බෙලිදෙණියේ සිරිධම්ම නා හිමි
ගාල්ල බෝපේ ශ්වේතබිම්බාරාමය එළියස් පෙදෙස සංඝමිත්තා විහාරය ආදී විහාර ගණයෙහි අධිපති
ත්‍රිපිටක ධර්ම සාහිත්‍ය ශිරෝමණී විද්‍යානිධි මහා මහෝපාධ්‍යාය බෙලිදෙණියේ
සිරිධම්මාභිධාන මාහිමිපාණන් වහන්සේගේ පස්වන ගුණ සමරු පින්කම නිමිතිකොටගෙන ධාතු
මන්දිරය සහිත සිවුමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජූනි මස 13 වන දින
සවස 3.00 ට විහාරාධිපති ශාස්ත්‍රපති දෙනියායේ සිරිනන්ද හිමිගේ ආරාධනයෙන් අමරපුර සංඝ
සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ
මූලිකත්වයෙන් සිදු කෙරිණි.
****
කිතලගම සීලාලංකාර නා හිමි
මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 349 බී, කිතලගම මධ්‍යම
ග්‍රාම නිලධාරී වසමේ දලුගොඩ හේනගෙදර කිතලගම මධ්‍යම පදිංචිව සිට නැසීගිය හේවාදුලිගේ
දියෝනිස් මහතාට හා නැසීගිය ගාල්ලේ සයිනහාමි මහත්මියට දාව උපන් දරුවා හේවාදුලිගේ
චාර්ලිස් යනුවෙන් නම් තබා වැල්ලේතොට අංගුන්න බදුල්ල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය
ලැබීය. අකුරැස්ස, කඹුරුපිටිය අතර ඇති විල්පිට ආරණ්‍යසේනාසනාධිපති හා වැල්ලේතොට
පඤ්ඤාලංකාරාමාධිපතිව වැඩසිටි අපවත් වී වදාළ උඩුපීල්ලේගොඩ පඤ්ඤාලංකාර නා හිමියන්ගෙන්
පැවිද්ද ලබාගෙන දිඹුලාගල නිර්මාතෘ කිතලගම සීලාලංකාර නාහිමියෝ පොළොන්නරුව කදුරුවෙල
ජයන්ති මහා විහාරයේ වැඩසිට එතැනින් දිඹුලාගල මහා වනමැදට වඩිමින් හදහන්විල ගල්තලාවේ
භාවනානුයෝගිව වැඩ සිටියහ.
යාපා ආදිවාසි නායකයා උන්වහන්සේ හමු වී ගල්ගුහාව දිඹුලාගල නාහිමියන් ට පූජා කළහ.
ආදිවාසි ජනතාවගේ ප්‍රදේශ හා ගම්මාන දියුණු කිරීමට ශ්‍රමදාන පවත්වමින් ගම් ප්‍රදේශ
දියුණු කිරීමට මහත් කැපකිරීමක් කළ මහ යතිවරයාණන් වහන්සේ නමකි. දිඹුලාගල ආරණ්‍ය
සේනාසනය මුල්කරගෙන විහාරස්ථාන 140 වැඩිය ඉදිකරමින් දිඹුලාගල මහා කස්සප පිරිවෙන
ඇතුළු පාසල් 20 ට වැඩි ප්‍රමාණයක් . ඉදිකරමින් නැගෙනහිර පළාත මුල් කරගෙන උතුරු
පළාතේ වැලිඔය දක්වා සිංහල පවුල් 45000 පදිංචි කිරීම මඩකලපුව තොප්පිගල දක්වා සිංහල
පවුල් පදිංචි කරමින් වාරිමාර්ග යෝජනාවක් වන මාදුරුඔය ආරම්භ කිරීමට මඟපෙන්වීම සිංහල
දමිළ ආදිවාසි කුලදරුවන් 800 වැඩිය පිරිසක් සසුන්ගත කළහ. සිංහල ජාතියට හා සම්බුද්ධ
ශාසනයට මෙන්ම සියලු ජාතීන් වෙනුවෙන් සුවිසල් සේවයක් ඉටුකළහ. 1995 මැයි 26 උදේ 7.15
පමණ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩසිටි මහා සංඝයා වහන්සේලාට දවල් දානය සඳහා රැගෙන
ඒමට උන්වහන්සේ වගාකරවන ලද කුඹුරේ එළවළු කොරටුව බලා ඩබල් කැබ්රථයෙන් වඩිනා ගමනේ දී
සැඟ වී සිටි එල්.ටී.ටී. ත්‍රස්තවාදීන්ගේ වෙඩි වරුසාවකින් රටවෙනුවෙන් දිවිපුදා 2018
මැයි මස 26 වන දිනට වසර 23 කි.
