යමක වග්ගය 07-08:
අලසකම විනාශයේ මුල යි
සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක
වේරගොඩ
සාරද නා හිමි
සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි අමත්තඤ්ඤුං
කුසීතං හීනවීරියං
තං වෙ පසහති මාරො
වාතො රුක්ඛං’ව දුබ්බලං
ජීවිතයේ සුභ පක්ෂය
බලමින් නො දමා ඉඳුරන්
පමණ නොදැන භෝජනයෙහි
කුසීත වී බෙල හීනව
විසුවොත් වනසයි මරුවා
සැඬ පවනින් මහ තුරු මෙන්
සේතව්‍ය නුවර අසල වසන සමයෙහි භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා යුග්මය මහා කාල සහ චූල කාල
යන සහෝදරයන් දෙදෙනා අරබයා දේශනා කළහ.
සේතව්‍ය නුවර චූල කාල, මජ්ක්‍ධිම කාල හා මහා කාල නමැති සහෝදරයෝ තුන් දෙනෙක් විසූහ.
වැඩිමලා හා බාලයා වූ මහා කාල හා චූල කාල ගැල් රැගෙන ඈත දුර ප්‍රදේශ වලට ගොස් කරත්ත
පන්සියයක් පුරාම විවිධ වෙළෙඳ භාණ්ඩ රැගෙන එති. මජ්ක්‍ධිම කාල මේවා නිවසේ තබා ගෙන
වෙළෙඳාම් කරයි.
මෙසේ ගිය එක් වතාවක ගැල් පුරා විවිධ වාණිජ භාණ්ඩ පුරවා ගෙන සැවැත් නුවර බලා එන අතර
සැවැත් නුවරත් ජේතවනාරාමයත් අතර කරත්ත මුදා විවේක ගත් හ. එදින සන්ධ්‍යා භාගයෙහි
සැවැත් නුවර වැසියන් මල් දම් හා සුවඳ ද්‍රව්‍ය ඇතැතිව දහම් ඇසීම පිණිස යනු දුටු මහා
කාල ‘ඔබ මේ කොහි ද යන්නේ?’ යි ඔවුන් ගෙන් විමසා බණ අසන්නට යන බව දැන ‘මමත් යන්නෙමි’
යි ඉටා ගත්තේ ය. තම මලණුවන් ඇමතූ හේ ‘මල්ලී කරත්ත ටික බලා ගන්න. මා බණ අහන්නට යනවා’
යි පවසා විහාරස්ථානයට ගොස් බුදුරදුන් වැඳ ධර්ම ශ්‍රවණය පිණිස හිඳ ගත්තේ ය.
භාග්‍යවතුන් වහන්සේ එදින දුක්ඛ සත්‍යය විවරණය කරමින් කාමාස්වාදයෙහි ආදීනව පැහැදිලි
කරමින් කළ ධර්ම දේශනාව ඇසූ මහා කාල සසර කලකිරී පැවිදි විය.
මහා කාල පැවිදි වූ පුවත ඇසූ චූල කාල ද පැවිදි විය. එහෙත් ඔහු පැවිදි වූයේ කෙසේ හෝ
සිය සොහොයුරා ද සමඟ ආපසු ගිහිගෙට ගෙන එන අරමුණෙනි.
සුළු කලකින් ම මූලික ශික්ෂණය නිමැවූ මහා කාල තෙරහු සිය ආචාර්යන් බැහැදැක ‘හිමියනි,
මේ සසුනෙහි ධූර කීයක් ඇත්දැ’යි විමසූහ. විදර්ශනා ධුරය හා ග්‍රන්ථ ධුරය ගැන ඇදුරු
හිමියන් කළ විවරණය ඇසූ මහා කාල හිමියෝ ‘මම ස්වාමීනි, වැඩිවිය පත්ව පැවිදි වූ හෙයින්
ග්‍රන්ථ ධූරයෙහි දියුණුවක් ලබන්නට අසමත් මි. එහෙයින් මම විදර්ශනා ධූරය පුරමි’යි
පවසා භාවනා කර්මස්ථාන ලබා ගෙන සුසාන භූමියට ගොස් භාවනා වැඩූහ.
දිනපතා රැයෙහි ප්‍රථම යාමයෙහි සියල්ලන් නින්දට යත් දී සුසාන භූමියට ගොස් භාවනා
ආරම්භ කරන උන් වහන්සේ අළුයම කිසිවකු පිබිදෙන්නට පෙර ආරාමයට වැඩම කරති.
