UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හිතින් හදාගත් ලෝකයක අතරමං වනවා ද?

හිතින් හදාගත් ලෝකයක අතරමං වනවා ද?

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

චිත්තෙන නීයති ලොකො
චිත්තෙන පරිකස්සති
චිත්තස්ස එක ධම්මස්ස
සබ්බෙව වසමන්වගු

පින්වත්නි

ඔබගේ ධර්මාවබෝධය සඳහා අද මාතෘකා කළ මේ ගාථාව සංයුත්ත නිකායේ චිත්ත සූත්‍රයේ එන ගාථා ධර්මයක්. දිනක් එක් දේවතාවියක් බුදුරජාණන් වහන්සේගෙන් මෙබඳු ප්‍රශ්නයක් ඇසුවා ය.

“කෙනස්සු නියතී ලොකො – කෙනස්සු පරිකස්සති, කිස්සස්ස එක ධම්මස්ස, සබ්බෙව වසමන්වගු “ලෝකය කුමකින් පමණුවනු ලැබේ ද? කුමකින් එහා මෙහා අදී ද? සියල්ලෝ ම කවර වූ එක් ධර්මයක වසඟයට ගියාහු ද?

මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන තථාගතයන් වහන්සේ ඉහත ගාථාව ප්‍රකාශ කරමින් , සිත විසින්ම ලෝකය පමුණුවනු ලැබේ. සිත විසින් ම එහා මෙහා අදිනු ලැබේ. සියල්ලෝම සිත නමැති එකම ධර්මයාගේ වසඟයට ගියාහු ය. යනුවෙන් පිළිතුරු දී ඇත.

බාහිර ලෝක පිළිබඳව සිත ක්‍රියාත්මක වන ආකාරය මේ ගාථාවෙන් පෙන්වයි. ලෝකයේ පවතින සෑම දෙයක්ම සිතට යටත්ව පවතී. ලෝකයේ ඇති දේ හඳුන්වා දෙන්නේ සිතින් ය. ඒ ඒ වස්තූන් හා සම්බන්ධ වටිනාකම් පිළිබඳව එහාට මෙහාට අප ගෙන යනු ලබන්නේ ද සිත විසිනි. මින් කියැවෙන කරුණු දෙකකි. අප බාහිර ලෝකයට සම්බන්ධ වන්නේ කරුණු දෙකකිනි. එනම් නාම සහ ඇගයුම් යන කරුණු දෙක මත ය. නාමය සම්මුතියකි. වස්තුවක් තවත් වස්තුවකින් වෙන් කර ගැනීමට නාම භාවිතය ප්‍රයෝජනවත් වේ. ගස, මිනිසා, පුටුව, බල්ලා,පූසා ආදි ඒ ඒ වස්තුන් හඳුනා ගැනීමට අන්වර්ථ සහ ආරූඪ නාම යොදාගනු ලබයි. එසේම ඒ ඒ වස්තූන් සඳහා යම් ඇගයුමක් ලබාදෙනු ලබයි. ලස්සන, කැත, කෙට්ටු, මහත ආදි වටිනාකම් ලබාදෙයි. මේ ලෝකය සංකල්ප ලෝකයකි. මේ දෙකම සිතින් නිර්මාණය කරන ප්‍රමාණයන් ය. මේ නිසා සිතට වසඟ වී කටයුතු කිරීමට සිදු වී ඇත. සිත කැමති දේ බැලීමට, ඇසීමට, විඳීමට සිත බල කරයි. අණ කරයි.

සිතේ සංකල්ප ගොඩනැඟෙන්නේ ඒ ඒ දෙය පිළිබඳව ගොඩනගාගත් වටිනාකම් හේතුවෙනි. එය පවතින සත්‍යයක් නොවේ. කෙනෙකු ලස්සන ලෙසට කෙනෙකු දකින්නේ තමා හෝ සමාජය දුන් වටිනාකමක් නිසා ය. එය සැබෑ තත්ත්වයක් නොවේ. ඕනෑම වස්තුවකට ලස්සන හෝ කැත හෝ කියා ස්වභාවයක් නැත. එහි ඇත්තේ එයට අයත් ස්වභාවයයි. එය ද වෙනස්වන ස්වභාවයකි. ලස්සන සහ අවලස්සන සිතේ නිර්මාණයන් ය. එය සංකල්පයකි. මේ වටිනාකම් සහිත සංකල්ප හොඳ, නරක, රසවත්, නීරස ආදි අන්ත දෙකකට අදිනු ලබයි. මෙලෙසින් සිත් සකස් කරනු ලබයි. සිත කැමති දේ මෙන් ම අකැමැති දේ ද ඇත. යමක් කැමැත්තෙන් අල්ලා ගන්නවා යනු එයට ප්‍රතිවිරුද්ධ දේ ට විරුද්ධ වීමයි. එය ද අල්ලා ගැනීමකි. මේ සියල්ල කරනු ලබන්නේ සිත විසිනි. සිතින් හදන මේ ලෝකය උපාදානස්කන්ධ ලෝකයයි. සියලු අරමුණු රූපයි. ඒ තුළින් ඇතිවන විඳීම්, හැඳිනීම්, චේතනාත්මක ක්‍රියා සහ විඤ්ඤාණය, මමය මාගේය අදහසින් අල්ලා ගැනීම උපාදානස්කන්ධයයි. මම කියල කෙනෙකු මේ අත්දැකීම භුක්ති විඳිනවා යන හැඟීම බිහිවේ. මෙය ද හිතින් හදාගත් දෙයකි. එහෙත් මෙය නො දන්නා සත්වයෝ මම යන හැඟීම තහවුරු කරමින් සිටිති.

මේ සංසාරයේ කාම, රූප, අරූප යනුවෙන් භව පැවතුම් තුනක් හමුවේ. මේ භව තුනම නිර්මාණය වන්නේ සිත මුල් කොටගෙන ය. පංචකාම ගුණ ඇති සිත් මවන අය කාම ලෝකයේ උපදී.රූපාවචර සමාපත්ති පුහුණු පිරිස රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ද අරූපාවචර සමාපත්ති පුහුණු කළ අය අරූපී බ්‍රහ්ම ලෝකයේ ද උපදී. මෙසේ සිත ම භවය සකසයි. නින්දේ දී අප සිටින බවක් නොතේරේ. අවදි වීමෙන් පසුව සිත වැඩ කරයි. ඇසීම, දැකීම, විඳීම ඇතුළත් සිතිවිලි එවිට පහළ වේ. එවිට සිතින් ලෝකය පමුණුවයි. එවිට සිතින් උපාදානස්කන්ධ ලෝකයට ඇදගෙන යයි. එසේ නම් අප බැඳෙන්නේ අපේම සංකල්පනා ලෝකයට බව හොඳින් තේරුම් ගත යුතුව ඇත.

අප සංකල්ප ලෝකයට බැඳී ඇති බව තේරුම් ගැනීමට බොහෝ දෙනාට අපහසු ය. උදාහරණයක් ලෙසට ලස්සන රූපයක් දකින විට, දැනෙන්නේ ඒ රූපයට අප ඇලුම්කරන්නේ ය යන්නයි. එහෙත් එය එසේ නොවේ. අප බැඳෙන්නේ සංකල්පනාවටයි. ලස්සන යන වටිනාකම දෙන්නේ සිත විසිනි.

