සම්බුදු උපත සැපතකි
හෝමාගම අතුරුගිරිය පාර,
පුරාණ විහාරාධිකාරි
පළාත් සහකාර අධ්‍යාපන අධ්යක්ෂ
( පිරිවෙන්)
මාදෝවිට වජිරබුද්ධි හිමි
සකල ලෝකවාසී බෞද්ධ ජනතාව මෙවර වෙසක් උළෙල සැමරීමත්, සමඟම 2562 ශ්‍රී බුද්ධ වර්ෂය
උදාවිය. බුදුවරුන්ගේ උපත ලොවට සෙතකි. ශාන්තියකි. බුදුන් වදාළ ධර්මය ද එලෙසම ලොවට
සැපතක් වන්නේ ය. ජීව පරිසරය තුළ මෙන් ම අජීවි පරිසරය විෂයෙහි ද මෙත්තා, කරුණා,
මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයෙන් යුතුව වාසය කිරීමට ජනතාවට ඉගැන්වූයේ
සම්බුදු දහම මගිනි. තෙමඟුල් උදානය සිහිපත් කළ අප සැවොම සිදුහත් උපත සම්බුද්ධත්වය සහ
සම්බුද්ධ පරිනිර්වාණය යන සියල්ල රුක් සෙවනක තුරුලිය පසුබිමක සිදු වු අසිරිමත්
සිදුවීම් බව නිරතුරු සිහිපත් කළ යුතු ය. නේරංජනා නදී තීරය, ලුම්බිනි සල් උයන,
උපවර්තන සල් උයන පමණක් නොව, ඉසිපතන මිගදාය, ආදි ආරණ්‍ය , වෘක්ෂ මූල, ගංගා ,ඇල – දොළ
බෞද්ධ ශාසන ඉතිහාසය ප්‍රබෝධමත් කළ ස්ථාන බව අමතක නොකළ යුතු ය.
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කෙසේ නම් “බුද්ධ” නම් වන සේක් ද?
අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං –
භාව් තබ්බංච භාවිතං
පහාතබ්බං පහීනං මෙ –
තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ
බුදුරදුන් සමඟ සතුටු සාමීචියේ යෙදුණ බ්‍රහ්මායු සහ සේල යන බ්‍රාහ්මණ දෙපළට “බුද්ධ”
යනු කවරෙක්දැයි පහදා දෙන අන්දම මෙම ගාථාවෙන් හෙළිවේ. ඒ අනුව දතයුතු සියල්ල දැනගත්,
පුරුදු කළ යුතු සියලු ධර්ම පුරුදු කළ, ප්‍රහාණය කළ යුතු සියලු කෙලෙස් දුරු කළ නිසා
තථාගතයන් වහන්සේ “බුද්ධ” නම් වේ. සියලු රාගාදී කෙලෙස් වලින් මිදුණු , පිරිසුදු වු
සිතක් වේ ද, උපත සහ මරණය ප්‍රහීණ කළේ ද, සියලු ලෝකෝත්තර ගුණ දම් ඇත්තේ ද, සියලු
ධර්මයන්ගේ පරතෙරට ගිය එබඳු උත්තමයෝ බුද්ධ නමින් හැඳින්වෙන බව මජ්ක්‍ධිම නිකායේ සේල
සූත්‍රයේ සඳහන් වේ.
ලොව පවතින සියල්ල හේතු – ඵල දහමට අයත් වේ. චතුරාර්ය සත්‍යය තුළ ද අර්ථවත් වන්නේ
නිර්මාණවාදී මැවීමක් නොව හේතුඵල සිද්ධාන්තයයි. දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග යන ආර්ය
සත්‍යය සතර වේ. දුක්ඛ ආර්ය සත්‍යය ඔස්සේ සංසාරගත සහ සමාජගත දුක ප්‍රකාශ වේ. ජාති,
ජරා, ව්‍යාධි මරණාදී ක්‍රම වලින් ‘දුක’ ඉදිරිපත් වේ. දුක සඳහා හේතුවන දෙය දුක්ඛ,
සමුදය, ආර්ය සත්‍යය තුළින් ප්‍රකාශ වේ. දුකට හේතුව තණ්හාව වේ. දුක්ඛ නිරෝධ සත්‍ය
තුළ, තෙවනුව ඉදිරිපත් වන්නේ ‘දුක’ නැති කිරීම නම් වු ‘නිවන’ යි. එය බුදු දහමේ පරම
නිෂ්ටාව වේ. නිවන අවබෝධ කරගත හැකි, ඒකායන මාවත දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදා ආර්ය
සත්‍යයෙන් ප්‍රකාශ වේ. එනම් සම්මා දිට්ඨි (නිවැරදි දැකීම) ආදී ආර්ය අෂ්ටාංගික
මාර්ගය වේ. මෙය බුදු දහමේ සඳහන් මධ්‍යම ප්‍රතිපදාව වේ.
ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරන්නා විසින් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව සම්පූර්ණ
කරනු ලැබේ. කායික සහ වාචික සංවරය සීලය නම් වේ. සිල් දම් පුරන්නා ප්‍රාණඝාත,
අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන කායික දුශ්චරිත වලින් මිදෙයි. බොරුව,කේලම, පරුෂ වචන සහ
හිස්වචන යන වචී දුශ්චරිත වලින් ද මිදෙයි. එවැනි පුද්ගලයාගේ වත් පිළිවෙත් සමුදාය
සීලය ලෙස අර්ථවත් වේ. ඒ නිසා ම සිතේ එකඟකම නම් වූ උත්තම සමාධිය ද අනිත්‍ය,
දුක්ඛ,අනාත්ම වශයෙන් දකින ප්‍රඥා ප්‍රතිලාභය ද සඵල කර ගැනීමට ආර්ය සතර සත්‍ය උපකාරි
වේ.
බෞද්ධ ජනතාවට ශ්‍රද්ධාව පෙරදැරිකරගෙන තිසරණගතව අවම වශයෙන් පංචසීල ප්‍රතිපදාව
සමාදන්වී එයට අනුරූපීව ජීවත්වීම තුළින් පවා බුදුදහමේ වටිනා හර පද්ධතිය ආරක්ෂා කරගත
හැකි ය. බුදුරදුන් සිහිකරන පුද්ගලයාට නිතර කුසල සිතිවිලි පහළ වේ. ඒ නිසා නිතර හෙතෙම
උපේක්ෂා සහගතව හෙවත් මධ්‍යස්ථව සියල්ල විඳ දරා ගැනීමට සමත් වේ. ලාභ, අලාභ, අයස, යස,
නින්දා, ප්‍රශංසා සැප දුක යන අටලෝ දහමෙන් අකම්පිතය තාදි ගුණයෙන් පිරිපුන් අයෙකු ලෙස
සමාජය තුළ ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකස් වූයේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය
ඇසුරු කිරීම නිසාවෙනි. බුදුරදුන් අවබෝධ කරගත් ධර්මය ඉතා ගාම්භීර ධර්මයෙකි.
එහෙත් එම ධර්මය ශාන්ත වේ. ප්‍රණීත වේ. නිපුණ ය. තර්කයට හසු නොවේ. බුද්ධියට විෂයය
වේ. ප්‍රඥාවට හසු වේ. මෙම පණ්ඩිත වේදනීය ධර්මය බුදු මුවින් දේශනා කරද්දී බොහෝ
සත්ත්වයෝ එහි හරය වටහා ගත්හ . මජ්ක්‍ධිම නිකායේ ආර්ය පර්යේෂණ සූත්‍රය වාර්තා කරන
අන්දමට බුදුරදුන්ගේ විශිෂ්ට බුද්ධ ඥානයට පර්යේෂණ ක්‍රම දෙකක් ඉලක්ක විය.
1. ආර්ය පර්යේෂණය 2.අනාර්ය පර්යේෂණය යනුවෙනි.
මෙලොව ජීවත්වන ඇතැමෙක් ජාති (ඉපදීම) ස්වභාව කොට ඇත්තේ, යළි යළිත් ජාති (ඉපදීම ම)
ධර්මය ම සොයමින් වාසය කරයි. ජරා (මහලුබව) ව්‍යාධි (රෝග) මරණ ආදිය ස්වභාව කොට පවත්නේ
ඒවාම සොයමින් ඒ මත්තෙහි ම ඇලී ගැලී වාසය කිරීමට කල්පනා කරයි. එය අනාර්ය පර්යේෂණ නම්
වේ.
සම්බුදු දහම් මඟ තුළ අනාර්ය පර්යේෂණය නිෂ්ප්‍රභ වී ආර්ය පර්යේෂණය ඉස්මතු විය. මෙලොව
ඇතැමෙක් ජරා ධර්ම (මහලුවීම) ස්වභාවකොට ඇත්තේ ඉපදීමේ (ජාති) ආදීනව දැක, යළි ඉපදීමක්
නැති, යළි මරණයක් නොමැති අනුත්තර වු අජර, අමර නිර්වාණ ප්‍රතිපදාව සොයයි ද, එම මාවත
ආර්ය පර්යේෂණ නම් වේ. ලොව මහජනයා ආමිෂ, ප්‍රතිපත්ති පූජාවල නිතරම නිරතව වාසය කරති.
ආමිස පුජාවෝ ලෞකික ඥාන සාධනයට ද ,ප්‍රතිපත්ති පූජාවෝ ලෝකෝත්තර ඥාන සාධනයට ද උපකාරි
වෙති.
ශාසනයේ චිර පැවැත්ම ප්‍රතිපත්ති පූජාව තුළම පරිපූර්ණ වේ. බුද්ධ ශාසනයේ නිරත, වත්
පිළිවෙත් පුරන ගිහි – පැවිදි දෙපිරිස ම ආර්ය ශ්‍රාවක ගණයට අයත් වේ. ධර්මය දන්නා,
ධර්මය පිළිපදින, ත්‍රිපිටක දහම යළි යළිත් ගවේෂණය කරන්නා ආර්ය ශ්‍රාවක නමින්
හැඳින්වේ. මෙම ආරිය ශ්‍රාවක පිරිස ත්‍රිවිධ රත්නය සරණ පරායණව ශාසනික වත් පිළිවෙත්
පුරමින් ශාසනික ප්‍රතිපදාවේ අවංකවම නිරතවෙමින් සංසාරගත දුක්ඛ දෝමනස්සයන් පරාජිත
කිරීමට වෑයම් කරති.
සංසාරය තරණය කළ තථාගත බුදුරදුන් සසර තරණය පිණිස අමා දොර විවර කළ සේක. සියලු පව්
නොකළ යුතුය. කුසලය ප්‍රගුණ කළ යුතුය. තම චිත්ත සන්තානය පිවිතුරුව, පවත්වා ගත යුතුය.
සියලු බුදුවරුන්ගේ ඒකායන පණිවුඩය පිළිගෙන ජාති, කුල මල භේදයෙන් තොර ප්‍රෞඪ වූ
පිරිසක් ලෙස ප්‍රබුද්ධ මනසකින් දිවා – රාත්‍රී විහරණය කිරීමට අධිෂ්ඨාන කර ගත යුතු
ය.
වෙසක් පෝ දින ලක්දිව වෙහෙර විහාරස්ථානවල ළමා ළපටි මෙන්ම වැඩිහිටි උවසු –උවසියෝ
අෂ්ටාංග ශීලය සමාදන්ව දාන සීල භාවනාදි ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිද්ධ කරති. එමගින්
බෞද්ධ ප්‍රබෝධයක් උදාවන අතර දන්සැල් තොරණවලින් ද අපේ හැදියාව බෞද්ධ උරුමය බෞද්ධ
සාහිත්‍යය වඩ වඩාත් ඔපවත් වේ. තොරණ සෞන්දර්ය ලලිත කලාවේ අපූර්වතම නිර්මාණයකි. වෙසක්
පහන් කූඩු, සැදැහැගීත සංදර්ශනාදිය ද බෞද්ධ අනන්‍යතාවය හෙළි කරන ප්‍රබල සාධක වේ.
භික්ෂු, භික්ෂුණී ,උපාසක ,උපාසිකා යන සිව් වණක් පිරිස ශාසනයේ භාරකරුවෝ වෙති.
දම්වැලක පුරුක් සේ මේ සියලු දෙනා ශාසනික පිළිවෙත්වල නිරත වීම අගය කළ යුතු ය. වර්ෂ
දෙදහස් පන්සියය ඉක්ම වු බෞද්ධ ශාසනය ලොව පැරැණිම ආගමික සංස්ථාවලින් එකකි. බෞද්ධ
සාහිත්‍යය සූත්‍ර, විනය, අභිධර්මය යන ත්‍රිපිටකය ඇසුරින් පෝෂණය වී තිබේ. බුදුරදුන්
වදාළ සූත්‍ර ධර්ම ඔස්සේ ඉස්මතු වන දහම් පද බුදුන් වදාළ ධර්මය ශ්‍රවණය කිරීමට ධර්ම
සාකච්ඡා පැවැත්වීමට බෞද්ධ ජනතාව විශේෂ උනන්දුවක් දක්වති.
සම්මා සම්බුදුරදුන් වදාළ ආර්ය මාවත ඉතා පිරිසුදු එකකි. එය මනසට ගෝචර වන දහමකි. අප
විසින් කරන කියන සිතන පතන සියලු දේවලට අපේ සිත, මනස ප්‍රමුඛ වේ. සිත සෑදීමෙන්
මිනිසා සෑදේ. මිනිසා සෑදීමෙන් සාධු ජන සමාජයක් රටට පළාතට ගමට උදාවේ. නව අරහාදී බුදු
ගුණවලටත්, ස්වාක්ඛාතාදී දහම් ගුණ හයටත්, සුපටිපන්නාදී සඟ ගුණ නමයටත්, යන සූවිසි මහ
ගුණයන්ට ගරු කොට ධාර්මික රටක් බිහි කිරීමට ගිහි පැවිදි සියලු දෙනා කැප විය යුතු ය. |