UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාමය

අමරපුර අරියවංශ සද්ධම්මයුත්තික මහා නිකායේ මූලස්ථාන මහා විහාරය

කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාමය

ජය ශ්‍රී මහා බෝධි අංකුරය රෝපණය කිරීම සහ අටවිසි බුදුකුටි සහිත බෝධි ප්‍රාකාරය විවෘත කිරීම 20 වනදා

විහාර මන්දිරය


ධාතු මන්දිරය සහිත සීමාමාලකය

කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ බෝම්බුවල නම් පෞරාණික ග්‍රාමයේ සුපිහිටි ශ්‍රී සුබෝධිරාජාරාම මහා විහාරස්ථානය සියලු විහාරාරාංගයන්ගෙන් සමන්විත ඓතිහාසික වටිනාකමින් යුක්ත සිද්ධස්ථානයකි. එම විහාරස්ථානය වසර 200 කට පමණ ආසන්න ඉතිහාසයකට නෑකම් කියයි.


විහාරාධිපති
ශාස්ත්‍රපති
හල්වතුරේ අස්සජි නා හිමි

එහි ඉදිකර ඇති සියලු ගොඩනැගිලි වසර 100 ඉක්මවා ඇත. ඒ අතර විහාර මන්දිරය නුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදාය ගුරු කොට නිර්මාණය කොට ඇත. තෙමහල් ධර්මශාලා මන්දිරය කළු ගලින් ම නිර්මාණය කර ඇති අතර එය ප්‍රදේශයේ දක්නට ලැබෙන ඉතා විශිෂ්ට නිර්මාණයකි. මෙම විහාරස්ථානය ඓතිහාසික වශයෙන් හා ශාසනික වශයෙන් වැදගත්වීමට ප්‍රධාන හේතුව වන්නේ ශ්‍රී ලංකා අමරපුර නිකායට අයත් අරියවංශ සද්ධම්ම යුත්තික පාර්ශවය 1900 වසරේදී මෙම ස්ථානයේදී ආරම්භ වීමයි. කළුතර, ගාල්ල, කොළඹ, මීගමුව යන පළාත්වලින් ස්වාමීන්වහන්සේලා 34 නමක් සහභාගි වී ආරම්භ කරන ලද එම නිකාය වර්තමානය වන විට පළාත් සංඝ සභා 9ක් රට පුරා ව්‍යාප්තව විහාරස්ථාන 500 කට ආසන්නව ස්වාමීන් වහන්සේලා 1500 ක් පමණ වැඩවාසය කරති.

එම විහාරස්ථානයේ ආරම්භය දෙස බලන විට ඓතිහාසික සිදුවීමක් ඒ සඳහා ද මූලික වී ඇත.

එනම් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් බෝධි අංකුරයක් වැඩමවා රෝපණය කිරීම නිසා මෙම විහාරස්ථානය ශ්‍රී සුබෝධිරාජාරාමය නමින් නම් විය. ලක්දිව බොහෝ විහාරස්ථාන ගොඩනගා ඇත්තේ බෝධියක් මුල්කර ගෙනය. බෝධියක් පිහිටි භූමියක විහාරස්ථානයක් ආරම්භ කළ අතර නොඑසේනම් බෝධියක් රෝපණය කිරීමෙන් අනතුරුව ම විහාරය ආරම්භ විය.

බෝධිය යනු බුද්ධත්වය සංකේතවත් කිරීමයි. තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබාගැනීම සඳහා පිටදී වදාළ බැවිනුත් උන්වහන්සේ අනිමිස ලෝචන පූජාවෙන් උපහාර දැක්වීම නිසා ඇසතු නම් වූ මෙම වෘක්ෂය පූජනීයත්වයට පත් විය. ලෝකයේ වෙනත් කිසිම වෘක්ෂයකට මෙබඳු ගෞරවයක් දක්වන්නේ නැත.

දඹදිව බුද්ධගයා පුණ්‍ය භූමියට ගියවිට බෝධියට දක්වන ගෞරව උපහාරය කෙබඳුදැයි වටහාගත හැකි ය. එසේම අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරන ගෞරව උපහාරය ද එබඳුම ය.


