UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැය එකලු කළ මහා පහන් ටැඹ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි

දැය එකලු කළ මහා පහන් ටැඹ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි

දහ නව වන සියවසේ දෙවන දශකයේ දී පමණ භෞතික විශ්වයේ ජනිත වූ ප්‍රත්‍යක්ෂ සෘෂිවරයා යැයි සම්මානිත වූ ද, පෙරදිග බුදු දහමේ අසහාය ආචාර්යවරයා යැයි අපරදිග ලෝකයා අතර පවා ජනාදරයට පාත්‍ර වූ ද හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සිහල දැය එකලු කළ මහා පහන්ටැඹ යි. පරිහානිය කරා ගමන් කරමින් තිබුණු ජාතික, අධ්‍යාපනික, ආගමික හා සංස්කෘතික අංශයනට නවමු ප්‍රබෝධයක් එක්කළ උන්වහන්සේ මෙරට වත්මන් ප්‍රබෝධයේ නියමුවාණන් ය.

උන්වහන්සේගේ අපවත් වීමෙන් වර්ෂ 107 ක් සම්පූර්ණ කරන මේ මොහොතේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සිහිපත් කරනුයේ අත්‍යාදර ගෞරවය පෙරදැරි වූ කෘතවේදීත්වයෙනි, උන්වහන්සේගේ 107 වන සංවත්සර මහෝත්සවය අප්‍රේල් මස 29 වන දින විද්‍යෝදය පිරිවෙනේ දී උත්කර්ශවත් ලෙස පැවැත්වූ අතර මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අප කථානායකයාණෝ මොලොව එළිය දුටුවහ. ඒ වර්ෂ 1827 වැන්නේ ජනවාරි මස 20 වන දින හික්කඩුව නම් ගම් පියසේ දී ය. හික්කඩුවේ හෙට්ටිගොඩ ගම්වැසි ජොහැන්ස් අබේගුණවර්ධන රාළහාමි හා දණ්ඩන්ගොඩ ගමගේ ක්‍රිස්තිනාහාමි යන දම්පතී හු මෙම පින්වත් කුමරුගේ දෙමාපියන් වූහ. මෙම කුමරාගේ ගිහි නම වූයේ නිකුලස් අබේවීර ලියනාරච්චි ගුණවර්ධනයි. කෙමෙන් සිව්වන වියට පත් නිකුලස් කුමරු අධ්‍යාපනය හැදෑරීමට කාලය එළඹියේ ය. 1832 වසරේ මැයි මස සුබ දිනයක දී ගමෙහි වූ තිලකාරාම විහාරස්ථානයේ හික්කඩුවේ සෝභිත හිමියන් යටතේ ප්‍රාථමික අධ්‍යාපනයට යොමුවන්නේ ඒ අනුව ය. කල් යත් ම බුදුසසුන කෙරේ තම සිත් නෙත් යොමුවීම නිසා 1840 වර්ෂයේ නොවැම්බර් මස දී ෂඩ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ පාදස්පර්ශය ලත් පින්බිමෙහි තොටගමු විජයබා විහාරස්ථානයේ දී පැවිදි දිවියට එළඹියේ මාබොටුවන රේවත හිමියන් හා මැලෑගොඩ ශ්‍රීනිවාස ගුණරතන යන හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් හික්කඩුවේ ශ්‍රී සුමංගල යන නමිනි. අනතුරුව පැවිදි අධ්‍යාපනය වළානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් ආදී බහුශ්‍රැත මහතෙරවරුන් ඇසුරෙන් ඉතාමත් උත්සාහයෙන් ධෛර්යයෙන් හා කැපවීමෙන් අධ්‍යාපනය හදාළ අතර බුද්ධිය හා සහජ දක්ෂකම නිසා ම ගුරුවරුන් දැක්වූ දෙය සියගුණයෙන් අවබෝධ කරගැනීමට දක්ෂ වූයේ ය. උගතමනා බණ දහමින් සුපිරිපුන් බුද්ධියෙන් හා නිසි වයසින් ද හෙබි සුමංගල තෙරණුවෝ 1848 වන වර්ෂයේ දී මහනුවර මහාවිහාර මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා පදවියට පත්වූහ.

උපසම්පදාවෙන් අනතුරුව තම විහාරස්ථානයට වැඩම කළ උන්වහන්සේ බොහෝ දෙනාගේ අභිවෘද්ධිය හා ධර්මශාස්ත්‍ර විෂයයේ දියුණුව පිණිස ද සිය සිත් නෙත් යොමු කළහ. තම සේවයේ මූලාරම්භය සනිටුහන් කරමින් ප්‍රථම ජාතික සේවාව වශයෙන් 1858 දී පමණ ගාලු පළාතේ පැවැති අන්‍ය ආගමික බලය මැඩීමට ලංකෝපකාර නම් මුද්‍රණාලයක් පිහිටුවා එහි ලංකාලෝක නම් පුවත්පත හා තවත් කුඩා පොත් හා සඟරා මුද්‍රණය කරවා බෙදාහරිමින් බෞද්ධ බලය වර්ධනය කළහ. මෙම සේවාවනට හා උන්වහන්සේගේ විචක්ෂණ බවින් ලක්දිව දරාසිටි කීර්තිසෝභාවත් සිල්වත් කමත් නිසාම උන්වහන්සේ භාග්‍ය සම්පන්න වකවානුවක උදාවීම පමණක්ම නොව සමස්ත සිංහල සංස්කෘතියත්, භාෂාශාස්ත්‍රයත් සිහල දැයත්, සිංහල බෞද්ධයාගේ මෙන්ම සමස්ත බෞද්ධ ලෝකයාගේත් භාග්‍යදායි සමය උදාවීමක් වශයෙන් දැක්වීම නිවැරැදි ය.

මෙම වකවානුව වනවිට නිවැරැදිව සිංහල වාක්‍යයක් ලියාගත නොහැකි ස්වදේශීය පිරිසක් සිටි සමයකි. මෙකල ලක්දිව ශාස්ත්‍රාලෝකය පැතිරවීමට මහත් ආයාසයක් ගත් ජාතිවාත්සල්‍යයෙන් යුතු පිරිසකගේ ඇරැයුම පරිදි හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් 1871 දී ගාල්ලෙන් කොළඹ මාලිගාකන්දට වැඩමකොට ලක්දෙරණත් තත් සංස්කෘතියත් සභ්‍යත්වයෙන්, එකලු කරනුවස් ශ්‍රී සුමංගල නමැති මුදුන් පහනින් යුතු විද්‍යෝදය නමැති ප්‍රදීපස්ථම්භය 1873 වර්ෂයේ දී පිහිටුවාලූහ.

විද්‍යෝදය පිරිවෙන පිහිටුවා ලක්දෙරණ හා ලෝකයම ධර්මශාස්ත්‍රාලෝකයෙන් එකලු කරන සමය වනවිට උන්වහන්සේ අනභිභවනීය විශාරදත්වය හා සාර්වභෞම පාණ්ඩිත්‍යය යන අංගයන්ගෙන් හෙබියව සිටියහ. උන්වහන්සේ ධර්ම විනය කෙරේ අතිශය ගෞරව සම්ප්‍රයුක්තවූවා සේ ම ත්‍රිපිටකය විෂයයෙහි පාරප්‍රාප්ති වූහ. බුදුදහම පමණක් නොව තත්කාලීනව විශ්වව්‍යාප්ත ආගම් වූ ක්‍රිස්තියානි ආදී ආගම් පිළිබඳව ද උන්වහන්සේ පෘථුල දැනීමකින් සන්නද්ධ වූහ. උන්වහන්සේ පරිහරණය කළ ඉංගී‍්‍රසි බයිබලය වර්තමානයේ ද විද්‍යෝදය පිරිවෙන් බිමේ දිස්වේ. මෙමගින් ලද ගැඹුරු ඥානය මගින් විශාරද ගුණය උන්වහන්සේගේ චරිතය සිසාරා දිස්විය. උන්වහන්සේ පාලි, සංස්කෘත, ප්‍රාකෘත, බෙංගාලි, සිංහල, හින්දි ආදී පෙරදිග භාෂා ශාස්ත්‍ර විෂයයේ පමණක් නොව න්‍යාය දර්ශනය, තර්ක ශාස්ත්‍රය, ඡ්‍යොතිෂය, ව්‍යාකරණ සහිත නානා ශාස්ත්‍රයන්හි හා විෂයය ක්ෂේත්‍රයන්හි පාරප්‍රාප්ත වූහ. එබැවින් හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ගේ චරිතය තුළ සාර්වභෞම පාණ්ඩිත්‍යය නිරන්තරයෙන් ම පිළිබිඹු විය. උන්වහන්සේ ජාතික හා ශාසනික සේවය නඟාසිටුවීමට අනුගමනය කළේ සපුරා පැරැණි නොවූ ද, සපුරා අලුත් නොවූ ද ස්වකීය පිළිවෙතකි. ඒ බව විද්‍යෝදය පිරිවෙනේ අධ්‍යාපන පටිපාටියෙන් ම විෂධ වේ. එය සර්වාකාරයෙන් ම සඵලදායී විය. වත්මනෙහි ද එය සාර්ථක ප්‍රතිඵල අත්කර දෙමින් සිටී. එබැවින් උන්වහන්සේ තුළ හා උන්වහන්සේගේ ක්‍රියාදාමය තුළ අර්ථ පූර්ණත්වය, ප්‍රතිභාපූර්ණත්වය නිරන්තරයෙන් දිස් වෙයි. සිය සේවාවන්ට එය ප්‍රධාන වශයෙන් හේතුපාදක වූවාට සැක නැත. මෙම නිසා සුමංගල නාහිමිපාණන් වහන්සේ තත්කාලීනව දේශ දේශාන්තරයන්හි ද ප්‍රචලිත පණ්ඩිත රත්නයක් ව සිටියහ.

