අසිරිමත් පොසොන් පොහොය
අලුතෑපොල ගණේකන්ද පුරාණ රජමහා විහාරාධිපති
කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ මහාචාර්ය
ආචාර්ය රාජකීය පණ්ඩිත
නැදලගමුවේ ධම්මදින්න හිමි
" අශෝක රජතුමා විසින් මෙපමණ රාජකීය පිරිසක් ධර්මදූතයන් ලෙස ලංකාවට එවන ලද්දේ
මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ එක්තරා ප්‍රකාශයක් නිසාය. එය නම් ලෝකයේ
අන්තිමට බුද්ධ ධර්මය සුරක්ෂිත වන්නේ ප්‍රත්‍යන්ත දේශවල යන්නයි. ඒ අතර ශ්‍රී ලංකා
ද්වීපයට ප්‍රමුඛස්ථානය ලැබුණි."
මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කිරීම, දෙවනපෑතිස් රජතුමාට ධර්මය දේශනා
කිරීම, ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටුවීම, දෙවියන්ට සමචිත්තපරියාය සූත්‍රය දේශනා
කිරීම, රජතුමා ඇතුළු හතළිස් දහසක් පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීම,
භණ්ඩුක කුමරු පැවිදි කර උපසම්පදා කිරීම යන සිද්ධීන් සිදුවූ දිනය ලෙස පොසොන් පොහෝදා
හඳුන්වා දීමට පුළුවන.
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර 218 කට පසුව අශෝක අධිරාජයාගේ
අනුග්‍රහයෙන් පැලලුප්නුවර මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන්
තුන්වන ධර්ම සංගායනාව පවත්වන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස රටවල් නවයකට ධර්මදූතයන්
පිටත් කර හරින ලදහ. බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහ
රහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරන ලද්දේ ඒ අනුවය. උන්වහන්සේ සමඟ ඉට්ඨිය, උත්තිය ,
සම්බල හා භද්ධසාල යන හිමිවරුන්ද , සුමන සාමණේරයන් වහන්සේ හා භණ්ඩුක උපාසකයාණන්ද
ශ්‍රී ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වූ අතර අනුරාධපුරයේ මිස්සක පර්වත මස්තකයේ සිට මිහිඳු
මහරහතන් වහන්සේ පොසොන් පොහෝදා දෙවනපෑතිස්ස රජු සමඟ කළ සංවාදය ලොව මුල්ම ලේඛනගත
බුද්ධිපරීක්ෂණය ලෙස හැඳින්වේ.
එදින මුළු ලක්දිව පුරා මුල් නැකැත් දින නම් වූ සුවිශේෂ උත්සවයක් පැවැත්විණ.
දෙවනපෑතිස්ස රජ හතළිස් දහසක් පිරිවර සමඟ නැකැත් කෙළියට ගොස් මිස්සක පර්වතයේදී
මිහිඳු මහ රහතන් වහන්සේ දැක පැහැදී උන්වහන්සේ විසින් දෙසන ලද චුල්ලහත්ථිපදෝපම
සූත්‍රදේශනාව ශ්‍රවණය කර අප්‍රමාණ සන්තෝෂයට පත්වූයේය. රජතුමා ඉන් අනතුරුව පසු දින
දනට මහ සඟරුවනට ආරාධනා කර නගරය බලා පිටත් විය.
මෙදින ලංකාවට වැඩම කරන ලද ධර්මදූත පිරිස ඉතා සුවිශේෂී පසුබිමක් සහිත රාජකීයයන්
පිරිසක් බව කිව යුතුය. මිහිඳු මහ රහතන් වහන්සේ අශෝක අධිරාජයාගේ පුත්‍රයාය. සුමන
සාමණේරයාණන් වහන්සේ සංඝමිත්තා මහරහත් තෙරණියගේ ගිහි කල පුතණුවන්ය. එසේම අශෝක
අධිරාජයාගේ මුණුබුරා ය. එසේම භණ්ඩුක,උපාසකතුමා මිහිඳු මහ රහතන් වහන්සේගේ පුංචි
අම්මාගේ දුවගේ පුතාය. අශෝක රජතුමා විසින් මෙපමණ රාජකීය පිරිසක් ධර්මදූතයන් ලෙස
ලංකාවට එවන ලද්දේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ එක්තරා ප්‍රකාශයක් නිසාය. එය
නම් ලෝකයේ අන්තිමට බුද්ධ ධර්මය සුරක්ෂිත වන්නේ ප්‍රත්‍යන්ත දේශවල යන්නයි. ඒ අතර
ශ්‍රී ලංකා ද්වීපයට ප්‍රමුඛස්ථානය ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාද්වීපය
පාලනය කරන පාලකයා, බෞද්ධ ප්‍රතිපත්ති ගරුක, පංචශීලය ආරක්ෂා කරන, ත්‍රිවිධ රත්නය සරණ
ගිය අයෙකු බවට මුල්වරට පත් වූයේ මෙම පොසොන් පොහෝදාය.