පරලොව සැපත්
මැන්ඩිස් හඳුවල

පාරිභෝගික චෛත්‍ය ලෙස ත්‍රිවිධ චෛත්‍ය අතර දෙවන තැනලා සලකන්නේ බෝධියයි. සුබෝධිරාජාරාම විහාරස්ථානයේ පෞරාණික බෝධීන් වහන්සේ 2016 වසරේ දී දිරාපත්ව අපවත්වීමෙන් පසු අභිනවයෙන් ම බෝධි ප්‍රකාරය ඉතා උසස් අන්දමින් නිර්මාණය කරන්නට යෙදුණි. ඉතා දැකුම්කළු ආකාරයට නිර්මාණය කර ඇති පාත්‍රයක් තුළ බෝධීන් වහන්සේ රෝපණය කිරීමට කටයුතු පිළියෙල කර ඇත.සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩමකළ යාපනයේ දඹකොළ පටුනේ මෙවන් නිර්මාණයක් දැකිය හැකි ය.

මුල් බෝධීන් වහන්සේ අනුරපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් වැඩම කළ අයුරින් මෙම අභිනවයෙන් ඉදිකළ මංජුසාව තුළ රෝපණය කිරීම සඳහා බෝධි අංකුරයක් වැඩම කරවා වැඩ හිඳුවා ඇත.

බෝධීන් වහන්සේ රෝපණය කිරීමේ උතුම් අවස්ථාව මෙම මස 20 වන දින අලුයම 6.00 ට සිදු කිරීමට නියමිත ය. ඒ සමගම අටවිසි බුදුකුටි තුළ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීම ද සිදුවේ. ප්‍රධාන බුදු කුටිය ඇතුළුව ප්‍රතිමා වහන්සේ විසිනව නමක් වඩා හිඳුවති.

ප්‍රතිමා වහන්සේලා සමඟ අනිකුත් පූජා ද්‍රව්‍ය පුද පෙළහරින් වැඩමවා ප්‍රථම ක්ෂීර පායාශ පූජාව පැවැත්වීම අනුරාධපුර පිච්චමල් පූජාවේ අනුශාසක කොටපොල අමරකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදුකරනු ලබයි.

බෝධීන් වහන්සේ වඩා හිඳුවීම සඳහා අලංකාර බෝධි පරිශ්‍රය ස්වකීය ධන පරිත්‍යාගයෙන් නිමාකොට පූජා කරනු ලබන්නේ දහමට තම දිවිය කැප කළ චන්ද්‍රතිලක හඳුවල විසිනි. දිවා රාත්‍රී ස්වකීය ශ්‍රමය ද වැය කොට මේ උදාර කාර්යය සිදුකොට පරලොව සැපත් තම පියාණන් වන මැන්ඩිස් හඳුවල මහතාට නිවන්සුව පතා, මෑණියන්ට නිදුක් නිරෝගී සුවය පතා, තමන්ට හා මේ සඳහා නන් අයුරින් සහායවූ සැමට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ උතුම් අධිෂ්ඨානයෙන් යුතුව මෙම සත් කාර්යය සිදු කෙරේ.

එසේම 20 වන දින සිට 24 වන දින දක්වා පස්වරු 6.00 ට විශේෂ අටවිසි බුද්ධ බෝධිපූජා පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති කළුතර රත්නපුර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක දොඩන්ගොඩ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකඛාධිකාරී ශාස්ත්‍රපති හල්වතුරේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ කටයුතු යොදා තිබේ. ඒ සඳහා විහාරස්ථ කාර්යය සාධක සමිතිය සහ රාහුලමාතා කුළඟන සමිතිය පූර්ණ දායකත්වය ලබා දී ඇත.

 

උඳුවප් අමාවක පෝය 


උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 17 වන දා ඉරිදා පූර්ව භාග 09.26 ට ලබයි. 18 වන දා සඳුදා අපරභාග 12.00 න් ගෙවේ. 17 වන දා ඉරිදා සිල්.

 

මීළඟ පෝය දුරුතු පුර අටවක දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]