නොරැවටුණ භික්ෂුව
රාජකීය පණ්ඩිත,
ශාස්ත්රපති
මහරැඹෑවැවේ පාලිත හිමි
“අටුවා රසකතා” යනුවෙන් සතිපතා පළවෙන ලිපි පෙළෙහි සිව්වැන්න මෙයයි. අද ලිපියෙන් අප
ඉදිරිපත් කරන්නේ පිණ්ඩපාතයේ වැඩිය භික්ෂුවකට සිදු වූ අකරතැබ්බයක් ගැන කතාවකි. මෙය
සඳහන් වන්නේ ද විසුද්ධි මාර්ගයෙහි ය.
පෙර ලිපියෙන් සතර සංවර සීලය පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කළෙමු. බුද්ධඝෝස
හිමියන් මෙම කතාව යොදා ගන්නේ සතර සංවර සීලයෙහි තුන්වන සීලය වන ආජීව පාරිශුද්ධි සීලය
විස්තර කිරීම සඳහා ය. මෙහි දී ‘කුහනා’ වර්ග තුනක් ඉදිරිපත් කරයි. කුහනාව යනු
රැවටීමයි. තමාට ප්‍රත්‍ය සපයන දායකයා රැවටීම මින් අදහස් කරයි. එය ත්‍රිවිධාකාර
වෙයි. එනම්,
පච්චය පටිසේධන කුහනාව
සාමන්ත ජප්පන කුහනාව හා
ඉරියාපථ සන්නිස්සිත කුහනාව යනුවෙනි.
‘පච්චය පටිසේධන’ කුහනාව
සැදැහැවත් දායකයෙක් චීවරාදී යම් ප්‍රත්‍යයක් පිළිගැන් වූ විට, එය එම භික්ෂුවට
ප්‍රයෝජන ඇත්තේ, ගනු කැමැත්ත ද ඇත්තේ, එහෙත් ඒ භික්ෂුව දායකයා පහදවනු කැමැත්තේ
එයින් තමාට ප්‍රයෝජන නැතැයි පවසා පසුව තමාගේ අල්පේච්ඡභාවය පෙන්වා, දායකයා පහදවා
බොහෝකොට ප්‍රත්‍ය ලබාගැනීමට අවස්ථාව සලසා ගැනීම මින් අදහස් කරයි.
සාමන්ත ජප්පන කුහනාව යම් භික්ෂුවක් තමා සතුව නැති යම් විශේෂ ගුණ සමූහයක් මවා පෙන්වා
දායකයා පහදවා ප්‍රත්‍ය ලබාගැනීමයි.
ඉරියාපථ සන්නිස්සිත කුහනාව යම් භික්ෂුවක් ලෝකයාගෙන් ගරු බුහුමන් ලබනු කැමැත්තේ,
යාම් ඉඳීම් ආදි ඉරියව්වෙන් මහජනයා විශ්මයට පත් කරේ නම්, එය ඉරියාපථ සන්නිස්සිත
කුහනාව නම් වෙයි.
‘ලපනාව‘ යන්න ද කුහනාවත් සමඟම යෙදෙන තවත් පදයකි. ලපනා යන්නෙන් ‘කීම’ යන්න අදහස්
කරයි. යම් භික්ෂුවක් තමා පිළිබඳ ගෞරවයක්, ලාභයක්, කිර්තියක්, ප්‍රශංසාවක් හෝ යම්
ප්‍රත්‍ය ලාභයක් ඇතිවන අයුරින් දායකයින් සමඟ කතා කිරීම ලපනා යන්නෙන් අදහස් කරයි.
එබැවින් යම් භික්ෂුවක් කුහනාවෙන් හා ලපනාවෙන් යුක්තව දායකයින් සමඟ කටයුතු කිරීම,
අදහස් හුවමාරු කිරීම ආදිය නොකළ යුතු ය. එය භික්ෂුවකට කැප නොවේ. විශේෂයෙන්
පිණ්ඩපාතයේ වඩින භික්ෂුවක් පහත සඳහන් පස්වැදෑරුම් වු නිමිත්තාදීන්ගෙන් වෙන් විය
යුතු ය.
නිමිත්ත – තමා වෙත ප්‍රත්‍ය ලබා ගැනීමට අන් අයට සිත් උපදවන අයුරින් කටයුතු කිරීම.
නිමිත්ත කර්ම – කෑමක් ගෙන යන අයෙක් දැක, කුමක් ද කෑමක් ලැබුණා ද? ආදී වශයෙන්
විමසීම.
