අවිද්‍යාවෙන් විද්‍යාවට
ගමන්කර වූ මහින්දාගමනය
කැලිෆෝනියා බටහිර විශ්වවිද්‍යාලයේ
විද්‍යාර්ථි මනෝචිකිත්සක,
සද්ධර්මාචාර්ය,
නාවල වික්රමසිංහාරාමයේ,
ඇත්කඳවක සද්ධාජීව හිමි
“සමණාමයං මහාරාජ
ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා”
ඇසූ පමණින් හුරුපුරුදු මෙම ගාථා පාඨය ලාංකික අපට සුවිශේෂ අවස්ථාවක් අවධාරණය කරයි.
එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර එවකට රාජ්‍ය දෙවන පෑතිස් රජතුමා මුණගැසී
කළ ප්‍රකාශයයි. මෙහි ප්‍රකාශිත අරුත ගැඹුරින් විමසීමට ලක් කිරීමෙන් මිහිඳු මහරහතන්
වහන්සේ ලක්වැසියන්ට උරුම කර දුන්නේ කවරක්ද? යන්න මැනවින් වටහා ගත හැක. ඒ අනුව මෙහි
“මහරජ , අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙමු” යන ප්‍රකාශය අප විසින් විග්‍රහ
කොට ගත යුතුයි. මෙහි පළමු පියවර ලෙස “ධම්ම” යන වචනය විග්‍රහ කර ගැනීමට අවශ්‍යයයි.
බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මේ ලෝකයට පහළ වී සිදු කළේ කුමක්ද? යන්න ඉතාම
නිරවුල්ව හෙළිකොට ඇත. උන්වහන්සේ ප්‍රකාශ කළේ තමන් මේ ලොවට පහළ වුවත්, නොවුණත් මේ
සත්‍යතාවය ලොව පවතින බවයි. තමන් වහන්සේ සිදු කළේ සැඟවී තිබුණු සත්‍යය මතු කරලීම
පමණක් බවයි. මෙය ලොව කිසිදු ශාස්තෘවරයෙකුට ප්‍රකාශ කළ නොහැකි අභීත ප්‍රකාශනයකි.
“ධම්ම” යන්න තේරුම්ගත හැකි පුද්ගලයා සියල්ල දෙස දකින්නේ, අනිත්‍ය, දුක්ඛ, අනත්ත
සංකල්පනා තුළිනි. ඇසට පෙනෙන්නා වූ, කනට ඇසෙන්නා වූ, දිවට දැනෙන්නා වූ සියලු දෑ මම
නොවේ. මගෙ නොවේ, වෙනස් වෙන සුළු ය. අසතුටෙන් පිරිය යනුවෙන් මෙලෙසින් ලොව දකින්නට
ඇති හැකියාව සතුටින් පිරුණු ජීවිතයේ මඟයි.
සතුට සෑම සත්ත්වයෙකුගේ ම ජීවිතයේ බලාපොරොත්තුවයි. සෑම කටයුත්තක්ම සිදු කරන්නේ
අවසානයේ සතුට බලාපොරොත්තුවෙනි. එහෙත් වර්තමානය වන විට පුද්ගලයා කවර තරම් සතුටින්
ජීවත් වෙනවාද යන්න ගැටලු සහගතයි.