“සංකප්ප රාගො පුරිසස්ස කාමො, නතෙ කාමා යානි චිත්‍රානි ලොකෙ” යනුවෙන් නිබ්බෙධිකපරියාය සූත්‍රයේ පැහැදිලි කරන ලද්දේ ලෝකයේ යම් විසිතුරු අරමුණුූ වෙත් ද ඒවා කාම නොවේ. පුද්ගලයා ගේ කාමය යනු සංකල්පනා රාග යයි. මෙසේ ඇලීම වන්නේ බාහිර ලෝකයේ වස්තුවට නොව සිතින් දෙන ඇගයුමට ය. “තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලෝකේ” ලෝකයේ විසිතුරු වස්තුන් එලෙස ම පවතී. ඉන් අදහස් වන්නේ බාහිර ලෝකයේ වස්තුන් තමා ගේ ආකාරය මත ස්වභාවය මත එය පවතින බවයි. එය හොඳ ද, නරකද, ලස්සන ද යන්න එහි නැත. එහි ඇත්තේ වස්තු පැවැත්මක් පමණි. මෙය නොදත් සත්වයෝ එම වස්තුව පිළිබඳව සංකල්ප මවමින් සිතේ වසඟයට ගිය අය වෙති. එම සිත පුද්ගලයා භවයට පමුණුවයි. බුද්ධ කාලයේ භික්ෂූන් අතර ප්‍රශ්නයක් ඇතිවිය. බැඳීමයි , බැඳෙන දෙය දෙකක් ද එකක් ද යන්නයි. චිත්ත ගෘහපතියා මෙය තෝරා දී ඇත. එය නම්, එක රැහැනකින් සුදු ගවයෙකු සහ කළු ගවයෙකු ගැටගසා ඇත. සුදු ගවයා කළු ගවයාට බැඳිල ද නැතිනම්’ කළු ගවයා සුදුගවයාට බැඳිලද යනුවෙන් ඔහු භික්ෂූන්ගෙන් ප්‍රශ්න කර ඇත. සුදු ගවයා කළු ගවයාට බැඳිලත් නැහැ. කළු ගවයා සුදු ගවයාට බැඳිලත් නැහැ. බැඳී තියෙන්නේ රැහැනින් යන්න භික්ෂූන්ගේ පිළිතුර විය. එසේ ඇස, කන, නාසය, දිව , ශරීරය , මනස යන ඉන්ද්‍රියයන් සහ රූප ශබ්ද , ගන්ධ,රස,ස්පර්ශ ධර්ම යන අරමුණු ඔවුනොවුන් බැඳෙන්නේ නැත. මේ දෙක ප්‍රත්‍ය කර ගනිමින් යම් කැමැත්තක් රාගයක් ඇති වේද? එය ම බැඳීම බව පවසා ඇත. “තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තස්ස සංයෝජනං”

වරක් කොසොල් රජතුමා සහ තවත් රජවරු පස් දෙනෙක් අතර වාදයක් ඇති විය. පංචකාම ගුණයන්ගෙන් උසස්ම කාමය කුමක් ද කියා. එහි දී එක් එක් රජවරු තමාගේ දැනීමෙන් රූපය ,ශබ්දය, ගන්ධය, රසය ,ස්පර්ශය ,අග්‍ර කාමය බව පවසා ඇත.“තීරණයකට ඒමට අපහසු වී එම රජවරු බුදුරජාණන් වහන්සේගෙන් විමසන ලදී. උන්වහන්සේගේ පිළිතුර වී ඇත්තේ ඒ සෑම පිළිතුරක් ම නිවැරැදි බවයි. පංචකාම ගුණයන්ගේ උසස් අග්‍ර කාමය තීරණය වන්නේ ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත මත බව උන්වහන්සේගේ පිළිතුර විය.”මනාප පරියන්තං ඛො මහරාජ පංචසු කාමගුණෙසු අග්ගං “මහරජ පංචකාම ගුණයන්හි අග්‍ර කාමය කැමැත්ත කෙළවර කොට ඇත. හොඳයි, සැපයි, යනුවෙන් යමකට බැඳෙන්නේ තම සිතේ ඇති වන කැමැත්ත නිසාවෙන් බව මේ අනුව පෙනී යයි. ඉන්ද්‍රිය අරමුණු ගැටීමත් සමඟ අරමුණු දැන ගැනීමත්, ස්පර්ශයත් විඳීමත් හඳුනා ගැනීමත් සිතිවිලි ඇතිවීමත් ඒ තුළ ඡන්දරාගය පහළ වීමත් සිදුවේ. සුඛ වේදනාවේ දී ඇලීමත්, දුක්ඛ වේදනාවේ දී ගැටීමත් සිදුවේ. ඒ දෙකම තණ්හාව ම වේ.

මේ සංසාරයේ භව පැවැත්ම නිර්මාණය වන්නේ ඉන්ද්‍රිය අත්දැකීම් ක්‍රියාවලියක් ලෙසට ය. සංකල්ප රාගය සහිත උපාදානස්කන්ධය පවතින තුරු අපට සිතට වසඟ ව සිටීමට සිදුවේ. මේ උපාදානස්කන්ධ ලෝකය සිත විසින් ම පැවැත්මකට පමුණුවයි. සිත විසින් ම එය එහා මෙහා ඇද ගෙන යයි. මෙය සංසාර දුක සමඟ සිතන විට සුවදායක නැත. මේ නිසා සංකල්ප මැවීම, උපාදානස්කන්ධ සිතිවිලි හැදීමෙන් මිදිය යුතුව ඇත. එවිට භව දුක නැති කළ හැකි ය.

සංකල්පීය සිතිවිලි මැවීම නතර කිරීම අනුක්‍රමික ශික්ෂණයක් ඔස්සේ කළ යුතුව ඇත. සත්පුරුෂ ආශ්‍රය ( සප්පුරිසසං සෙවො) පළමු පියවරයි. නිවන් මග දන්නා උතුමන්ගේ ඇසුර මේ සඳහා අවශ්‍ය වේ. භව දුක නැති කරන මාර්ගය දන්නේ ආර්ය උතුමන් ය. උන්වහන්සේලා ගේ ධර්මයට සවන්දීම මේ සඳහා දෙවනුව වැදගත් වේ. (සද්ධම්ම සවනං) ඉන් පසුව ධර්මානුධර්ම ප්‍රතිපදාවේ නියැලිය යුතු ය. (ධම්මානුධම්ම පටිපත්ති) දේශනා පාලියෙහි ධර්මානුධර්ම ප්‍රතිපදාව විවිධාර්ථයෙන් විස්තර වී ඇත. එහි සරල ප්‍රතිපදාව දාන, සීල,භාවනා යන තුන් පුණ්‍ය ක්‍රියාවන්ගෙන් විස්තර කළ හැකි ය. මසුරු මල බැහැර කිරීමට අත්හරින දේ පිළිබද ආශාවක් නැතිවීමට, පිරිසුදු අත් ඇතිව, තම සන්තක දේ දීමට ආශාව ඇති කිරීමට, කෙනෙකු යමක් ඉල්ලීමට පොළඹවන ස්වභාවය ඇති කර ගැනීම සඳහා දානය ප්‍රගුණ කළ යුතුව ඇත. දානය වත්ථුකාමය හීන කිරීමට සමත් වේ. මමත්වයෙන් වස්තු එකතු කර ගැනීමේ ඕනෑකම එක්තරා දුරකට පාලනය කරයි. සීලය ඉන්ද්‍රිය පාලනය ඇති කරයි. අසංවරකම හැමවිටම සංකල්ප මැවීමට උපකාර කෙරේ. කය සංවර කරගැනීමත් වචනය සංවර කර ගැනීමත් යන විරති ශීලය සංකල්ප මැවීම ද පාලනය කරයි. එය සංවරයෙන් ඇතිවන අතුරු ඵලයකි.

භාවනාව සංකල්ප රාගය නැති කරන ඍජු ප්‍රතිපදාවයි. මිනිස් මනස තුළ සංකල්ප රාග ඇති වන්නේ අයොනිසොමනසිකාරය නිසා ය. එනම් නුවණින් කල්පනා නො කිරීම නිසා ය. සිත පුරුද්දට යටත් වන ධාතුවකි. නොපුහුණූ සිත සාංසාරික පුරුදු සමඟ ආසක්ත වේ. එවිට පුරුද්දට දකියි. පුරුද්දට අසයි. පුරුද්දට විඳියි. සංකල්පීය නාම සහ වටිනාකම් ආදේශ කරමින් උපාදානස්කන්ධ ලෝකය නිර්මාණය කරයි. මේ නිසා යොනිසොමනසිකාරය ඒ සඳහා අවශ්‍ය වේ. ඉන්ද්‍රිය අරමුණු ගන්නා ආකාරයත් එයින් චිත්තසංස්කාර ඇතිවන ආකාරය දැකීමට නුවණින් දැකීම පුරුදු කළ යුතුවේ.