ඕභාස - ප්‍රත්‍ය පිළිබඳ කතා කිරීම
ඕහාස කර්ම – යම් ප්‍රත්‍යයක් ලබා ගැනීමේ අරමුණින් ඒ පිළිබඳ කතා කිරීම උදාහරණ ලෙස
වසු පැටවුන් ඒ හිමිකරුගෙන් කිම මොවුන් කිරි වස්සෝ ද? වෙඬරු වස්සෝ ද? ආදී වශයෙන්
විමසීම.
සාමන්ත ජප්ප – දානය පිළිගන්වන දායකයින් වෙත ආසන්න වී කතා කිරීම.
කුලුපඟ භික්ෂුවකගේ කතාව
එක් කුලුපඟ භික්ෂුවක්, ඒ ගෙයින් වළදන කැමැත්තෙන් ම ගෙට ගොස් අසුනක වැඩ හුන්නේ ය. ගේ
උන් තැනැත්තිය උන්වහන්සේ දැක කිසිවක් නො දෙන අටියෙන් ‘අද ගෙදර සහල් නැතැයි’ පවසා
සහල් ගෙනෙන්නට යන ලීලාව හඟවා අසල ගෙයකට ගියා ය. ඒ අතර භික්ෂුව ගේ ඇතුළට ගොස් වටපිට
බලන්නේ දොර මුල්ලෙහි වූ උක්ගසක් ද, භාජනයක වූ සකුරු මුලක් ද, පැසෙක තිබූ වියළන ලද
මාළු ද, සැළියක වූ සහල් ද, කළයක වූ ගිතෙල් ද දැක ආපසු එළියට අවුත් කිසිවක් නොදන්නා
සේ වැඩවුයේ ය. ඒ සමඟම ගෙයින් පිට වූ කාන්තාව ද පැමිණ ‘ස්වාමීනි’ සහල් ලබාගැනීමට
නොහැකි වී යැයි පැවසුවා ය. එවිට භික්ෂූන් වහන්සේ ‘උපාසිකාවෙනි, අද දානය නොලැබෙන බව
පූර්ව නිමිත්තකින් මා දැන ගත්තේය යැයි’ පැවසූහ. එවිට එම ස්ත්‍රිය ස්වාමීනි, ඒ නම්
කවර නිමිත්තක් දැයි’ විමසී ය. එවිට භික්ෂුව පවසන්නේ ‘උපාසිකාවනි, ගේ මුල්ලේ උක් ගස
බඳු සර්පයෙක් දුටුවෙමි. ඌ ගසා එළවමියි අවට බලන්නේ සකුරු කැට බඳු ගල් කැට ද, පා පහර
කෑ සර්පයා විසින් පැසෙහි වූ වියළි මාළු කෑල්ලක් බඳු පෙණය ද, කැටගල් ඩැහැගන්නට
පැනගත් සර්පයාගේ මුඛයෙන් ගිලිහුණු කළෙහි ගිතෙල් බඳු විෂ මිශ්‍ර කෙළ ද, දුටුවෙමි යි’
කී ය. එවිට සිද්ධිය අවබෝධ කරගත් කාන්තාව ‘මේ භික්ෂූන් නම් රැවටිය නොහැකියැයි’ තමාටම
කියාගෙන උක්ගස කපා පිළිගන්වා නැවත බත් උයා පැසෙහි වූ මාළු ද සමඟ ගිතෙල් හා හකුරු ද
පිළිගැන්වූවා ය.
භාවිතය
කිසිසේත් භික්ෂුවක් සිව්පසය හෝ වෙනයම් ප්‍රත්‍යයක් හෝ ලාභයක් අපේක්ෂාවෙන් දායකයා
නොරැවටිය යුතු ය. එයට හේතුව එයින් රැවටෙන්නේ දායකයා නොව තමාම වන බැවිනි. එමෙන් ම
තමාට යම් ගෞරවයක්, ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් ඇතිවන අයුරින් දායකයින් සමඟ කතා
කිරීම ද නොකළ යුතු ය. එමෙන් ම තමාට යම් වාසියක් ඇති කර ගැනීමේ බලාපොරොත්තුවෙන් හෝ ඒ
පුද්ගලයාට යම් හානියක් සිදුකිරීමේ අරමුණින් යමෙකුගේ අගුණ කතා ද නොකළ යුතු ය. එයින්
ද දායකයා රැවටෙන බැවිනි. ඒ අනුව මේවායෙන් වෙන්වන භික්ෂුව කුහනා - ලපනා ආදියෙන් වෙන්
වූ, නිර්වාණ මාර්ගයට පිළිපන් භික්ෂුවක් බවට පත්වෙයි. |