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කොට ලාංකිකයන්ට හඳුන්වා දුන්නේ වෙන කිසිවක් නොව
ස්වභාව ධර්මය නොඉක්මවා ජීවත් වීමේ ක්‍රමයයි. අප ස්වභාව ධර්මයට ගරු නොකරන විට අපට
සිදු වන්නේ අසහනය, අතෘප්තිය ,අසන්තෝසය වැඩි වීමයි. මේ නිසා මිහිඳු මහරහතන් වහන්සේ
සිදු කළේ අසන්තෝසයෙන් තොරව සන්තෝසයෙන් සිටීමට ජීවන රටාවක් හඳුන්වා දීමයි. බුදු දහමේ
ප්‍රතිඵල ලබා ගැනීමට නම් අසහනය, අසන්තෝසය දුරු කළ යුතුයි. අසහනකාරි සිතකට එකඟතාවක්
ඇති නොවේ. එකඟ නොවූ සිත ප්‍රඥාවෙන් තොරයි. තව විදිහකට කිවහොත් සිතීමේ ශක්තිය
දුර්වලයි. ඉන්ද්‍රියයන් තුළින් ගනු ලබන අරමුණක් චිත්තක්ෂණයක් තුළ සම්පූර්ණ
ක්‍රියාවලියකට යොමු වී ඒ සඳහා නිවැරැදි ප්‍රතිචාර දැක්වීමට නම් එම චිත්තක්ෂණය තුළ ම
ප්‍රඥාවෙන් එදෙස බැලීමට හැකියාව දියුණු කර තිබිය යුතුයි. එසේ නොවුණහොත් ප්‍රතිචාරය
වැරැදි සහගත වී සිතට අසහනය ඇති වනු ඒකාන්තයි. මේතරමින් සිත දියුණු කර ගැනීම සඳහා
ඇති ක්‍රමවේදය මෙම ‘ධම්ම’ නමැති වචනයට ඇතුළත් වේ. එම ක්‍රමවේදය අපි ‘අරි අටඟි මඟ’
හෙවත් ‘ආර්යය අෂ්ටාංගික මාර්ගය’ ලෙස හඳුනා ගන්නෙමු.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු අංගය වනුයේ ‘සම්මා දිට්ඨියයි.’ සම්මා දිට්ඨිය, යනු
නිවැරැදි දැකීමයි. එනම් පංච ඉන්ද්‍රියන්ගෙන් ගනු ලබන අරමුණු නිවැරැදි ව හසුරවා
ගැනීමට ඇති හැකියාවයි. නිවැරැදි හසුරවා ගැනීම යනු ලෝභය, ද්වේෂය , මෝහය ඇති නොවන ලෙස
කටයුතු කිරීමේ හැකියාවයි. මෙහි දී විනිවිද ව දකිමින් අන්ත දෙකට නොවැටී එනම්, අල්ලා
ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම නොකර එදෙස උපේක්ෂාවෙන් බැලීමේ හැකියාවයි. දාරුචීරියට
දුන් උපදෙසත් එයයි. ‘පටිච්චසමුප්පාද න්‍යායට’ අනුව සියලු ගැටීම්වල මුල තෘෂ්ණාවයි.
තෘෂ්ණාව නැති කිරීමේ ක්‍රියාවලියේ වැදගත් ම කාර්යය වන්නේ ප්‍රඥාව හෙවත් විද්‍යාව
උත්පාදනය කිරීමයි. අවිද්‍යාවෙන් සිටිනතාක් තෘෂ්ණාව ඉවත් කළ නොහැකි වන අතර තෘෂ්ණාව
පවතිනතාක් සැනසීමක් නැත.
අරි අට මඟෙහි දෙවන කරුණ වන්නේ ‘සම්මා සංකප්ප’ හෙවත් නිවැරැදි කල්පනාවයි. මිහිඳු
මාහිමියන් ලක් දෙරණට වැඩම කොට ලක්වැසියන්ගේ සංකල්ප නිවැරැදි දිශානතියකට යොමු කරවීම
ප්‍රමුඛතම කාර්යය ලෙස සිදු කළ බව පැහැදිලි ය. විධිමත් වූ රටාවක සංකල්ප නොතිබූ
ජනතාවට විධිමත් වූත්, විද්‍යාත්මක වූත් සංකල්ප ගොඩනගා ගැනීමට මඟ විවර කළහ. මිහිඳු
මාහිමියන් වැඩම වීමට පෙර ලක්දිව විසූවන් ගස්, ගල්, වෘක්ෂ දේවත්වයට ආරෝපණය කර
වන්දනාවේ යෙදුනෝ ය, යන්න ප්‍රකට ය. එලෙස සෑම විශාල ගසකට ම වඳින්නට පුරුදු වී සිටි
මිනිසුන්ට ඇසතු ගස ( බෝධිය ) හඳුන්වා දෙමින් එය උපයෝගී කරගෙන බුදුගුණ මෙනෙහි කරන්නට
පොළඹවමින් උපක්‍රමශීලිව ජනතාව අවිද්‍යාවෙන් විද්‍යාවට යොමු කළ බව පෙනේ.
‘බුද්ධි’ යනු මිනිසත් භවේ උපරිම අවස්ථාවයි. බුදුගුණ මෙනෙහි කිරීම යනු උපරිම තලයේ
මිනිස්ගුණ සිහිපත් කිරීමයි. ගස්,ගල් වන්දනා කරමින් හෝ ආගමික පුද පූජා පවත්වමින්
එතැනට පත්විය නොහැක. එනම් එතැනට පත්විය හැකි ඒකායන මාර්ගය වන්නේ සිතීමේ ශක්තිය
දියුණු කිරීමෙන් ම පමණි. එබැවින් නිවැරැදි දෘෂ්ටියක් ඇතිව යහපත් සංකල්පනා ගොඩනගා
ගෙන සිතන්නට කායික හා මානසික සංවරයත්, නිරවුල් හා නිවැරැදි ක්‍රියාවන්ගේ නිරත වීමේ
හැකියාවත්, තමාටත් අන් අයටත් දෙපිරිසට ම යහපත වැඩෙන ලෙස ජීවත් වීමත්, සිතේ උත්සාහය
වැඩි දියුණු කර ගැනීමත් එකඟතාව ශක්තිමත් කරගැනීමත් යන ගුණාංග වැඩිවන මාර්ගයක් ලෙස
ආර්ය අෂ්ටාංගික මාර්ගය හැඳින්විය හැක.
මිහිඳු මාහිමියන්ගේ තත් ක්‍රියාවලිය නිසා ලක්වැසියා අපිස් ජීවිත ඇති, හැකියාවන්ගෙන්
පිරුණු, ලද දෙයින් සතුටු වන, ඍජු ප්‍රතිපත්ති ඇති, ගහකොළ, ඇළදොළ , ගංගා මෙන් සතා
සිවුපාවට ද ආදරය කරන පිරිසක් බවට පත්විය. එබැවින් ඔවුහු ස්වභාව දහම තුළින් එල්ල වූ
බාධක ජයගත්හ. මහ විශාල වැව් අමුණු එයට උදාහරණයි. එමෙන්ම සිත් පිත් නැති කළුගල්
විශ්වයම මවිත කරන ආකාරයට නිර්මාණයට හසුකර ගත්හ. සීගිරිය , අවුකන පිළිම වහන්සේ,
සමාධි පිළිම වහන්සේ වැනි නිර්මාණ ඊට කදිම නිදසුන් ය. මෙබඳු ජීවන රටාවකින් පොහොසත්
වූ ශ්‍රී ලාංකිකයෝ අධ්‍යාත්මික ලෙසින් වඩා පොහොසත් වූ හෙයින් සංස්කෘතිකමය වශයෙන්
ඉහළ දියුණුවක් ලබා ගත්තෝ ය. ක්‍රි.පූ. සියවස්වලදීත් වර්තමානයේ ආර්ථික වශයෙන්
ශක්තිමත් බොහෝ රටවල් වනචාරීන් ලෙස ජීවත් වන යුගයක ශ්‍රී ලාංකිකයන් වන අපේ ආදි
මුතුන්මිත්තන් සත්මහල් ප්‍රාසාදවල ජීවත්ව සිට ඇත. වසර දහසකට පෙර මෙරටෙහි රෝහල් තිබී
ඇති බවට තිබෙන සාක්ෂීන්ගෙන් හා එහි ශල්‍යකර්ම පවා සිදුකොට තිබීමෙන් ද සතුන්ට ද වෙද
හෙදකම් කිරීමෙන් ද අපට පසක් වන්නේ අතීතයේ පටන් අපට උරුම වූ සෞඛ්‍ය පහසුකම් ගැනය.
සුවිශේෂයෙන් වසර දහසකට පෙර රුවන්වැලිසෑයට අකුණු සන්නාහයක භාවිත කළ බවට ඇති සාක්ෂි
අනුව අතීතයේ අප සතුව වූ විද්‍යාත්මක ඥානය කවර අන්දමේ ද යන්නට හොඳම උදාහරණයයි.
විශේෂයෙන් බටහිර ජාතිකයන් අකුණු සන්නාහක සොයා ගත්තේ වසර දෙසීයකටත් අඩු කාලසීමාවක්
තුළය. එමෙන්ම දාගැබ් නිර්මාණයේදී අපට පසක් වන සුවිශේෂී කරුණක් ඇත. එනම් අප සතු
ගණිතමය හා මිනුම් භාවිතයේ හැකියාවයි. මෙබඳු තත්ත්වයක් තුළ මිහිඳු මාහිමියන්ගේ
පණිවුඩය නැවත නැවතත් සිහිපත් කරනු වටී. එමෙන්ම ඒ මඟ ඔස්සේ ගමන් කිරීමට සුදුසුම
කාලයකට අප එළඹී ඇතැයි සිතෙයි. |