ලංකාද්වීපයේ මුල්ම මහණ උපසම්පදා පින්කම පැවැත්වූයේද මෙදිනය. බුද්ධ නියමයට අනුව
දඹදිව මධ්‍ය දේශයෙන් බැහැර ඕනෑම ප්‍රදේශයක භික්ෂුවක් උපසම්පදා කිරීමට උපසපන්
භික්ෂූන් පස් නමක් සෑහේ. ඒ අනුව එම පොසොන් පුන්පොහෝ දා රාත්‍රියේ භණ්ඩුක උපාසකයාණන්
පැවිදි කර උපසම්පදා කරන ලදී.
ඉන් අනතුරුව මිහිඳු මහ රහතන් වහන්සේ ධර්ම ශ්‍රවණය කිරීම පිණිස මුළුතම්බපණ්ණි
දිවයිනේම සිටින දෙවිවරුන්ට කාලඝෝෂා කරන ලෙස සුමන සාමණේරයාණන් වහන්සේට දැනුම්
දුන්සේක. එවිට සුමන සාමණේරයාණන් වහන්සේ අභිඥා පාදක චතුර්ථධ්‍යානයට සමවැද කාල ඝෝෂා
කළ අතර තලාටු භූමාටු දෙවිවරුන්ගේ පටන් බ්‍රහ්මලෝකය දක්වා වූ විවිධ දෙවිවරුන් බණ
ඇසීමට රැස්වූහ. මෙහිදී මිහිඳු මහරහතන් වහන්සේ සමචිත්තපරියාය සූත්‍රයෙන් ධර්මය දේශනා
කළ සේක.
සැරියුත් තෙරණුවන් විසින් මෙම සූත්‍රය මුල්වරට දේශනා කරන ලද්දේ සැවැත්නුවර
පූර්වාරාමයේදීය. සැරියුත් තෙරුන් වහන්සේ එක්දිනක් භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ
දේශනා කළ සේක.
“ඇවැත්නි, මම ඔබලාට ඇතුළත හා බාහිර සංයෝජන ඇති පුද්ගලයන්ගේ ලක්ෂණ දේශනා කරමි. එය
අසන්න, මනාව ධාරණය කරගන්න, මම දැන් දෙසමි” එවිට භික්ෂූහු” හොඳයි ඇවැත්නි” යනුවෙන්
උත්තර දුන්හ.
මේ සසුනෙහි ඇතැම් භික්ෂුවක් ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සිල්වත්ව, පැවැත්මෙහි හා ආහාරයෙහි
සංවරව කුඩා අකුසලයකට වුව බිය ඇතිව සීලය ආරක්ෂා කර ගනීද, හෙතෙම මරණින් පසු එක්තරා
දේවනිකායක උපත ලබා එයින් චුත ව මෙම ආත්ම භාවයටම එන අතර අනාගාමී වෙයි. මේ ඇතුළත
කාමභව පිළිබඳ ඡන්දරාගය ඇති පුද්ගලයා අනාගාමී වන ආකාරයයි.