තව ද ශ්‍රී සුමංගල නාහිමි වැඩසිටි සමය වාද යුගයක් ලෙස හැඳින්විය හැකි ය. මෙම වාදබිම්හී දී සුමංගල නාහිමි හා විදුදය දැක්වූ අයෝමය බලය නිසා බෞද්ධ ලෝකයාත් ලංකාවත් නිරුපද්‍රිත විය. මෙම යුගයේ සිදුවූ වාද, ආගමික වාද හා ශාස්ත්‍රීය වාද වශයෙන් ප්‍රභේද දෙකක් ලෙස දිස්වේ. මෙම සියල්ලේම ශක්තිය වූයේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේගේ මැදිහත් වීම මත බද්දේගම වාදය, උදම්විට වාදය, ගම්පොළ වාදය, පානදුරා වාදය, ඌරුගොඩවත්තේ වාදය යන පංච මහා වාද සහ අධිමාස වාදය, සව්සත්දම් වාදය, පාරුපන වාදය, නණළල වාදය ආදී වාද විවාද රාශියක් සිදුවිය. මෙම වාදවලදී සුමංගල නාහිමියෝ කථිකයන්ට අවශ්‍ය කරන කරුණු සපයා දෙමින් ඔවුන් උද්යෝගිමත් කළහ. එබැවින් ඉන් ලද ජයග්‍රහණ භාෂාවේ පෝෂණයට, සාහිත්‍යයේ දියුණුවට, අධ්‍යාපනයේ ප්‍රතිෂ්ඨාපනයට සංඝ සමාජයේ හැඩගැසීමට හා ගිහිපැවිදි දෙපාර්ශ්වයේ ම ආගමික ජාතික ශාස්ත්‍රීය උද්යෝගය හා නැඹුරුව ඇති කරලීමට අති සාධනීය පියවර රාශියක් ඉස්මතු කළේ ය. මින් නැගි රාවය ප්‍රතිරාවය ඔස්සේ ලංකා බෞද්ධයන්ගේ මහා ජයග්‍රහණ පිළිබඳ වාර්තා කියවූ විවිධ විදේශික උගත්හු ලක්දිව කරා ගමනාරම්භ කළෝ ය. එසේ පැමිණි අය අතරෙහි කර්නල් ඕල්කට්, ලෙඩ්බීටර්, බෙනට් පෝල්, ඩාල්කේ, බ්ලැට්වැස්කි, මේරි මියුසියස්, හිගින්ස් ආදී විද්වත්හු අග්‍රගණ්‍ය වූහ. කර්නල් ඕල්කට්තුමා සුමංගල නා හිමියන් වෙත පැමිණ බුදුදහම ඉගෙනගෙන ලක්දිව පුරා සැරි සරමින් බෞද්ධයන්ගේ නිදිගැට අරවමින් දේශන පැවැත්විය. පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා එමඟින් බෞද්ධ පාඨශාලා ආරම්භ කරවූහ. කලට ඔබින ඉංගී‍්‍රසියටද නිසි තැන පවරමින් නව උගත් සිංහල බෞද්ධ පරම්පරාවක් තැනීමට ආනන්ද, නාලන්ද, මහින්ද, ධර්මරාජ ආදී විද්‍යාලයන්හි විදේශිකයන් බුද්ධ ධර්මය වැළඳගෙන පෙරදිග රටවලත්, ඇමරිකාව ආදී අපරදිග රටවලත් ධර්මය ප්‍රචාරය කළෝ ය. මෙනිසා තත්කාලීනව බුදුදහම ලොව පුරා ප්‍රචලිත කරවීමට මූලික පියවර ගත්තේ ද හික්කඩුවේ සිරි සුමංගල නාහිමිපාණන් වහන්සේ බව රහසක් නොවේ.