සාමවිනිසුරු
නන්දදාස මදනසිංහ
****
ඉලිප්පදෙණියේ සීවලී හිමි
කවදත් ලාංකේය භික්ෂුවගේ ගමන් මග වර්ණවත් කළ සත් කෝරළයේ ඒ ප්‍රමුඛ ලකුණ සුරැකීමට
තවත් මහතෙර නමකට හැකිවීම සාඩම්බරයට කරුණකි. එහෙත් ඒ සැබෑ භික්ෂුවගේ භූමිකාව නියෝජනය
කළේ අඬහැර පාමින් අඬබෙර ගසමින් නොවේ. නිහඬ බවේ මහත් හඬ පෞරුෂය ඇසෙන්නේ සබුද්ධික
මනසින් විමසන්නෙකුට පමණක් යැයි සිතෙයි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍ය කුලියාපිටිය කනදුල්ල ශ්‍රී ධර්මරාජ
පිරිවෙන් මහා විහාරාධීශ්වර ඉලිප්පදෙණියේ සීවලී මහා යතීන්ද්‍රයාණන් වහන්සේ මීට
තෙමසකට පෙර අපවත් වී වදාළහ.
ජා ඇල තුඩැල්ල දාවිත් මුල් ගුරුතුමා නොහොත් එම්.ඩී. පෙරේරා ඉස්කෝලෙ මහත්තයා,
අන්‍යආගමිකයෙකි. එමෙන්ම ඔහු පිදුම් හරසර ලැබිය යුතු උත්තම විරල ගණයේ පියතුමෙකි. අපේ
කතානායකයාණන් කුඩා කල සිට හදා වඩා ගත්තේ දාවිත් ඉස්කෝලේ මහත්තයා විසිනි.
තම අතිජාත පුත්‍රයා මහත් පූජාවක් ලෙස කතෝලික පූජකතුමා බවට පත්කර තමා හදා වඩාගත්
දරුවා සැබෑ බෞද්ධ භික්ෂුවක වනු දැකීම මේ ආදරණීය තාත්තාගේ පිවිතුරු අපේක්ෂාව විය.