මෙසමයෙහි එක් තරුණ කාන්තාවක් හදිසියේ ගිලන්ව මිය ගියා ය. මිය ගිය ද ඇයගේ රූ සිරිය
එසේ ම පියකරුව දිස්විණි. හවස් වරුවේ ඇයගේ ඥාතීහු සිරුර දැවීමට අවශ්‍ය දර, තෙල් ආදී
අවශ්‍ය දේ ද රැගෙන ගොස් සිරුර ද සමඟ දවනු වස් සුසාන භූමි පාලිකාවට භාර දුන්හ. සිරුර
දවන්නට සැරසුණු පාලිකාව ඇයගේ ඇඳුම් පැළඳුම් ඉවත් කරන විට සිරුරේ ප්‍රියංකරත්වය දැක
මෙය භාවනා කරන හිමියන්ට සුදුසු අරමුණක් වෙතියි සිතා උන් වහන්සේ වෙත ගොස් ‘ස්වාමීනි,
භාවනාවට සුදුසු අරමුණක් දක්වන්නෙමි’ යි උන් වහන්සේ කැඳවා එය දැක්වී ය. උන් වහන්සේ ද
ගොස් හිස සිට පාදාන්තය දක්වා සිරුරේ රූ සිරි මැනවින් නරඹා ‘මේ රන්වන් සිරුර ආදාහන
කරන විට සිරුරට ගිනිදැල් වැටෙන විට ම මට කථා කරන්නැ’යි පැවැසූහ.
දර සෑය සකස් කර සිරුර ඒ මත තබා තෙල්වත් කොට ගිනි තැබූ පාලිකාව සිරුරට ගිනිදැල්
වැදෙත් ම භාවනායෝගී මහා කාල හිමියන් එහි කැඳවූ හ. සිරුර ගිනිදැල් වලින් වැසෙත් ම
රන්වන් හම, හම ගැසූ එළදෙනෙකුගේ මෙන් වී, අත පය ඇඹරී කැරැකී යන හැටි උන් වහන්සේ බලා
සිටිය හ. මස් පිළිස්සෙමින් ඇට කටු පෑදෙන හැටි නැරඹූ හ. ‘බලන අයට බණ අමතක වන සුරූපී
සිරුරක් ව පැවැති මෙය දැන් දැවී වැනසී යයි’ යි සිතූ තෙරණුවෝ ඒ අරමුණ ම භාවානාවට නඟා
රහත් ඵලය අධිගමනය කළහ.
මේ දිනවල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් පිරිවරා සේතව්‍යා නුවරට වැඩම කළ හ. චූල කාල
ගේ පුරාණ භාර්යාවෝ දැන් අපි අපේ ස්වාමිපුරුෂයා නැවත ලබා ගනිමු’යි සිතා බුදු පාමොක්
මහ සඟනට දානයට ආරාධනා කළ හ. දානයට පෙර සංවිධාන කටයුතු සඳහා උපදෙස් දීමට එක්
හිමිනමක් නිවසට යාමේ සිරිතක් තිබිණි. ඒ සඳහා චූල කාල හිමියෝ පිටව ගියහ . උන් වහන්සේ
නිවසට පැමිණි විට පැරැණි භාර්යාවෝ බලහත්කාරයෙන් සිවුරු ගළවා, ගිහිවත් අන්දවා ගෙදර
රඳවා ගත්හ.
කම් සැපෙහි ආස්වාද ජනක ස්වභාවය ගැන පමණක් සිතමින් ඉන්ද්‍රිය සංවරයෙන් තොරව ආහාරයෙහි
පමණ නො දැන කම්මැළි ව වීර්යය නො වඩමින් වසන තැනැත්තා මරුට පරදින්නේ කුණාටු සුළඟින්
කඩා වැටෙන ගසක් මෙනි.
සුභානුපස්සිං- කාම වස්තූන්ගේ ශුභ පක්ෂය ගැන පමණක් සිතමින්
විහරන්තං - වාසය කරන
ඉන්ද්‍රියෙසු - ඉන්ද්‍රියයන්
අසංවුතං- සංවරයක් නැති
භොජනම්හි-ආහාරයෙහි
අමත්තඤ්ඤුං -පමණ නො දන්නා
කුසීතං -කම්මැළි
හීනවීරියං-වීර්යය නොවඩන
තං -එම පුද්ගලයා
පසහති-අබිබවා සිටියි
මාරො- මාරයා
වාතො-වාතය
දුබ්බලං-දුර්වල
රුක්ඛං ඉව- වෘක්ෂයක්
(කඩා හෙළන්නාක් )මෙනි. |