පෙර අකුසලයකින් වන අනතුර සුගතියට බාධාවක් ද ?
අතුරුගිරිය සදහම් පදනමේ
අනුශාසක
ගලිගමුවේ ඤාණදීප හිමි
"රෝගියාගේ සිහි කල්පනාව නොමැති වුව ද සිතිවිලි පරම්පරාව නැති වී නොමැත. මනසේ
සිතිවිලි පරම්පරාව නොසිඳී තිබෙන්නෙකි. එය පිරිනිවන්පාන මොහොත දක්වා ම සිතත් සමඟම
සිතිවිලි පරම්පරාව නොනැවතී දිගින් දිගට ම බැඳී පවතී. යම් මොහොතක රෝගියා ස්වයංක්‍රීය
මැෂිමෙන් ඉවත් කිරීමේ දී පිනට අනුව මතුවූ කුසල සිතිවිල්ලකට අනුව දිව්‍ය තලයක
උපත ලබයි. "
සෝතානුදත සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ තෙවන පින්වතා මනු ලොව හොඳින්
ධර්මය අසන ලද, ධර්මය ශ්‍රවණය කළ , ධර්මය ප්‍රගුණ කළ අයෙකි. ඔහු සුතා, දතා, වචසා
පරිචිතා, මනසානු පෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා වැඩූ පින්වතෙකි. මනු ලොව ධර්මය
වඩමින් කාලයක් ගත වෙද්දී ඒ පුද්ගලයා ද පෙර සේ ම අනතුරකින් හෝ සිහි මුළාව මිය යා
හැකි යි. ඇතැම් විට කෝමා වැනි රෝගී තත්ත්වයකින් කෙනෙක් නොමැරී සිටිය ද, දෙනෙත් විවර
නොකර සිටියි. ඇතැම් විට කනට කර කතා කළ ද කිසිදු ප්‍රතිචාරයක් නො දක්වයි. එවිට
යමෙකුට, ඒ පුද්ගලයා කළ පින්කම් ගැන ආවර්ජනය කරන්නට අසීරු වෙයි. ඒ රෝගී පුද්ගලයාට
තේරෙන දසුනක් ද නොවෙයි. ඔහු නොමැරී සිටිය ද ඇතැම් විට ස්වයංක්‍රීය මැෂිමක් ආධාරයෙන්
ජීවත් වෙයි. කාලයක් යද්දී මේ රෝගියාගේ මොළය මිය ගොස් ඇති බැවින් ස්වයංක්‍රීය මැෂිම
ගලවන්නට සිදු වන බවට වෛද්‍යවරු අනතුරු අඟවති. ඇතැම් විට දරුවන්ට පවා අකැමැත්තෙන්
වුව ද මේ සඳහා කැමැති වන්නට සිදු වේවි.
මෙලෙස රෝගියාගේ සිහි කල්පනාව නොමැති වුව ද සිතිවිලි පරම්පරාව නැති වී නොමැත. මනසේ
සිතිවිලි පරම්පරාව නොසිඳී තිබෙන්නෙකි. එය පිරිනිවන් පාන මොහොත දක්වා ම සිතත් සමඟම
සිතිවිලි පරම්පරාව නොනැවතී දිගින් දිගට ම බැඳී පවතී. යම් මොහොතක රෝගියා ස්වංක්‍රීය
මැෂිමෙන් ඉවත් කිරීමේ දී පිනට අනුව මතුවූ කුසල සිතිවිල්ලකට අනුව දිව්‍ය තලයක උපත
ලබයි.
බුදුන් වහන්සේ පෙන්වා වදාළ, සෝතානුදත සූත්‍රයට අනුව තෙවන පින්වතා ද පළමු, සහ දෙවන
පින්වතුන් සේ ම අන්‍යතර දේව නිකායක උපත ලබයි. ඔහු මනු ලොව දී හොඳින් ධර්මය අසන,
පින් දහම් කරන පින්වතෙකි.
පළමු පින්වතාට තම මතකය අවධි වූයේ කාලයක් ගත වීමෙනි. දෙවැන්නාට දෙවියන් ධර්ම සාකච්ඡා
කරන දසුනෙන් තම මතකය අවධි වෙයි. තෙවන පුද්ගලයා ට ඍද්ධි බල සම්පන්න මහ රහතන්
වහන්සේලා දෙව් ලොවට වැඩම කර දේශනා කරන ධර්මය අසන්නට ලැබෙයි.