අංගුත්තර නිකායෙහි රහත් වීමට හැකි මාර්ග හතරක් දක්වයි.

මුලින් සමථ භාවනාව කර පසුව විදර්ශනා භාවනාව සිදුකිරීම ( සමථ පුබ්බංමං විපස්සනා භාවෙති)

මුලින් විදර්ශනා භාවනාව කර පසුව සමථ භාවනාව කිරීම (විපස්සනාපුබ්බංගමං සමථංභාවෙති)

සමථ විදර්ශනා දෙකම විටින් විට මාරු කරමින් කිරීම ( සමථ විපස්සනා යුගනද්ධං භාවෙති)

සිත නොසන්සුන් සිතිවිලිවලින් සම්පූර්ණයෙන් නිදහස් කිරීමෙන් ( ධම්මුද්ධච්ච විග්ගහිත මානසං හොති)

මේ හතර වර්ගයේ භාවනා ක්‍රමවලින් හතරවන ක්‍රමය ඉතා වැදගත් වේ. මෙය ශුක්ෂ විදර්ශනාව ලෙසටද හදුන්වයි. මෙයින් සිතේ හටගන්නා වූ සිතිවිලිවලින් නිදහස් කිරීම අපේක්ෂා කරයි. පැන නගින සිතිවිලි ගැන නො සිතා බැහැර කිරීම සිතිවිලි ක්ෂය වීමට හේතු වේ. සාමාන්‍ය ක්‍රමය නම් සිතක් පහළ වූ විට එය සිතිවිල්ල පසුපස හඹා යෑමයි. මෙයින් එම සිතිවිල්ල තවදුරටත් වර්ධනය වේ. මෙය ජපානයේ සෙන් භාවනාවට සමාන ය . සිතක් යනු ඉන්ද්‍රිය හය ඇසුරු කරගත් අරමුණකි. සාමාන්‍යයෙන් අප එම අරමුණට නමක් සහ අගයක් ලබාදෙයි. මේ අරමුණු සැබවින් පවතින දේ නොවේ. ඒවා සිතේ හැඟීම්ය. ඔබ එම අරමුණුවලට නමක් හෝ වටිනාකමක් ලබාදෙමින් මැදිහත් වීමක් නොකරන්නේ නම්, ඒ අරමුණුවල අර්ථයක් නොමැත. ඒවා හුදුපවතින යථාර්ථයන් ය. එය අපගේ අවධාරණය ලක් වන අරමුණට නැතිනම් එක් වස්තුවකට පරිබාහිරව පවතින වස්තුන්වල අගක් නැත්තාක් මෙනි. වටිනාකම් ලබාදීම ලෝකය නිර්මාණය කිරීමකි. ඒ තුළ කොටුවීම නිසා දුක් විඳීමටත් සිදුවේ. මේ නිසා මනස තුළින් හඳුන්වා දීම සහ වටිනාකම් දීම නැවත්වීම කළ යුතුව ඇත. ඒ සඳහා සිතක් හටගත් විට සිතක් යනුවෙන් තේරුම් ගනිමින් එම සිතිවිල්ලේ පැවැත්ම මොහොතකට සීමා කිරීම සංකල්ප ලෝකයට ඇතුල්වීම නවතා දැමීමක් ලෙසට තේරුම් ගැනීම වැදගත් වේ.

මේ ආකාරයෙන් සිත පුහුණු කිරීම අර්ථ දෙකකින් වැදගත් වේ. එකක් බාහිර ලෝකයේ ප්‍රබෝධක නොසලකා හැරීමෙන් ගැටුම් විරහිතව ජීවත් වීමට හැකි වීම සහ දෙවනුව උපාධාන ලෝකය නිර්මාණය නොකිරීමට හැකි වීම. මෙම ධර්ම මාර්ගය තේරුම් ගැනීමෙන් සහ භාවිත කිරීමෙන් පරම සත්‍ය අවබෝධ කරගැනීමට හැකි වේවා.

 

 දුරුතු පුර පසළොස්වක පෝය 


 දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 1 වනදා සඳුදා ය.

 

මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk