ප්‍රේතයෙකුගේ අවවාද පිළිගෙන තිසරණයෙහි පිහිටීමේ ආදර්ශය
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් ව වසර දෙසීයක් ඉක්ම ගිය කල්හී සුරට්ඨ දේශයෙහි
පිංගල නම් සාමන්ත රජ කෙනෙක් වාසය කළේ ය. ඔහුගේ සේනාපතියා නන්දක නම් විය. පිංගල රජු
මෙන්ම නන්දක සේනාපතියාත් මෙලොව පරලොව හොඳ නරක කුසල් අකුසල් පින් පව් විශ්වාස නොකළ
නාස්තික දෘෂ්ටියේ පිහිටි අය වූහ.
නන්දක සෙන්පතියාට උත්තරා නමින් දියණියක් සිටිය අතර පසු කලෙක ඇය සුදුසු කුලයකට විවාහ
කර දුන්නේය. තම නාස්තික දෘෂ්ටිය නිසා විවිධ පාප කර්ම සිදුකළ නන්දක සෙන්පතියා
මියපරලොව ගොස් වින්ධ්‍යා පර්වතයේ එක්තරා නුග ගසෙක ප්‍රේතයකු වී උපන්නේ ය. ඔහුගේ
දියණිය සැදැහැති කාන්තාවක් වූ හෙයින් තමා පියා වෙනුවෙන් (නන්දක) සිහිල් සුවඳ පැන්
කළයක්ද ඉතා රසවත් කැවුම් නෑඹිලියක් ද එක්තරා රහතන් වහන්සේ නමකට පූජා කොට එම
දක්‍ෂිණාව ඔහුට අනුමෝදන් කළා ය.
තම දියණියගේ දක්‍ෂිණාව අනුමෝදන් වූ ප්‍රේතයාට අපමණ දිව්‍යමය පැන් ද දිව්‍යමය භෝජන ද
පහළ විය. එය දුටු ප්‍රේතයා තමා දැරූ නාස්තික දෘෂ්ටිය නිසා බොහෝ පව්කළ බවත්, අන් අයද
යහපතින් වැළක් වූ බවත් සිහිපත් විය. තමාගේ සාවද්‍ය දෘෂ්ටිය නිසා ප්‍රේතයෙකුව
උපදින්නට සිදු වූ බව වටහාගත් නන්දක ප්‍රේතයා තමා සේවය කළ පිංගල රජු කෙසේ හෝ එම
පවිටු දෘෂ්ටියෙන් මුදවාගෙන යහපතෙහි යෙදවියයුතු යැයි කල්පනා කළේ ය. ඒ සඳහා කල්
බලමින් සිටි ප්‍රේතයා එක් දිනක් පිංගල රජු අශෝක මහා අධිරාජයා මුණ ගැසී වින්ධ්‍යා
පර්වතයේ පිහිටි එම නුග ගස අසලින් ගමන් කිරීම සඳහා පැමිණෙන අයුරු දුටුවේය. ඉක්බිති
නන්දක ප්‍රේතයා පිංගල රජු ගමන් ගන්නා මග ඉදිරියෙන් පෙනෙන ලෙසත්, පසුකළ මග නොපෙනෙන
ලෙසත් අධිෂ්ඨාන කළේය.
රජුගේ සේනාව පිටුපසින් ම ගමන් කළ පුරුෂයා ඔවුන් පසු කළ මග අතුරුදහන් වූ බව දැන
බියපත්ව රජු වෙත දිව ගොස් ඒ බව කීවේය. පිංගල රජු එයින් බිය පත්ව සතර දිශාව බලන
කල්හී නුග රුකෙහි සිටි ප්‍රේතයා දැක තම සේනාව සමග එහි ගියේ ය. නුග රුක මුලට පැමිණි
රජු ඇතුළු පිරිස ඉදිරියේ සර්වාභරණයෙන් යුතුව පෙනී සිටි නන්දක ප්‍රේතයා ඔවුන් සියලු
දෙනාට කැවුම් හා සුවඳ ජලයෙන් සංග්‍රහ කළේ ය. බිය සැක දුරුකරගත් පිංගල රජු
ප්‍රේතයාගෙන් ඔහු කවරෙක්දැයි විමසී ය. රජුට පිළිවදන් දුන් නන්දක ප්‍රේතයා තමා හා
සම්බන්ධ අතීත පුවත ගෙනහැර දක්වා නාස්තික දෘෂ්ටිය බැහැර කොට තිසරණයෙහි පිහිටා පංච
ශීලය සමාදන්වන මෙන් පැවසී ය. නන්දක ප්‍රේතයාගේ අවවාදය පිළිගත් පිංගල රජු ස්වකීය
මිථ්‍යා දෘෂ්ටිය බැහැරකොට සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා පින් දහම් කරමින් කල් ගෙවන්නේ
තමන් දුටු සියල්ල භික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කළහ. භික්ෂූන් වහන්සේලා එම කථාව
සංගීතිකාරක භික්ෂූන්ට පැවසූ අතර එය තුන්වන ධර්ම සංගායනාවේ දී සාකච්ඡා විය.