තවද මෙ සසුනෙහි ඇතැම් භික්ෂුවක් ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සිල්වත්ව, පැවැත්මෙහි හා
ආහාරයෙහි සංවරව, කුඩා අකුසලයකට වුව බිය ඇතිව සීලය ආරක්ෂා කර ගනීද, හෙතෙම මේ ආත්මයේ
දී ම, ධ්‍යානයකට පැමිණ මරණින් පසු පංචසුද්ධාවාස වලින් එකක උපත ලබා එයින් චුතව
අනාගාමී පුද්ගලයෙක් වෙයි. මේ අනාගාමී වූ බාහිර සංයෝජන ඇති පුද්ගලයාගේ ස්වභාවයයි”
මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මෙම දේශනාව මිහින්තලයේදී දේශනා කරන මොහොතේ දී එදා
සැරියුත් තෙරණුවන් විසින් මෙම සූත්‍රය දෙසන විට රැස්වූ දෙව් පිරිස් හා සමාන පිරිසක්
රැස්ව එය ඇසූ බව අටුවාවේ සඳහන් වී තිබේ.
එදිනට පසුදින දනට වැඩම වීමට රාජකීය රථය පැමිණි විට එය පිටත්කොට යවා පසුව වඩිමියි
මිහිඳු මහ රහතන් වහන්සේ වදාළ නමුත් උන්වහන්සේ එම රථය ආපසු පැමිණීමට පෙරම නුවර
දොරටුව ළඟට වැඩිසේක. මෙදින දන් වළඳා අවසන් වූ පසු උන්වහන්සේ විමානවත්ථු, පේතවත්ථු,
හා සච්චසංයුත්ත ආදි සම්බුද්ධ දේශනාවලින් ධර්මය පැහැදිලි කළ සේක. මෙම ධර්මදේශනාව
කෙළවර අනුලාදේවිය ඇතුළු පන්සියයක් දේවීහු සෝතාපන්න මාර්ග ඵල ප්‍රත්‍යක්ෂ කළහ. මින්
අනතුරුව උන්වහන්සේ වරින්වර දේවදූත සූත්‍රය, ආසිවිසෝපම සූත්‍රය, අනවතග්ග සංයුත්තය.
අග්ගික්ඛන්ධෝම සූත්‍රය හා අප්පමාද සූත්‍රයද දේශනා කළ සේක.
මිහිඳු මහ රහතන් වහන්සේ මේ ලංකාද්වීපයේ දී ම, පිරිනිවන් පා වදාළ අතර උන්වහන්සේගේ
ධාතුන් වහන්සේලා තැන්පත් කොට මෙරට විවිධ ස්ථානවල චෛත්‍යය ඉදිකරන ලදී. අම්පාර රජගල
තැන්නෙන් හමුවු සෙල්ලිපියක,
සඳහන් වී ඇත්තේ, “පළමුවෙන් ම මෙම දිවයිනට ඍද්ධියෙන් වැඩම ඉට්ඨිය, තෙරුන්ගේත් මහින්ද
තෙරුන්ගේත් ස්ථූපයයි” යන්නය.
1951 වර්ෂයේ කළකැණීම් වලින් හඳුනා ගැනුණේ මිහින්තලා මහා සෑයට පසෙකින් ඇති සෑය
මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඉදිකරන ලද්දක් බවය.
ඈත අතීතයේ පටන්ම ලංකාද්වීපවාසීන් මිහිඳු මහ රහතන් වහන්සේගේ අපිරිමිත සේවය
උත්සවශ්‍රීයෙන් සමරන ලද බව පැරැණි වාර්තාවල සඳහන් වේ. චීන ජාතික හියුංත්සාං
හාමුදුරුවෝ මිහිඳු මහරහතන් වහන්සේ හා ධර්මදූත පිරිස පිළිබඳ තොරතුරු දඹදිව දී දැනගෙන
ඒ පිළිබඳ විස්තරයක් තම වාර්තාවට ඇතුළත් කළහ.
කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා ( ක්‍රි.ව. 301-320 ) මිහිඳු මහ රහතන් වහන්සේගේ රන්
පිළිමයක් කරවා මිහින්තලාවේ සිට අනුරාධපුරය දක්වා එම පිළිම වහන්සේ මහ පෙරහරින් වඩමවා
මුල්වරට මිහිඳු පෙරහරක් පවත්වන ලද බව මහා වංශයේ සඳහන් වී ඇත. මිහිඳු මහ රහතන්
වහන්සේ ලක්වැසියන්ට උරුම කරදුන්නේ ලෝකෝත්තර සැනසීම පමණක් නොවේ. මෙරට දියුණු
ශිෂ්ටාචාරයට ඇවසි දැනුමද ලබාදුන්නේ උන්වහන්සේ ය. |