තව ද නූතන ලංකා ඉතිහාසයේ මා හැඟි ජාතික මෙහෙවරක් ඉටුකිරීම සඳහා ස්වදේශීය සාහිත්‍ය කෙරෙහි අවධානය යොමු කළ ලේඛක පරපුරේ සමාරම්භකයන් අතර හික්කඩුවේ සිරි සුමංගල නාහිමිපාණෝ අග්‍රේසරයාණෝ බවට පත්වෙති. එතුමා බ්‍රහ්ම ධර්ම හෙවත් අනුශාසනා සංග්‍රහය, මාසර්තු ලක්ෂණය, වර්ණ රීතිය, මහාවංශ පරිවර්තනය, සිදත් සඟරාසන්නය,බාලාවතාර ටීකාව, සිමාවිභාගය ආදී ග්‍රන්ථ රචනා කළ අතර පුවත්පත් පළ කරමින් හා පළ කරවමින් භාෂා ශාස්ත්‍රයේ දියුණුව, දේශීය අනන්‍යතාවය තහවුරු කරමින් ජාතිය පුබුදු කළ හ. මෙසේ උන්වහන්සේගේ සේවයෙන් දසදෙසම ආලෝකවත් වෙත්ම ශ්‍රී සුමංගල නා හිමි මුළු ලෝකයා අතරම ගෞරව සම්මානයට පාත්‍ර වූහ. බොහෝ තනතුරු පදවි උන්වහන්සේ කරා ළඟාවන්නට විය. ඒ අතර ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ගාලු පළාතේ සංඝනායක පදවිය, කොළඹ නවකෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය, කොළඹ පරමවිඥානාර්ථ සමාගමේ උපප්‍රධාන තනතුර, ඉතාලියේ රාජකීය ආසියාතික සංගමයේ ගෞරව සාමාජිකත්වය යනාදිය ප්‍රධාන ය. එසේම විශිෂ්ට උගතෙකුටම හිමිවන ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය පදවිය ද, ලද අතර මේ ආදී තනතුරු නිසා උන්වහන්සේ නොව උන්වහන්සේ නිසා එකී තනතුරු වැජඹිණී යැයි කීම අනතිශයෝක්තියකි.

විද්‍යෝදය පිරිවෙන පිහිටුවීම තුළින් ජාතික හා අධ්‍යාපනික අතින් සිදුකළේ ඉමහත් සේවයකි. විද්‍යෝදය යනු සිරි සුමංගල නා හිමිගේ සජීවී ප්‍රතිමූර්තිය යැයි කීව ද වරදක් නොවේ. ඉන් සිංහල සංස්කෘතියේ ඉමහත් ප්‍රබෝධයක් ඇති කළේ ය. එසේ ම සුමංගල හිමි යටතේ විද්‍යෝදය පිරිවෙනින් අධ්‍යාපනය හදාළ ජපන්, චීන, සියම්, බුරුම, භාරතීය ආදී නන් දෙසින් පැමිණි විවිධ උගත්හු සැබෑ උගත්හු බවට පත්වූහ. ඔවුන් සිය දේශයන්හි විද්‍යාස්ථාන ආරම්භ කළ අතර නූතනයේ ඒවා විශ්වවිද්‍යාල බවට පත්ව ඇත. වත්මන්හි වුව ද එකී විද්‍යාස්ථානයන්හි හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි නාමය ශ්‍රී ලංකා ද්වීපයේ සිහිපත් කරනු ලබන්නේ අතිශය ගෞරව බහුමානයෙනි. මේ ආදී විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ බලන කල හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් බුද්ධ ධර්මයේ, භාෂා ශාස්ත්‍රයේ සිංහල දේශයේ හා සමස්ත බෞද්ධ ලෝකයා වෙනුවෙනුත් කළ අසමසම සේවය අතිශ්‍රේෂ්ඨ ය. එසේ අචින්ත්‍ය වූ බුද්ධි මහිමයකින් යුතුව ආගමික, ජාතික, සංස්කෘතික, අධ්‍යාපනික වශයෙන් සේවයක් සිදු කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මීට වර්ෂ 107 කට පෙර එනම් 1911 වර්ෂයේ අප්‍රේල් මස 29 වන දින සිහල දැයෙන් සමුගත්හ. සිරි සුමංගල හිමි භෞතික වශයෙන් නැතැත් උන්වහන්සේගේ සේවය නිමි නැත. එකී සේවය විද්‍යෝදය ගුරු කුලය හා තදානුබද්ධ ආයතන මඟින් සමස්ත ලංකාවත් ලෝකය පුරා ව්‍යාප්ත කරනුයේ උන්වහන්සේ පැතූ දේශයේ, සංස්කෘතිය ගොඩනැංවීමේ පරමාර්ථයෙනි.

නාහිමියන්ගේ 107 වන සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් විද්‍යෝදය පිරිවෙන මුල්කරගෙන සැමරෙන මේ මොහොතේ සිහල දැය එකළු කළ මහා පහන් ටැඹ වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

 

  වෙසක් අව අටවක පෝය


 වෙසක් අව අටවක පෝය මැයි මස 07 වන දා සඳුදා අපර භාග 06.27 ට ලබයි. 8 වන දා අඟහරුවාදා අපර භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 08 වන දා අඟහරුවාදා ය.

 

මී ළඟ පෝය මැයි 15 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]