පින් - පව්, හොඳ නරක, මෙලොව පරලොව, නොපිළිගන්නා චාර්වාක වැනි භෞතිකවාදීහූ බුද්ධ
කාලයේ ඉන්දියාවේ වාසය කළහ. එහෙත් වර්තමානයේ එවැනි ආන්තික භෞතික වාදයක් නැත. වර්තමාන
ඇතැම් භෞතික වාදීන් පරලොව හෝ නැවත උපතක් (පුනරුප්පත්තිය) විශ්වාස නොකළත් හොඳ නරක
යහපත අයහපත නීතිය යුක්තිය හා සදාචාරය පිළිගනී. ඒ අනුව වර්තමාන භෞතික වාදීන්
සාකල්‍යයෙන්ම නාස්තික දෘෂ්ටියක පිහිටා ඇතැයි පැවසිය නොහැකි ය. ලෝකයේ සෑම රටකම පාහේ
කිසිදු ආගමක් නොපිළිගන්නා පිරිසක් ද දක්නට ලැබේ. එහෙත් ඒ අය ඒ රටවල පිළිගත්
සාමාන්‍ය නීතිය හා සදාචාරය ඉක්මවා කටයුතු නොකරති. ආගමික අනුගාමිකයන් නොවුණත් ඒ අය
තමා අයත් රටෙහි පවතින නීතියට ගරු කරමින් ඒ අනුව කටයුතු කරති. ඒ අනුව අතළොස්සක් වන
මෙම පිරිස අයහපත් අය වශයෙන් නිගමනය කළ නොහැකි ය.
ආගමක් දහමක් නොපිළිගන්නා අතරම සදාචාරය හා හොඳ නරක නොපිළිගන්නා පිරිසක් ද සිටී.
ඔවුන් කිසිසේත් ම යහපත් අය වශයෙන් සැළකිය නොහැකි ය. ආගම හෝ නීතිය මගින් හඳුන්වාදෙන
ලද යහපත් අයහපත් දෑ අනුගමනය කරන තැනැත්තා යහපත් අයෙකු වේ. එහෙත් ආගමක් විශ්වාස
නොකළත් හොඳ නරක හා සදාචාරය පිළිගන්නේ නම් එම තැනැත්තා යහපත් අයෙකු ලෙස පිළිගැනීමට
බාධාවක් නොමැත. පරලොවක් තිබුණත් නැතත් පවින් වැළකීමත් යහපතෙහි යෙදීමත් කළ යුතුය
යන්න අපණ්ණක සූත්‍රයෙන් අවධාරණය කර තිබේ. මෙම අදහස සුභාෂිතයේ එන “ඇතත් නැතත් පරලොව
සුදනෙනි මහත - හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත” යන කවියෙන් ද තහවුරු කොට ඇත. ඒ අනුව
අප පව් නොකළ යුත්තේ එය අයහපත් දෙයක් ලෙසත් එයින් තමන්ට මෙන්ම අන්‍යයන්ට ද අයහපතක් ම
සිදුවන නිසාත් ය.
මෙම පේත කථාවේ එන නන්දක සෙන්පතියා මෙන්ම පිංගල රජුද නාස්තික දෘෂ්ටියෙහි පිහිටා
කටයුතු කළ අය වෙති. නන්දකට තමන්ගේ නාස්තික දෘෂ්ටිය සාවද්‍ය යන්න වටහා ගැනීමට හැකි
වූයේ පේත ආත්මයක ඉපිද දුක් විඳීමට සිදු වූ නිසයි. දුකට වේදනාවට පත් වූ පසු ජිවිතය
පිළිබඳ යම් අවබෝධයක් ඇතිවීම කාහටත් පොදු තත්ත්වයකි. එහෙත් එම අවබෝධය යහපත් ජීවිතයකට
ආදර්ශයක් කරගන්නා පුද්ගලයන් ඇත්තේ ඉතා ස්වල්පයකි. නන්දක තමා කළ පාපයේ බරපතළකම වටහා
ගත් අතර තම මිතුරු පිංගල රජු ද එයින් වැළැක්වීමට ද උත්සුක විය. එයින් ඔහුගේ සැබෑ
මිත්‍රත්වය හා රජු කෙරෙහි වූ හිත පක්ෂපාතිත්වය මැනවින් නිරූපණය වේ. තමා විඳින දුක
හා වේදනාව අන් අයට උරුම නොකිරීමට කල්පනා කිරීම සත්පුරුෂයෙකුගේ ලක්ෂණයකි. පිංගල රජු
ද නන්දකගේ අවවාදය මැනවින් පිළිගෙන තමා දැරූ මිථ්‍යා දෘෂ්ටිය බැහැර කොට සම්‍යග්
දෘෂ්ටියෙහි පිහිටා කටයුතු කළේය.
සත් පුරුෂයන්ගේ හා කලණ මිතුරන්ගේ අවවාද අනුශාසනා පිළිගනිමින් වරදින් නිදහස් වීමට
කෙනෙකු කටයුතු කරන්නේ නම් එය ඔහුගේ දෙලොව අභිවෘද්ධිය පිණිස හේතුවේ. නන්දක මෙහිදී
පිංගල රජුට දන්වා සිටින්නේ තිසරණයෙහි පිහිටා පංච ශීලය සමාදන්වන ලෙසයි. තිසරණයේ
පිහිටීමෙන් බෞද්ධයෙකු හා උපාසකයෙකු බවට පත්වන අතර පංචශීලය සමාදන් ව එය ආරක්ෂා
කිරීමෙන් සිල්වතෙක් බවට පත්වේ. තිසරණයේ පිහිටා පස් පවින් වළකින තැනැත්තා දෙලොවම
ජයගත් අයෙකු ලෙස පිළිගැනේ. නන්දකගේ දියණිය උත්තරා, මියගිය තම පියා වෙනුවෙන් ඇගේ
යුතුකම මැනවින් ඉටු කළ නිසා ප්‍රේත ආත්මය තුළ ඔහුට යම් අස්වැසිල්ලක් ලද හැකි විය.
එහෙත් මියගිය දෙමාපියන් සිහිපත් කර ඔවුන්ගේ පරලොව සුව පිණිස කටයුතු නොකරන අය අප අතර
කොතෙකුත් සිටිති. සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වෙන පරිදි දෙමාපියන් මිය ගිය පසුව ඔවුන්
සිහිකර පුණ්‍යානුමෝදනා කිරීම දරුවන්ගෙන් ඉටුවිය යුතු යුතුකමකි. අනෙක් අතට එය කෘතගුණ
සැලකීමක් ද වේ. මෙම පේත කථාව බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසීයක් ගත වූ පසුව සිදු
වූවකි. පේත කථා බොහෝමයක් බුදුරදුන් ධරමාන අවදියේම ඇති වූ ඒවා වේ. ඒවායේ ආරම්භය කෙසේ
සිදුවීද යන්න සෙවීමට වඩා එයින් ඉදිරිපත් කරන සදාචාරාත්මක ආදර්ශය බෙහෙවින් වැදගත්
වේ. වර්තමානයේ වුවද මෙවැනි පේත කථා හා සමාන සිදුවීම් දක්නට ලැබේ.
පාපයේ හා අකුසල කර්මයේ විපාක පැහැදිලි කරන සිදුවීම් අතීතයට පමණක් සීමා වූවක් නොවේ.
තමන් කළ පාප කර්මයට අනුරූපී විපාක විඳින පුද්ගලයන් වර්තමානයේ ද කොතෙකුත් දක්නට
ලැබේ. මරණින් පසු තත්ත්වය කෙසේ වුවත් දිට්ඨධම්ම වේදනීය වශයෙන් තමා කළ පාපයට අනුරූපී
විපාක විදින අය දක්නට ලැබේ. විවිධ පාප කර්ම කළ ඇතැම් පුද්ගලයන්ට කායිකව කිසියම්
දුකක් නැති බවක් පෙනෙන මුත් ඔවුන් අප්‍රමාණ ලෙස මානසිකව විඳවන අයුරු ඔවුන් හා සමීපව
කථා කිරීමෙන් තහවුරු කරගත හැකි ය. පාප කර්ම කළ ඇතැම් පුද්ගලයන් කායික හා මානසික
වශයෙන්ද දුක් විඳින අවස්ථා දැකිය හැකි ය. මේ අනුව පාප කර්ම සිදුකළ යමෙක් වෙතොත්
ඔහුට තාවකාලිකවත් අස්වැසිල්ලක් නැති බව ඉතා පැහැදිලි ය. එබැවින් පාපය හා එහි විපාක
සුළුකොට නොසැළකිය යුතුයි. පවට බියක් මෙන්ම ලජ්ජාවක් ද ඇතිකරගත යුතුවේ. |