ්කර ගමනේ දී තමන් වහන්සේට උදව් කළේ කවුදැයි
විමසා බැලු සේක. සජීවි ,අජීවි මිත්‍රයන් අතර ආසන්නවම උන්වහන්සේට උදව් කළේ අජීවි
වෘක්ෂයකි. ශ්‍රී සම්බෝධිය ලබන්නට තමන් වහන්සේට සෙවණ දුන් ඇසතු වෘක්ෂයට, ‘දුතියංච
අනිම්මිසං’ දෙවන සතියේදී අනිමිස ලෝචන පූජාවෙන් කළගුණ දක්වමින් මුළු ලෝකයටම ඒ ආදර්ශ
සම්පන්න පාඩම කියා දුන් සේක. ඉන්පසු ගුරුවරුන් ගැන, යහළු මිත්‍රයන් ගැන කල්පනා කළහ.
පස්වග තවුසන් සොයා උන්වහන්සේ බරණැස ඉසිපතනාරාමයට වැඩම කළහ.
කෘතගුණ, කෘතඥතාව කියන්නේ අප අතර තිබිය යුතු ගුණ යහපත්කම් අතර ප්‍රධානතම ගුණාංගයකි.
එහෙත්, “කතඤ්ඤු කතවේදී පුග්ගලෝ දුල්ලභො ලෝකස්මිං’ කළගුණ දන්නා, කළගුණ සලකන මිනිසුන්
මේ ලෝකයෙහි ඉතා දුර්ලභ ය. උසස් ගුණධර්ම ගැන සිතන, බුද්ධිමත්ව කල්පනා කරන, මනුෂ්‍ය
ධර්ම සහිත පුද්ගලයන් අඩුය. බොහෝ දුරාචාර නිතර ඇස ගැටේ. අම්මට තාත්තට නොසලකන,
ගුරුවරුන්ට ගරු නොකරන, යහළු මිත්‍රයන් නොසලකා හරින බොහෝ අය වෙත්. තමන්ට උදවු උපකාර
කරන අයට ආරක්ෂාව සපයන අයට, කෙටියෙන් කියනවා නම් රජයට පවා සැලකීම අත්‍යවශ්‍යය. රජයට
සලකනවා කියන්නේ එක් පැත්තකින් රාජ්‍ය නීතියට ගරු කිරීමය. තමන්ට නියමිත බදු මුදල්,
ගෙවීම ‘රාජබලි’ ආගන්තුක සත්කාරය ‘අතිතිබලි’ ,ඥාතීන්ට සැලකීම ‘ඥාතිබලි’ ආදි වෙසෙස්
ගුණධර්ම පුරුදු පුහුණු කළ යුතුමය. තවත් පැත්තකින් සැලකීම යනු දුබල වු විට රැක
ගැනීමය. එහෙත් ඇතැම් පිරිසකට තමන්ට යම් තැනකට එන්නට අතදුන් අය, උදවු උපකාර කළ අය
ඉහළට ආ සැනින් අමතක ය. සරලම උදාහරණය වැඩිහිටි නිවාසයන් හි දුකසේ කල් ගෙවන මවුපියන්
ය.අත පය නොකඩා, කවා පොවා ආදරයෙන් ඇති දැඩි කළ, ශිල්ප දැනුම දී සමාජයේ වඩාත් ඉහළින්
ජීවත් වෙන්නට දරුවන් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැපකළ මවුපියවරු එහි අපමණ වෙති.
එහෙත් අබල දුබල වු දා ඒ අම්මා, තාත්තා බරක් ලෙස සලකමින් ඔවුන් නොසිටිය යුතු තැනෙක
සිරකර අසරණ කරන්නට තරම් අකෘතඥ දරුවන් අප අතර සුලභ ය. ගහකොළ වනසා දමමින්, බොහෝ
අපවිත්‍ර දෑ පරිසරයට මුදා හරිමින්, සත්ත්ව ඝාතන කරමින් තමන් ගැන පමණක් සිතන, පරිසරය
වෙනුවෙන්, සොබාදහම වෙනුවෙන් කෘතවේදි නොවන පිරිස් අපමණ ය. එහෙත් බෞද්ධයකු ගේ ස්වරූපය
විය යුතු කෘතඥතාවයයි. සිතින්, කයින්, වචනයෙන් යන තුන් දොරින්ම ඒ බව විද්‍යමාන විය
යුතු ය. එහිදී පහසුම දෙය වන්නේත්, මුල්තැනට එන්නේත් කෘතඥතාව වචනයෙන් පළ කිරීම ය.
බෞද්ධ පරිසරයක් ඔස්සේ සංස්කෘතිය ගොඩනඟාගත් ජපානයේ දි අපූර්ව දර්ශනයක් දුටුවෙමි.
සාමාන්‍යයෙන් මාර්ගයේ ඇති කහ ඉරකින් පාර මාරුවන මගියා පවා තමන් වෙනුවෙන් වාහනය නවතා
ඉඩදුන් කවරෙකුට වුව ආපසු හැරී සිය හිසනමා ආචාර කිරීම ඔවුන්ගේ සිරිතකි. කහ ඉර අසල
වාහන නවතා මගියාට ඉඩ දීම නීතියකි. එහෙත් නීතයට ගරු කළ පුද්ගලයාට පවා හිස නමා ආචාර
කරන්නට තරම් ආචාරශීලිත්වයක්, කෘතවේදි බවක් ඔවුන් සතු ය. එය මොන තරම් සිත් ඇදගන්නා,
සිතට සතුට ගෙන එන දර්ශනයක් ද? ඒ ගෞරවය, කෘතවේදී බව ලබන්නාට දැනෙන පහන් සිතිවිලි
තවත් නීතිගරුක වන්නට, අනුන් වෙනුවෙන් උදවු උපකාර කරන්නට උත්තේජනයක්, පෙළඹවීමක් ම
වන්නේ ය. සමහර අය වචනයෙන් කෘතවේදී බව පළකරන්නට මැළිවෙති. එහෙත් සිතින් ඒබව පළකරති.
එහෙත් එය ලෝකයට නොපෙනේ. අදාළ පුද්ගලයාට නොදැනේ.
උදව්වක දී, උපකාරයක දී ‘ස්තුතියි’ කියන වචනය පළ නොකිරීම වරදකි. සුළු උපකාරයක දී වුව
කෘතවේදි බව පළ කරමින් අපගේ බාල පරපුරට ආදර්ශයක් වීම කළ යුතුම ය. අද බොහෝ විට පාසලක,
අධ්‍යාපන ආයතනයකදී පවා දරුවෙකුට ත්‍යාගයක්, සහතික පත්‍රයක් පිරිනමන අවස්ථාවක
පිරිනමන්නා වෙත යාන්තමට හෝ දරුවන්ගේ හිස නැමෙන්නේ නැත. ‘ස්තුතියි’ කියන වචනය
කියැවෙන්නේ නැත. එයින් ගම්‍ය වන්නේ අපේ සදාචාර පරිහානියයි.
භික්ෂු සමාජයේ දී කෘතවේදී බව නිරන්තරයෙන් දැකිය හැකි ය.කෙනෙක් වන්දනා කළ මොහොතක පවා
‘සුවපත් වේවා’ යි ප්‍රකාශ කරන්නේ කෘතවේදී බව පළකිරීමටය. යම් පූජාවක් කළ විට පින්
ලැබේවායි ප්‍රාර්ථනා කරන්නේ කෘතඥතාව පළ කිරීමටය.
පැවිදි සමාජයෙහි පමණක් නොව ලාංකීය ගිහි සමාජයෙහිත් ඒ අගනා ගුණධර්ම වර්ධනය කරගත
යුතුවේ. අම්මා, තාත්තා බොහෝ දුක් මහන්සි වි සරිකරන බත්පතෙන් පළමු බත් පිඬ මුවට
ගන්නට පෙර මගේ අම්මට තාත්තට පින් සිදුවේවායි කියන්නට දරුවන්ට හුරු පුරුදු කළ යුතුය.
ඒ තැන සිට කෘතවේදි බව ඉගැන්විය යුතු ය. නැතිනම් අනාගත සමාජය තුළින් මේ වටිනා
ගුණධර්ම දුරු වී යාම වැළැක්විය නොහැකි ය. අද ද අප එවැනි බොහෝ දේ අත් විඳිමු.
දුම්රියක දී බස්රියක දී ගැබිනි මවකට වුව අසුනක්, පිරිනැමුවේ නම් ස්තුතියි කියන වචනය
හෝ සමහර මව්වරුන්ගේ මුවින් පිට නොවේ. බසයෙන් බැස යන මොහොතේ පිරිනැමූ ආසනය ආපසු බාර
ගන්නා ලෙසට දැන්වීමට හෝ සමහර අයට හැඟීමක් නොවේ. ඇයගේ කුසෙන් බිහිවන දරුවාට ඇය
ආදර්ශවත් මවක් වන්නී කෙලෙසද? මේ දොස් නැඟීමක් නොවේ. මනුෂ්‍ය ධර්මයත් හුරු පුරුදු
කරනු පිණිස, සාමජය තුළ ඇසෙන දකින දේ පිළිබදව කළ දැන්වීමකි. තමන් පිළිබඳව ගැඹුරින්
සිතාබලා ස්වයං විවේචනාත්මකව දුර්වලතා හඳුනාගෙන ඉතා ඉක්මනින් නිවැරැදි විය යුතුව
තිබේ. අපගේ බාල පරපුරට ඒ ආදර්ශය දිය යුතුව තිබේ. ගුරු, මවුපියවරු මෙය හොඳින් අවබෝධ
කොට දරුවන්ට ඒ ගුණධර්ම පුරුදු පුහුණූු කළ යුතුවේ. මේ වැදගත් සිරිත ජාතික චරිතාවලියට
වහාම ඇතුළත් කරගත යුතුව තිබේ. අපගේ බොදු හැදියාව සිතින් සේ ම කයින්, වචනයෙන්ද ලෝකයට
පෙන්විය යුතුවේ. එවිට ලෝකයේ ගෞරවය නිතැතින්ම අප වෙත හිමිවනු ඇත. |