සද්ධර්මය ඇසුමත්
සත්පුරුෂ ඇසුරත් පරම මිහිරකි
කේ.කේ. සුගතපාල
ත්‍රිපිටක ග්රන්ථ පරිවර්තන මණ්ඩලයේ ලේකම්
බුද්ධශාසන අමාත්‍යාංශය
ත්‍රිපිටක ධර්ම පරීක්ෂණ ලේකම්
බුදුදහම ආගමකට සීමා කිරීම යෝග්‍ය නොවේ. එය ආගමකට ඔබ්බෙන් එහා ගිය දැක්මකි. එපමණක් ද
නොව ආගමක් හා දර්ශනයක් ද අභිභවා ගිය විමුක්ති මාර්ගයකි. මේ අයුරින් එහි නිෂ්ටාව
වනුයේ මිදීමකි. ඒ කුමකින් මිදීමක් ද? මොලොව -පරලොව හා සසර යමෙකුට ඇති දුක්
කන්දරාවක් වේ ද ඒ සියල්ලෙන් මිදීමකි. මේ මිදීම කළ හැක්කේ තමාට ය. ශාස්තෘ සම්මා
සම්බුදුරජාණන් වහන්සේලා සිදුකරනුයේ මුදවාලීම ය. එනම් ඒ මග කියා දීම ය. ඒ මග කුමක්
දැයි විමසමු.
“තුමේමහි කිච්චං ආතප්පං -
අක්ඛාතාරො තථාගතා
පටිපන්නා පමොක්ඛන්ති –
ඣායිනො මාරබන්ධනා”
(ධම්මපදය – මග්ගවග්ගය ගාථාව 276 / ඛු.නි. 1 – පි. 94)
“දැන් ඔබ විසින් සම්‍යක් ප්‍රධන් වීර්යය යොදා කෙලෙස් තවන්න. සර්වඥයෝ හුදෙක් නිවන්
මඟ කියන්නාහු ම වෙති. (අතින් අල්ලා ගෙන ගොස් නිවන් පමුණුවන්නේ හෝ තථාගත බලය යොදා
සියලු දුකින් මුදවන්නෙක් නොවේ.) මේ මඟට පිළිපන් සමථ – විදර්ශනා ධ්‍යාන වඩන නුවණැති
යෝගාවචරයා තෛ‍්‍රභූමික වට නම් වූ මාර බන්ධනයෙන් මිදෙන්නාහු” ය.
මාරයාගේ මේ “තෛ‍්‍රභූමියක වට” නම් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා (පටිච්චසමුප්පන්න)
ධර්මයෝ ය. සංසාර වට්ට ධර්මයෝ ය. සත්ත්වයා සසර පුරා ඉපිද මැරෙමින් ඉපිද මැරෙමින් යන
දුකින් පිරී හේතු ඵල ධර්මයෝ ය. ඵල හේතු ධර්මයෝ ය. මේවා වට තුනක් ලෙස බුදුරජාණන්
වහන්සේ අවබෝධ කොට දෙසා ඇත්තාහ. එනම්, අවිජ්ජා, සංඛාරා, විඤ්ඤාණ, නාමරූප, ෂඩායතන
යනුවෙන් වූ ධර්මතා පහ කම්ම වටය යනුවෙන් ද, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන යන සතර ක්ලේශ
වට්ටය ලෙසින් ද, භව, ජාති, මරණ යන ධර්මතා තුන විපාක වට්ටය වශයෙන් ද වෙති.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අනුශාසනාව තේරුම් ගැනීමට (අවබෝධ කර ගැනීමට) ශ්‍රාවක
අපට ඕනෑකම තිබේ නම් අප විසින් කළ යුත්තේ කුමක්දැයි යන්න ද මෙම ගාථාවේ ම දක්වා ඇත.
අපි උපන්දා පටන් මරණය දක්වා වූ ජීවිත කාලය තුළ සුළු ආස්වාදයකට (මද වින්දනයකට) මුළාව
එකොළොස් ගින්නකින් දැවෙමින් ජීවිතය ගෙවන බව පළමුව වටහා ගත යුතු ය. එම ගිනි නිවා
දැමීම නිවන යි. ඒ වැටහීම උපයෝගී කොට සතර ප්‍රධාන වීර්ය යොදා කෙලෙස් (සසර පුරා ගෙන ආ
කර්ම) හා මෙලොව උපන් පසු සිදු කර ගන්නා කර්ම (ක්‍රියා) නම් වූ උපක්කිලෙසයෝ තවන්නට
(ආතප්පං) වෑයම් කළ යුතු ය. මේ සඳහා සත්පුරුෂ ඇසුර - සද්ධර්ම ශ්‍රවණය සතියෙන් යුතුව
කාලය ගෙවීම හා උගත් සද්ධර්මයෙහි හැසිරිය යුතු යන යන්න බුද්ධ සදුපදේශ වෙති. මේ අතර
ගාථාවේ සඳහන් ප්‍රධාන වීර්ය නම් කවරේද? ඒ සතරෙකි. නො කළ පව් නො කිරීමට වීර්ය කිරීම,
කරන පව් නතර කිරීමට වීර්ය කිරීම, නො කළ පින් හා කුසල් වේ නම් (යහපත් දක්ෂතා) ඒවා
කරන්නට පටන් ගැනීම සඳහා වීර්ය කිරීම හා කරගෙන යන පින් හා කුසල් නො නවත්වා කරගෙන
යාමට වීර්ය කිරීමත් ය. මේ අයුරින් අප වීර්ය වඩන්නේ ද කෙලෙස් තැවීම ද පටන් ගත්තා වේ.
මේ සඳහා තවත් පරිවාර (පිහිටවන) වීර්ය තුනක් ද බුද්ධානුශාසනාවේ තිබේ. ඒවා නම් ඉහත කී
ආකාරයේ යම්, සම්මා වාචා - සම්මා කම්මන්ත (ක්‍රියාකාරකම්) සම්මා ආජීවයක් (යහපත් දිවි
පැවැත්මක්) යමෙක් ආරම්භ කළේ ද එය නොපිරිහෙළා කිරීමේ අධිෂ්ඨානයෙන් යුතු වීර්යයි. මෙය
ආරද්ධ වීර්ය නොහොත් ආරම්භක ධාතු (ඇරැඹූ විරිය) නමින් ද, එසේ ඇරැඹූ විරිය නො
පිරිහෙළා ඉටු කිරීම නම් වූ පරක්කම වීරිය නොහොත් පරක්කම ධාතු නමින් දෙවැන්න ද, එසේ
අරඹා - නොපිරිහෙළා සිදු කරන්නේ ඒ සතර ප්‍රධන් වීරිය ක්‍රියාකාරකම්හි පරම නිෂ්ඨාව
නම් වූ නිවන සාක්ෂාත් කරගන්නා තෙක් (නිමාව දකින තෙක්) පවත්වා ගෙන යන නික්ඛම වීරිය
නොහොත් නික්ඛම ධාතු නමින් තෙවැන්න ද බුද්ධ වචනයෙහි සඳහන් ව ඇත. මෙම හැම ආකාරයේ
වීර්යයන් වැඩීම සඳහා භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ අපට වදාළ ත්‍රිපිටක ධර්මය තුළ අප
විසින් කිසියම් පරිත්‍යාගයක්, ඇත් හැරීමක්, කැපකිරීමක් කළ යුතු බව ප්‍රථම
ධර්මදේශනාව “ධම්මචක්කප්පවත්තන” සූත්‍ර දේශනාවේ වදරා ඇති බව ද සිත්හි තබා ගත යුතු ය.
ඒ මෙසේ ය. මහණෙනි, (ශ්‍රාවකයෙනි) ඔබ තමාගේ කයට පීඩා පමුණුවන (අත්තකිලමථානුයෝගය)
පිළිවෙත් වලින් ද තමාගේ කයට සිතූ සිතූ සැප එළවන පරිදි ඇස කණ ආදී පඤ්ච ඉන්ද්‍රියෝ
පිණවීමේ (කාමසුඛල්ලිකානුයෝග) පිළිවෙත්වලින් ද ඈත් ව සිත හා කය මධ්‍යම පිළිවෙතකින්
(මජ්ක්‍ධිම පටිපදා) පවත්වා ගත යුතු ය.” යනුවෙනි. තවද “මහණෙනි, මේ මග අනුසෝතගාමී
වූවක් (යන අතට යන ගමනක්) නොව පටිසෝතගාමී (උඩු අතට පිහිනීමට වෑයම් කරන) මගකි. එනිසා
කුස පිරෙන තුරු නොව මදක් ඉඩ තබා වැළඳිය යුතු ය. පානය කළ යුතු ය. එනම් පමණ දැන
වැළඳිය යුතු ය. (භොජනෙ මත්තඤ්ඤුතා) නින්ද අඩු කළ යුතු ය. යහපත් ක්‍රියා සඳහා නිදි
වැරිය යුතු ය. (ජාගරියානුයෝගය) මේ සියල්ල කෙලෙස් තැවීමට මහෝපකාරී වන්නේ ම ය.”
දැන් අපි මෙම ගාථාවෙන් වදාළ තැවිය යුතු කෙලෙස් කවරේ දැයි විමසා බලමු. සිත කිලිටි
කරන ධර්මතා කෙලෙස් නම් වේ. මේවා ප්‍රධාන වශයෙන් තුනෙකි. එනම් - ලෝභ, ද්වේෂ හා මෝහ
නම් වෙති. මේ ත්‍රිවිධ පාපී ධර්ම බිඳී බිඳී – කැඩි කැඩී ගොස් එක්දහස් පන්සියයකුදු
ඉක්මවන බව ධර්මයේ සඳහන් වේ. මේ සියල්ලෙන් ම සිදු වනුයේ සිතේ දූෂිත බව, සිතේ කිලිටි
බව දියුණු තියුණු කිරීම ය. මෙවන් සිත් ඇත්තා අසත්පුරුෂයෙකි. ලෝභ ඇත්තෙකි. කෝප
ඇත්තෙකි. සත්‍යය දැක අසත්‍ය වැළඳ ගන්නෙකි. මෝහය, මුළාව හේතු කොටගෙන යුක්තිය,
සාධාරණත්වය, දුක් නිවීම නො දන්නෙකි.
මේ කෙලෙස් ධර්මතාවය ද අනවරාග්‍ර සසරේ (නැවැත්මක් නැති ඉපදීමේ දී) දිගින් දිගට ආ
ස්වභාවයේ කෙලෙස් ‘ආශ්‍රව‘ නමින් ද (කාම, භව, දිට්ඨි, අවිජ්ජා) මේ ආත්මභාවයෙහි උපන්
පසු ඇති කරගන්නා පාපී ස්වභාවයන් ‘උපක්කිලෙස’ නමින් ද (ප්‍රාණඝාතයෙන් පටන්ගෙන
මිථ්‍යාදෘෂ්ටියෙන් කෙළවර වන දස අකුසල්) දෙකොටසක් කොට තේරුම් ගැනීම මේ කෙලෙස් තැවීමට
මහත් සේ උපකාරී වෙයි. මේ දෙකෙන් ද උපක්ලේශයෝ තැවීම පළමුව කළ යුතු ය. දෙවනුව සිතේ
රැඳී ඇති ඉකුත් ආශ්‍රව (පල්වුණු කෙලෙස්) තැවීම - ගෙවා දැමීම ඇරඹිය යුතු ය. මෙහි දී
ද උපන් ජීවිතයේ දී සිදු කරගන්නා උපක්කිලෙස සත්පුරුෂ ඇසුර ආදී ඉහතින් සඳහන් කළ සතර
කරුණෙන් ඉක්මනින් නවතා ගතහොත් දෙවන ක්‍රියා මාර්ගය වූ ආශ්‍රව ක්ෂය කිරීම සඳහා
ජීවිතයේ වැඩි කාලයක් ඉතිරි වන හෙයින් මේ ජීවිතයේ දී හෝ ආසන්න ජීවිතයක දී කෙලෙස් තවා
නිම කොට මාර බන්ධනයෙන් මිදිය හැක . බුද්ධොත්තමයකු ලොව පහළ වන්නේ ද මේ සඳහාම ය.
මේ මාර්ගයයි මෙතෙක් ලොව සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව ලෙස අසා ඇති ‘සබ්බ
පාපස්ස අකරණං” ආදී ගාථා රත්නය තුළ සඳහන්ව තිබෙන්නේ මේ සතර පද ගාථාව තුළින් මෙලොව
උපන් සත්ත්වයාට පවින් මිදෙන ලෙසත්, (උපක්කිලෙස නවතා ගැනීමටත්) ඉන් අනතුරුව කුසල්
උපදවා (දහමෙහි හැසිරෙන දක්ෂයෙකු වී) සිතෙහි ඉතිරිව ඇති සංසාරගත කිලිටි (තණ්හා, මාන,
දිට්ඨි, අවිජ්ජා) සමථයෙහි (සමාධි ධ්‍යාන උපදවා) යෙදී විදර්ශනාව මතු කොට ගෙන
(ප්‍රඥාව උපදවා) සමුච්චේද, පටිපස්සද්ධි, නිස්සරණ වශයෙන් කිසිදු ඉතිරියක් නැතිව
(නිරවසේස) මේ උපක්කිලෙස හා ආශ්‍රව පහකර ගත යුතු බවත් මෙම දේශනාවේ ඇත.
තව ද අවසානයේ අප සසරට නැවැත නැවැත වට්ටවන දොළොස් අංගයෙන් යුත් පටිච්චසමුප්පාද
ධර්මතා තුළින් කම්ම, කිලේස, විපාක වශයෙන් එකම සංසාර වටයක කරකවන බව ප්‍රඥාවෙන්
තේරුම්ගත යුතු ය. මේ මග බුද්ධ දේශනාව තුළ ‘පර්යාප්ති’ ධර්මය ලෙස ද, මේ පර්යාප්ති
දේශනා නුවණින් විමසීමේ දී නිවැරැදි බව දැනගැනීමට ‘ප්‍රතිපත්ති’ දේශනාව ද මේ
පර්යාප්ති ප්‍රතිපත්ති ධර්මතා තුළ සම්‍යක් ප්‍රඥාවෙන් හැසිරීම නිසා ප්‍රතිවේධ
(අවබෝධ වීම, කර්මක්ෂය වීම – නිවන සාක්ෂාත් කිරීම, නැවැත උපතක් නැති බව වැටහීම -
සියලු දුක් ක්ෂය කළ බව දැනීම) අවස්ථාව අවසානයේ දී වැටහේ. මේ අරහත් ඵලයට පත් වූ බව
තමාට වැටහෙන ධර්මතාවය යි. අවිජ්ජාව (චතුස්සත්‍ය නො දැනීම) නිසා පව්පින් රැස්කොට
(සංඛාර) භව හා ජාති වශයෙන් නැවැත නැවැත සසරට එකතුවන්නේ මේ තුන් වටය අවබෝධ නොකරගත්
හෙයින් බව බුද්ධ දේශනාවයි. එහෙයින් මේ බුද්ධ වචන තුළ සතර ශීලය ‘ආගම’ වශයෙන්
ගැනීමත්, සීලයෙහි පරිබාහිරව ලද නො හැකි ‘දර්ශනය’ සප්ත විශුද්ධියෙහි ඇති බවත්, ‘ජීවන
ප්‍රතිපදාව‘ නම් වූ කෙලෙස් ප්‍රහීණය සමථ – විදර්ශනාව හා අනිත්‍ය - දුක්ඛ අනාත්ම
තිලකුණු තුළ ඇති බවත් අප තේරුම් ගත යුතු ය. එහෙයින් බුද්ධ දේශනාව තම ජීවිතය පුරා
වැඳ වැඳ සිටීමට හෝ නිවන් දැකීමට යයි සිතමින් පුජා විධි පැවැත්වීමට හෝ පමණක් වූවක්
නොවන බව අපි තේරුම් ගමු. ඉන් එහාට ගිය ප්‍රතිපත්ති හා ප්‍රතිවේධ වැඩ කොටසක් ද අපට
ඇත. දැනට ඔබ අප කරන කිසිම පින් කමක් නො කොට කැලයට වදින ලෙස මෙයින් නො කියන බව ද
අවධාරණය කරමු. දන් දීමට සිත් නැත්තාට සීලයක් නැත. දාන සීල ප්‍රගුණ නො කළාහුට
භාවනාවක් නැත. මේවා එකිනෙකට බුද්ධා වූවා වෙති. එනිසා දස පින් කරමින් දස කුසල්
වඩමින් කල් නොමරා බුදු වදන්හි ඉදිරියටම යමු. |