බුදුරදුන් වැඩ සිටි කාලයේ මුගලන් මහ රහතන් වහන්සේ නිබඳව ම දෙව් ලොවට වැඩම කර
දෙවියන්ට ධර්මය දේශනා කළ සේක. එවිට බොහෝ දෙවිවරු එකතුවී ඒ ධර්මය ශ්‍රවණය කළහ. මෙලෙස
රහතන් වහන්සේලා, දෙවියන්ට බණ දේශනා කරනවා ඇසෙති. දෙවිවරු මෙපමණ එකතුවී, කුමක්
අසනවාදැ’යි සිතා, තෙවන පින්වතාට ද බණ ඇසෙන්නට ලැබෙයි. බණ ඇසෙන ආකාරය පෙර ලිපියේ
උපමාව සේ ‘බෙර හඬ හඳුනා ගත්තා’ වැනි ය. ඒ උපමාවෙන් බුදුරදුන් පෙන්වා වදාළේ,
‘මහණෙනි, කැළයේ අතරමංව සිටි කෙනෙකුට ඈතින් හක් පිඹිණ හඬ ඇසෙන විට නුදුරු ගම්මානයක්
ඇති බව හැඟී යයි. තමන්ට රැකවරණයක් ඇතැ’යි සිතමින් ඒ ඔස්සේ ගමන් කරයි. එසේ ම රහතන්
වහන්සේ දේශනා කරන ධර්මය ඇසෙන විට ම , මනු ලොව ධර්මය වැඩූ පින්වතාගේ මතකය බලවත් ව,
මේ පවසන දේ දන්නා බව හැඟී යයි. පෙර සසරේ මෙවැනි පින්කම් මා පුරුදු පුහුණු කළා නේද?,
කාලයක් මේ බණ භාවනා වැඩුවා නේද? , මේ දේ මා දන්නවා නේද? යනුවෙන් මනු ලොව ඇසුණු ධර්ම
කාරණා දෙව් ලොව බණ ඇසෙන විට ම මතකයට නැඟී යයි. මෙලෙස තෙවන පින්වතා ද ධර්මය කරා යයි.
මොහු කාමයන්ට මුසු නොවී, අපායට නොගොස් ධර්ම මාර්ගය වෙත ම ගමන් කරයි.
හතරවන පුද්ගලයා ගැන ද බුදුරජාණන් වහන්සේ මෙලෙස පෙන්වා වදාළ සේක. මහණෙනි, මොහු ද පෙර
තිදෙනා සේ ම ධර්ම මාර්ගය පුරුදු පුහුණු කළ පින් දහම් කළ අයෙකි. යම් හේතුවකින් පෙර
පුද්ගලයන් සේ ම මේ පුද්ගලයා ද සිහි මුළාව මිය ගියේ නම්, කළ පින නිසා ම අන්‍යතර දේව
නිකායක උපත ලබයි. නමුත්, මොහුට පෙර තිදෙනා සේ කිසිවක් නො සිතෙයි. පෙර මතකය නො
නැඟෙයි. දෙවියන් අතර ධර්ම සාකච්ඡා කරන හඬ නො ඇසෙ යි. රහතන් වහන්සේලා ධර්ම දේශනා කරන
හඬ අසන්නට නො ලැබෙ යි. නමුත් හතරවැනි පුද්ගලයා දෙව්ලොව කාමයන්ට මුසපත් ව සතුටෙන්
දිවි ගෙවයි. එවිට බුදුන් වහන්සේ වදාළේ, ‘මහණෙනි, තමා සමඟ එකට සසරේ පින් දහම් කළ ,
තමන්ට පෙර මිය පරලොව ගොස් දෙව් ලොව උපත ලැබූ කල්‍යාණ මිත්‍ර දෙවිවරු වාසය කරති. ඒ
අය, අපත් සමඟ පින් දහම් කළ කල්‍යාණ මිත්‍රයන් කොහේදැ’යි, නිබඳව ම විමසා බලයි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |