වෙසක් අව අටවක 2018.05.08
දහම් මාවතට යොමුවීම
රටක් චර්යා ධර්මයන්ගෙන් පෝෂණය වූයේ නම්, එහි මහඟු ඵල සමස්ත සමාජයටම ය. ගුණ දහම්
වියැකී ගියේ නම්, අපචාරී දේ සිදු කළේ නම් එහි අමිහිරි ඵල භුක්ති විඳින්නට වන්නේ ද
සමස්ත සමාජයටම ය. වත්මන්හි ඇසෙන, පෙනෙන ඇතැම් සිදුවීම් අනුව සාරධර්ම ගිලිහී ඇතැයි
බොහෝ දෙනා චෝදනා කළ ද, අර්ථ විග්‍රහ කළ ද සාරධර්ම අගයන, සුරකින වැඩි පිරිසක් අපේ
සමාජයේ තවමත් සිටිති. තම දරුවන්ට ජීවත්විය යුතු ආකාරය පිළිබඳ ආදර්ශයක් වන මවුපියවරු
ඕනෑතරම් සිටිති. වැඩිහිටියන් බොහෝ වෙති. එක් උදාහරණයක් පසුගිය දිනයන්හි ඇස ගැටුණි.
මෙවර වෙසක් පුන් පොහෝ දා ගම් නගර භේදයක් නොමැතිව සෑම වෙහෙර විහාරස්ථානයක් ම පාහේ
සුදෝ සුදුවතින් සැරසුණු උපාසක උපාසිකාවන්ගෙන් පිරී ඉතිරී තිබුණි. ඇතැම් පන්සලක සිල්
සමාදන් වන්නට එන උවසු උවැසියන්ට හිඳ ගැනීමට කුඩා ඉඩක් වෙන් කර ගන්නට පවා අපහසුවුණි.
බාල, තරුණ, මහලු භේදයක් නො වුණි. උවසු උවැසියෝ දස දහස් ගණනින් පෙහෙවස් සමාදන්
වෙමින් තථාගත බුදුපියාණන් වහන්සේ ප්‍රතිපත්ති පුජාවෙන් පිදූහ. ඒ තුළ මානසික සංවරය,
සුවය ළඟා කර ගත්හ.
ප්‍රතිපත්ති පිරීම තුළ ඇතිවන්නේ අධ්‍යාත්මික සංවර්ධනය යි. අධ්‍යාත්මික සංවර්ධනය ඇති
පුද්ගලයා ජීවිතය දකින්නේ නුවණිනි. ඒ නුවණ අදාළ පුද්ගලයා තමන්ට හිත පිණිස ද අනුන්ට
හිත පිණිස ද මෙහෙය වන්නේ ය. ලෝභ, ද්වේශ, මෝහ ආදී අකුසල මූලයන්ගෙන් දැඩි ලෙස සිත
වෙළාගන්නට ඉඩ නොදෙන්නේ ය. තරහව, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මාන්නය දුරු කර ගන්නට උත්සාහ
කරන්නේ ය. එතැන දී කෙනෙකුට විනාශ ළඟා කරන්නට අයහපත උදා කරන්නට සිත නොනැමෙන්නේ ය.
වෙසක් පුන් පොහෝ දා වෙහෙර විහාර පුරා ලක්ෂ සංඛ්‍යාත බොදු ජනයා උදෙසා ශීල, භාවනා,
ධර්ම දේශනා, දහම් සාකච්ඡා ආදී විවිධ ආගමික වැඩසටහන් තුළින් සිදු කෙරුණේ ද එවැනි
අධ්‍යාත්මික සංවර්ධන වැඩ පිළිවෙළකි. ඒ සහභාගීත්වය බොදු ජනතාව පමණක් නොව සමස්ත සමාජ
සාමාජිකයන්ගේ ද සතුටට කරුණකි.
දහම් මඟ යන මේ පිරිස් අතරම දුසිල්වතුන් ද යම් ප්‍රමාණයක් වෙති. කිරි කළයට ගොම බිඳක්
මුසු කළා සේ ඒ ස්වල්පයක් වූ පිරිස මුළු මහත් සමාජයක් දුර්ගන්ධවත් කරන්නට, අප
කීර්තිමත් කරන්නට සමත් වෙති. උත්සාහ කළ යුතු ඒ ස්වල්ප පිරිස ද ගුණ දහම් ඇති අය
කිරීම හා අනාගතයට පා නඟන බාල පරපුර දැහැමි මාවතකට යොමු කරවීම ය.
එවැනි සමාජයක් නිර්මාණය කිරීමෙහි ලා ගෞරවනීය භික්ෂූන් වහන්සේ ගෙන යන වෙසෙස් කාර්ය
භාරය අගය කළ යුතුම ය. එහෙත් එය උන්වහන්සේලාට පමණක් කළහැකි කාර්ය භාරයක් ද නොවේ.
පවුලට නායකත්වය දෙන මවුපිය දෙපළට, සිසු දරුවන්ට නායකත්වය දෙන ගුරු මවුපියවරුනට ද
ඇති වගකීම වෙසෙස් ය. කෙනෙකුගේ ජීවිතය ඉහළ පහළ ගෙන යාමට කිසිදු බලවේගයකට නොහැකි ය. ඒ
වගකීම තම තමන්ටම ය. කළ හැකි වන්නේ ඒ මාවත නිවැරැදිව, ග්‍රහණය කරගත හැකිවන ලෙස
පෙන්වා දීම ය.
සිත කලබලකාරීය. නිරන්තරයෙන් චංචලය. ඒ මිනිස් සිතේ හැටි ය. බුදු දහමින් උගන්වන්නේ ඒ
චංචල සිත දමනය කර ගන්නා ආකාරය පිළිබඳව ය. දියුණු කර ගන්නා ආකාරය පිළිබඳවය. අනෙක්
අතින් සිත වෙළා ගන්නා පාපී සිතිවිලි, අයහපත් දේ බැහැර කිරීමට එක් වරක් ගන්නා
උත්සාහය ප්‍රමාණවත් නොවේ. එය පුරුදු පුහුණු කළ යුතු ය.
හොඳ දේ කරන්නට යුහුසුළු විය යුතු ය. යහපත කල් නොහැරිය යුතු ය. ඒ සඳහා වූ මාර්ගය දැන
ගන්නට ධර්ම දේශනා ශ්‍රවණය කිරීම, දහම් පොතපත කියවීම, ධර්ම සාකච්ඡාවන්ට සහභාගි වීම,
ශීල භාවනා වැඩසටහන්වලට සහභාගි වීම කළ යුතු ය. ඒ සඳහා නිසි පෙළඹවීමක් ද අත්‍යවශ්‍ය
ය. ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ. එවිට සුදනන් බොහෝ දෙනා අතර මතුවන
දුදනන් ස්වල්ප පිරිස ද තව දුරටත් අදැහැමි මග නොයා දැහැමි මඟට පැමිණෙනු ඇත. අප
ප්‍රාර්ථනා කළ යුතු එවැනි සැනසුම් සහගත සමාජයකි.
|