මෙම පියතුමා අපූරු පියතුමෙක් වන්නේ තමා ජාතක කළ පුතනුවන් තමා උරුමයෙන් ලද ආගමට පූජා
කිරීම මෙන්ම තමා හදා වඩාගත් දරුවා ඔහුගේ උරුමයෙන් ලද ආගමික පරිසරය වෙතට යොමු කරලීමට
තරම් නම්‍යශීලීවීම තුළය. එසේ තම දෙනුවන් වන් පුතුන් දෙදෙන ආධ්‍යාත්මික සුවය
වෙනුවෙන් දෙපසක ගමන් කරනු දැකීමට මේ පියතුමාගේ දෙනුවන් පින් කර තිබිණ. එය සැබැවින්ම
වෙනත් පියතුමකුට දැකිය නොහැකි වන පුදුම සහගත දසුනකි. මඟ පෙන්වීම යටතේ පන්සල්
ආශ්‍රයට යොමුකළ ජයසේකර නම් වූ ඒ හදා වඩාගත් පුත්‍රයා එවකට සත් කෝරළයේ සංඝපීතෘවරයකු
වූ රකුපොල ආනන්ද නා හිමියන්ගේ ශාසනික පුත්‍රයකු වෙමින් 1955 පොසොන් මාසයේ දී
සසුන්ගත විය. 1938 දී මෙලොව එළිය දුටු මේ කුමරුවන් උතුම් චීවරයට තම ගිහි ජීවිතය
පූජා කරන විට පසු වූයේ හොඳ නරක පිරික්සිය හැකි භද්‍ර යෞවනයේ ය. කලකිරීමෙන් නොවන මනා
අවබෝධයකින් සහ තමා හදා වඩා ගත් පියාණන්ගේ සිහිනය සැබෑ කළ මේ බුද්ධ පුත්‍රයා
නැදලගමුවේ ජිනානන්ද වැනි සඟ පිතුවරුන් සෙවණෙහි ය. ඉනික්බිති විදුලකර සරසවියට ද
ඇතුල් වී උසස් අධ්‍යාපනය ද ලබා ගැනීමට සමත් විය.ඉන්පසුව තමා ලද අධ්‍යාපනය පෙරළා
පරිත්‍යාගකරමින් අසරණ දූ දරුවන්ගේ නැණ පහන දැල්වීමට පුරා වසර අටක් පමණ ගුරු සේවයේ
නිරත විය. ඉන්පසුව කනදුල්ල ධර්මරාජ විහාරය ආකර්ෂණීය ලෙස ප්‍රවර්ධනය කොට තම
ගුරුදේවයන්ගේ සිහිනයක් ව පැවැති පිරිවෙනක් ස්ථාපිත කිරීමේ අභියෝගයට ද උර දී කණදුල්ල
ධර්මරාජ පිරිවෙන ද ආරම්භ කළේ ය. ශිෂ්‍ය භික්ෂූන්ගේ ඥානාලෝකය දැල්වීමේ මහත් වූ
පුණ්‍යකර්මය උදෙසා ය. එය සත්කෝරළයට සුදිලාලෝකය රැගෙන එන දොළොස්මහේ පහනකි.
සීවලී යතීන්ද්‍රයාණන් සැබෑ සංඝ පීතෘවරයකු වන්නේ ධර්මරාජ පිරිවෙනින් ශිෂ්‍ය භික්ෂූන්
වහන්සේලා සුවිශාල පිරිසකට සෙවණ සැලසීමෙන් පමණක් නොව තම පිය සෙවණෙහි සිසු පුතනුවන්
තිස් නමක් පමණ හදා වඩා ශාසනික අධ්‍යාපනික මෙහෙවර උදෙසාම මුදා හළ බැවිනි.
සීවලී මහ තෙරුන් වහන්සේ වයඹ පළාතේ කෘත්‍යාධිකාරී පරිවෙනාධිපති සංගමයේ සභාපති වශයෙන්
පත් වී වයඹ පළාතෙහිම පිරිවෙන් ප්‍රවර්ධනය සඳහා ඇප කැපවෙමින් කටයුතු කිරීමද නොමැකෙන
සද් කාර්යයකි. එසේම ප්‍රදේශයේ දහම් පාසල් නඟාසිටුවීම, අසරණ දරුවන්ට අධ්‍යාපනය සඳහා
උදව් උපකාර කිරීම, සායන පවත්වමින් ගිලානෝපස්ථානය කිරීම ආදී වූ සුවිසල් සමාජ මෙහෙවර
වෙනුවෙන් ද උන්වහන්සේ පරිත්‍යාගශීලීව පෙරමුණ ගත්හ.මෙසේ ශාසනික සමාජ මෙහෙවර වෙනුවෙන්
සීවලී මහතෙරුන් වහන්සේ දායකයින් පීඩාවට පත් නොකළහ.
සීවලී භික්ෂූන්වහන්සේ කනදුල්ල ධර්මරාජ තරුණ සංගමය පිහිටුවා ගනිමින් යෞවනයේ ශක්තිය
සමාජ යහපත වෙනුවෙන් දායක කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි.
බොහෝ භික්ෂූන් වහන්සේ තරුණ සංගම් සමඟින් අවරෝහණය වන අවදියක එදා සීවලී තරුණ භික්ෂූන්
වහන්සේ තරුණයන්ට පුරෝගාමී සැබෑ භික්ෂුවක් විය. යෞවන ශක්තියද උදාර අරමුණු වෙනුවෙන්
කැප කිරීමටත් ඔවුන්ගේ අධ්‍යාත්මය සුපහන් කිරීමටත් හැකි වූයේ තම අරමුණ ද පිවිතුරු වූ
නිසාම ය. නායකත්වයදීමට තරම් නිපුණතාවයක් ද ශක්තියක්ද තිබූ බැවිණි. ඒ නිසාම මේ තරුණ
ජවයෙන් යහපත් කාර්යයන් රැසක් සරු ඵල ලැබීය.
අව්වට, වැස්සට, ඉහලන තල් අත්ත, කුඩය, සැකසීමෙන්, හැඩයෙන් වෙනස් වුවද ආවරණය වන්නේ
හිසය. සැලසෙන්නේ සිසිලසය. එපරිද්දෙන් විවිධ නිකාය විෂමතාවයන් පසෙකලු සීවලී මහ
තෙරුන් වහන්සේ තම භික්ෂු දෑත පෑවේ, හෘදයාංග වූයේ, විවිධ විෂම සමාජ ශාසනික ස්ථරයන්
සම භූමියක ගෞරවාන්විතව ඔසවා තැබීම වෙනුවෙන්මය. උන්වහන්සේ සත්කෝරළයේ සියලු නිකායන්
ඒකරාශී කළ උසස් සංඝ සංස්ථාවේ සැමරුම් සලකුණක් වශයෙන් නොබියව හඳුන්වා දිය හැකි ය.
තම අණසකට යටත්ව විහාරස්ථාන දාහතක පමණ අධිපතිත්වයට උරුමකම් ලැබූවද, උතුම් බුද්ධ
පුත්‍රයකුගේ පරමාර්ථය ප්‍රායෝගිකව පසක් කරලමින් අත්හැරීමේ න්‍යාය පිළිපදිමින්, ඒ
සියලු විහාරස්ථාන නොපැකිලිව පරිත්‍යාග කිරීමට පෙළඹුණු සේක. සීවලී මහතෙරුන් වහන්සේගේ
උත්තුංග භික්ෂු චරිතයට පිදුණු නම්බුනාම සම්මාන පිරී පැවැතියේ සැදැහැති මානව
හදපත්ලෙහිය. බෝඩ් ලෑලි, කඩදාසි කැබලි හෝ කාබන් තීන්ත මුද්‍රාවල නොවේ ය.
1955 වසරේ අහඹු ලෙස හමු වී, පුරා වසර 60 කට වැඩි දිවි මඟ සුහද මිතු දම, භව මඟ
ඉමතෙක් නොබිඳී පවතින බව දනිමි. දෙනුවන් පියවුණ ද ඔබ වහන්සේ සංසාර චක්‍රයේ දූර ගමන්
නොයනු බව විශ්වාසය. ඒ කෙටි ගමන් හුවමග පහන් කිරීම උදෙසා ඔබ වහන්සේගේ දිවිය නැවත
නැවතත් පිවිතුරු චීවරයට පිදීමට තරම් පරිත්‍යාගශීලී වන බව මට නම් නිසැක ය.
වහුමුවේ විජයවංශ නා හිමි |