දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 2018:
ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ සංස්කෘතිය -
4 අභ්‍යාසය
කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ
හිටපු ධර්මාචාර්ය ශාස්ත්‍රපති
පණ්ඩිත
උප්පලවත්තේ
විමලානන්ද හිමි
01. 1. පැරැණි සිංහල සාහිත්‍යයේ වස්තු විෂයය වූයේ කවර කරුණු දැයි නිදසුන් මඟින්
පැහැදිලි කරන්න.
පැරැණි සිංහල සාහිත්‍යයේ වස්තු විෂයය වූයේ බෝධිසත්ත්ව / බුද්ධ චරිතය යි. බුදුදහම
යි. ගුරුළුගෝතමින්ගේ අමාවතුර, පුරිස දම්මසාරථි බුදුගුණය මුල්කොට ලියා ඇත. පූජාවලියට
මුල් වූයේ අරහං බුදුගුණය යි. සද්ධර්මවාද සංග්‍රහයට මුල් වූයේ සත්ථා යන බුදු ගුණය
යි. ජාතක පොතට මුල් වූයේ බෝධිසත්ව චරිත කතා ය. සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය,
බුත්සරණ ආදී කෘතිවලට මුල් වූයේ බෝධිසත්ව චරිත කතා ය. කාව්‍ය සඳහා ද බෞද්ධ කතා මුල්
වී ඇත.
2. ජාතක කතා වස්තු තෝරා ගැනීමට සිංහල පද්‍ය කවීන් ඇදි ගිය ආකාරය අභිමත පද්‍ය කෘතීන්
තිදෙනෙකු මගින් පැහැදිලි කරන්න.
සසදාවතට සස ජාතකය ද, මුවදෙව්දාවතට මඛාදේව ජාතකය ද, කව්සිළුමිණට කුස ජාතකය ද,
කාව්‍ය ශේඛරයට සත්තුභත්ත ජාතකය ද ගුත්තිල ජාතකයට කුස ජාතකයට කුස ජාතකය ද
සඳකිඳුරුදාවට චන්දකින්නර ජාතකය ද ආදී වශයෙන් ජාතක කතා මුල් කොට ගෙන රචිත පද්‍ය
කාව්‍ය තුනක් ගැන විස්තර දැක්වීම ප්‍රමාණවත් ය.
3. සද්ධර්මරත්නාවලියෙහි අරමුණ හා වස්තු විෂයය හඳුන්වා පොදු ජනතාව උදෙසා ලියූ බණ
පොතක් වශයෙන් එහි පවත්නා අගය විමසන්න.
පොදු ජනතාවට දහම් උපදෙස් දෙමින් ඔවුන් පින්කම්හි හැසිර නිවන් සම්පත් ලබා ගැනීම යි.
වස්තු විෂයය - මෙය ධම්මපදට්ඨ කතාවේ කතා වස්තු සඳහා සිංහලෙන් කළ අනුවාදයකි. බුද්ධ
චරිතය හා බෞද්ධ කතා මෙහි ඇතුළත් වේ.
බණ පොතක් වශයෙන් පවත්නා අගය - මෙහි වස්තු විෂයය පොදු ජනතාවට ළං වූවකි. එනම්
බුදුසිරිත හා බෞද්ධ කතා යි. මේ කතා ඇසීමෙන් පොදු ජනතාවගේ ශ්‍රද්ධා භක්තිය වර්ධනය
වේ. දන්පින් සඳහා යොමු වේ. යහගුණ දහම් වර්ධනයට යොමු වේ. දෙව්මිනිස් හා නිවන් සැප
සාදා ගනී.
පොදු ජනතාවට සමීප ගැමිබස්වහර යොදා ගැනීම මෙහි තවත් විශේෂත්වයකි. එනිසා ඔවුන්ගේ
අවබෝධයට පහසුවෙයි. ශ්‍රැතිගෝචර රටාවෙන් ලියා ඇත. ගැමි උපමා භාවිතය මෙහි තවත්
විශේෂත්වයකි. එමගින් කතාවල විස්තර වඩාත් පුළුල් ලෙස පාඨකයාගේ සිත් තුළ තහවුරු වෙයි.
මේ කරුණු ආශි‍්‍රතව විස්තර සැපයීම ප්‍රමාණවත් ය.
02. 1. විවිධ ආගමික වස්තු පාදක කොටගෙන පැරැණි සිංහල ලේඛකයන් රචනා කළ වංශ කතා පිළිබඳ
විමසීමක් කරන්න.
පරාක්‍රම පණ්ඩිතගේ ථූපවංශය - මෙය ලක්දිව ස්තූප නිර්මාණය හා විශේෂයෙන් රුවන්වැලිසෑය
නිර්මාණය ගැන තොරතුරු සපය යි.
විල්ගම්මුල හිමියන්ගේ සිංහල බෝධිවංසය - මෙය ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට වැඩමවීම හා
ඊට අදාළ විස්තර සපය යි.
දෙව්රදදම්පසගිනාවන්ගේ දළදා සිරිත දළදා ඉතිහාසය විස්තර කරයි. දළදා පූජාවලිය මගින්ද
දළදා ඉතිහාසය විස්තර කෙරේ. කකුසඳ හිමියන්ගේ ධාතුවංසය බුදුරදුන්ගේ ධාතු හා විශේෂයෙන්
ලලාට ධාතුව ගැන විස්තර කරයි. වීදාගම හිමියන්ගේ එළුඅත්තනගලු වංසය මගින් සිරිසඟබෝ
රජුගේ චරිත කතාව ඉදිරිපත් කෙරේ.
2. පන්සිය පනස් ජාතක පොත් වහන්සේ සිංහල පාඨකයාගේ සම්භාවනාවට බලපෑ හේතු විමසන්න.
මෙහි ඇතුළත් කතා බෞද්ධ ජනතාවට වඩාත් සමීපය. ඔවුන්ගේ ජීවිතය සම්බන්ධ අත්දැකීම් සමඟ
බැඳී පවතී. සමාජයේ හොඳ පැත්ත මෙන්ම භයානක පැත්ත ද මේ කතා මගින් නිරූපණය කෙරේ.
අවසානයේ දී බෝසත් චරිතය ඉස්මතු කර දැක්වීම ඔවුන්ගේ සිත් ගනී. ශ්‍රද්ධා භක්තිය මතු
කරයි. මෙහි භාෂාව තවත් විශේෂතාවකි. උපමා බහුල පොදුජන ව්‍යවහාරය මෙහි යොදා ගෙන ඇත.
වර්තමාන කතා, අතීත කතා, දහම් කරුණු හා සමෝධානය වශයෙන් කතාවල කොටස් ගළපා තිබීමද පාඨක
සිත් දිනා ගැනීමට හේතු වී ඇත.
3. සිංහලයේ පැරැණි ගී කාව්‍ය ගැන හැඳින්වීමක් කරන්න.
සසඳාවත - සසජාතකය මුල් කොටගෙන ලියා ඇත. කර්තෘ අවිනිශ්චිත යි. පොළොන්නරු යුගයට අයත්
ය.
මුවදෙව්දාව - මඛාදේව ජාතකය මුල් කොට ලියැවී ඇත. කර්තෘ අවිනිශ්චිතයි. මෙයද පොළොන්නරු
යුගයට අයත් ය.
කව්සිළුමිණ - මෙයට මුල් වූයේ කුස ජාතකය යි. දඹදෙණි යුගයේ රචිත වූවක් සේ සැලකේ.
කතුවරයා දඹදෙණි පැරකුම්බාවන් ලෙස විශ්වාස කෙරේ. |