UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සියලු දෙනාටම පොදු ධර්මතාවය

සියලු දෙනාටම පොදු ධර්මතාවය

එක භවයක් පිළිබඳ ජීවිතේන්ද්‍රිය පරම්පරාව සිඳීයාම මරණය නම් වේ. එය සියලු සත්ත්ව සංහතියටම පොදු ධර්මතාවයකි. එය කීප ආකාරයකින් සිදුවිය හැකි ය. ඒ ඒකාලයන් හි ජීවත්විය හැකි ආයු පරිච්ඡේදය සිඳීයාමෙන් පැමිණෙන මරණය ‘ආයුක්ඛය මරණය’ නම් වේ. දුර්වල කර්මයකින් ඉපදීම නිසා ආයුෂ තව ඉතිරිව තිබිය දී එම කර්මය විපාකය ක්ෂය වීමෙන් සිදුවන්නා වූ මරණය ‘කම්මක්ඛය මරණය’ නම් වේ. ඒ ආයුෂයත් ප්‍රතිසන්ධි ජනක කර්ම ශක්තියත් යන දෙකම අවසන්වීමෙන් සිදුවන්නා වූ මරණය ‘උභයක්ඛය මරණය’ නම් වේ. ඒ ආයුෂයත් ප්‍රතිසන්ධි ජනක කර්ම ශක්තියත් යන දෙකම ඉතිරිව තිබිය දී හදිසියේ රෝගාබාධා දී නොයෙක් හේතූන් නිසා සිදුවන්නා වූ මරණය ‘උපච්ඡේදක මරණය’ නම් වේ.

මෙකී සිවු ආකාරයන් අතුරෙන් කවරාකාරයකින් හෝ යම් දිනක මරණය සිදුවීම නොවැළැක්විය හැකි ය. උඩ දැමූ යමක් නිසැකයෙන් බිම වැටෙන්නාක් මෙන් උපන්නොත් මරණයට පත්වීම ද ඒකාන්තය. මරණයට ප්‍රධාන හේතුව ‘ජාතත්තමේවඛලු කාරණමේව‘ යැයි දක්වා ඇති පරිදි ඉපදීම මැයි. එහෙයින් මරණය ස්ථිරයි ජීවිතය අස්ථිරයි. මරණය කවර මොහොතෙක් හි එළැඹේදැයි කිව හැක්කක් නොවේ. සුළඟ හමන තැනෙක් හි දල්වන ලද පහන නිවෙන්නේ මොන මොහොතේ දැයි කිව නොහැක්කා සේම මරණයට පැමිණෙන මොහොත අසවල් මොහොතේ යැයි කල්තබා නියම කොට පැවසිය නොහැකිය. අහසෙහි නැගී වළාකුළක් ගමන් කරන්නාක් මෙන් සත්වයෙක් මවු කුස පිළිසිඳගත් මොහොතේ සිටම මරණයට මූණලා ගමන් කරන්නේ ය. හිර උදා වූ ඇසිල්ලෙහි සිටම අස්තයට ළංවන්නාක් මෙන් සත්වයා උපන් ඇසිල්ලෙහි සිටම මොහොතින් මොහොත මරණයට ළංවන්නේ ය.

එක් අතකින් සත්වයෙකු ජීවත් වෙනවා යයි කීම මරණය කරා දිවයාම යයි ප්‍රකාශ කළොත් එය නිවැරැදිය. මරණය සිහි කිරීමේදී ද අනෙක් භාවනාවන්හි දී මෙන් ම විවේක සේනාසනයෙක් හි හිඳ “මරණං භවිස්සති ජීවිතින්ද්‍රියං උපච්ඡිස්සති” මරණය සිදුවන්නේ ය ජීවිතේන්ද්‍රිය සිඳී යන්නේය කියා හෝ “මරණං මරණං” යනුවෙන් මරණය කියා හෝ භාවනා කළ යුතු ය. මරණානුස්මෘති භාවනාවෙ හි යම් කෙනෙක් යෙදෙත් නම් ඔහුට ඒ භාවනාව මෙලොව පරලොව නිවන් යන ත්‍රිවර්ග සම්පත ම ලැබ ගැනුමට ඉවහල් වන්නේ ය. මරණානුස්මෘතියෙහි යෙදෙන තැනැත්තා කාලයෙන් නිසි ප්‍රයෝජන ගැනුමට සමත් වන්නේ ය. මැරෙනවා දැයි කිව නොහැකි බව සිහි කරමින් මොන මොන වැඩ කළයුතු දැයි සිතාමතා අප්‍රමාදශීලීව ක්‍රියා කරන්නේ ය. මෙලොව වශයෙන් කළමනා යම්තාක් යුතුකම් හා පින්කම් තිබේ නම් ඒ සියල්ල කල් නොතබා ඒ ඒ මොහොතේම කිරීමට උනන්දු වන්නේ ය. කාලයෙන් වැඩ නොගෙන එක මොහොතක්වත් නාස්ති නොකරන්නේ ය. කාලය නාස්ති වී ගියොත් මහ අපරාධයක් ලෙස සලකා ඉඩ ලද හැම මොහොතක් ම අභ්‍යන්තර දියුණුව හා පාරිශුද්ධිය සැලසෙන සේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් හි නිරත වන්නේ ය. එසේම පි‍්‍රය මනාප මාපිය අඹුදරු ආදී ඥාතීන්ගේ සහ හිතමිතුරන්ගේ මරණවලින් නොසැලී සිටීමට ද සමත් වන්නේ ය. මා නිතර සිහි කළා වූ මරණය මගේ මවට, පියාට සිදුවිය. මෙය වළකාලිය නොහැකි ය. මම ද කවදා හෝ මෙම පොදු ධර්මතාවය වූ මරණයට පත්වන්නේ ය. අනුන් මැරෙනවා දැකීමෙන් මරණය සිහිකිරීමෙන් අප්‍රමාදශීලීව යහපත්ව කටයුතු කිරීමෙන් ත්‍රිවර්ග සම්පත්තියම ඔහුට ලබා ගැනීමට හැකිවන්නේ ය.

 

 දුරුතු පුර පසළොස්වක පෝය 


 දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 1 වනදා සඳුදා ය.

 

මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]