ආර්ය පර්යේෂණ සූත්‍රය:
නුවණින් දකින
ජීවිතයේ යථාර්ථය
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
" සසරේ ඇති භයානක බව තේරුම් ගෙන ශෝක පරිදේවයන්ගෙන් ගැළවීමට නිවන් මඟට යොමු වෙන අතර,
ක්ලේශ ධර්මයන්ට එකතුවීම නිසා සිදුවන ආදීනවය නුවණින් දැක කෙලෙස්වලින් පීඩාවක් නැති
යෝගක්ෂේම වූ නිවන ම සොයන්නට මේ ප්‍රඥාවන්ත පුද්ගලයා පෙළඹෙනවා."
ජීවිතයේ ජරා ස්වභාවය දකින්නට එනම් දිරාගෙන යෑමේ ආදීනවය දකින්නට තමාගේ හිසේ කෙස්
පැසෙන තුරු බලා සිටිය යුතු නොවේ. දෑත දෙපය දුබල ව එක් තැනක වැටෙනා තෙක් නතර වී
සිටිය යුතු නොවේ. කුඩා දරුවෙකු වෙතින් පවා ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියේ ඇති
ආදීනවය ගැන දහම් ඇසින් දැක ගත යුතු වේ.
ඇසට,කනට සුවයක්, ප්‍රසන්න බවක් හැටියට පෙනුණත්, දැණුනත් ඒ සියල්ලගේ ම උරුමය වී
ඇත්තේ දිරාගෙන යෑම ය. අත්හැරීම ය. එය සිතට මෙනෙහි විය යුතු ය. එවිට දිරාගෙන යෑම
තමන්ගේ සිතට ශෝකයක් නොවන්නේ ය. දිරාගෙන යෑම උරුමයක් බව, ස්වභාවයක් බව අවබෝධ කොටගෙන,
දිරාගෙන යෑමෙන් තොර යම් ස්වභාවයක් වන්නේ ද, ඒ නොදිරන ස්වභාවය පිළිබඳව සිත යොමු කළ
යුතුය. ප්‍රඥාවන්ත මනුෂ්‍යයාට වැටහෙන්නේ ඒ නිවන ම වන බවයි. කෙලෙසුන් මුළුමනින් ම
ප්‍රහාණය කිරීම වන බවයි. එවිට ඔහු දිරාගෙන යෑමේ ආදීනවය හොඳින් දැන, දිරාගෙන යෑමක්
නැති උතුම් නිවන ම සොයයි. ඒ සඳහා වෙහෙසෙයි.
මේ ආකාරයට ම ලෙඩදුක්වලට ගොදුරු වන්නේ ද එහි ආදීනවය මැනවින් මෙනෙහි කරන්න. එහි ඇති
ශෝකී ස්වභාවය භයානක ස්වභාවය නුවණින් දකින්න උත්සාහ කරන්න.
සුව කළ නොහැකි භයානක වූ යම් රෝගයක් උරුම වී ඇති කෙනෙකු ගැන හෝ, එවැනි රෝගයකට පත්ව
සිටින කෙනෙකුගේ අභාවිත සිතක් පිළිබඳ ව විමසා බලන්න. යම් විටෙක එය ඔබේ ම කතාව ද විය
හැකියි. සුව කළ නොහැකි රෝගයක් බව හා හැම මිනිත්තුවක්, පැයක් පාසාම, මරණයට ළංවන බව
දැන ගන්නට ලැබුණොත් අභාවිත සිතක් ඇති, එනම් පරමාර්ථ ධර්ම වශයෙන් පුරුදු නොකරන ලද
සිතක් ඇති කෙනෙකුට සිතේ හට ගන්නා වූ භය, ශෝකය, දුක පිළිබඳ ව සිතා ගන්නට පුළුවන් ද?
සැප, සැප යැයි පවසා දුකට උරුම වූ පුද්ගලයන් හා වස්තූන් ම සොයාගෙන ගිය ඔහුට හෝ ඇයට
දැන් ඉතිරිව ඇත්තේ ශෝකය පමණක් ම බව වැටහෙන්නට පටන් ගනී.
ඇතැම් අය එහිදීවත් එය තේරුම් නොගෙන, ඉක්මනින් සුවපත් වී නැවතත් තමා කැමැති
පුද්ගලයන් හා ධන ධාන්‍ය, මිල මුදල් ආදී වස්තූන් සොයන්නට සිහිය යොමු කරයි. එය
ඔවුන්ගේ ම වදන්වලින් තේරුම් ගත හැකියි. මේ ඊට නිදසුනකි. මට ඉක්මනින් සුවපත් වී ඔබ
ළඟට එන්නට තිබේ නම් ඒ මගේ සතුටයි. ඉක්මනින් සුවපත් වී මගෙන් අත්හැරී ගිය ධන,
ධාන්‍ය, මිල මුදල් නැවතත් සකස් කර ගන්නට හැකි නම් ඒ මගේ සතුටයි. මෙසේ සිතමින් හා
කියමින් ජාති, ජරා, ව්‍යාධි, මරණයන්හි ආදීනව නොදන්නා වූ පුද්ගලයා අනාර්ය පර්යේෂණයේ
ම ගැලී සිටී. එහෙත් ආර්ය පර්යේෂණයෙන් යුතු පුද්ගලයා ජාතියෙහි, ජරාවෙහි,
ව්‍යාධියෙහි, මරණයෙහි ආදීනව දැක ඉතා උතුම් වූ කෙලෙස් සැඩ පහර නැති, කෙලෙස්වලින්
නිවීම නම් වූ නිවන ම සොයනවා. ඔහුට හෝ ඇයට ඉපදීමේ භයානක බව වැටහෙන්නට පටන් ගන්නවා.
උපත හා සමග ම පැමිණුනු දිරාගෙන යෑම, ලෙඩදුක් හා මරණයේ ඇති භයානක බව, ශෝකී ස්වභාවය
වැටහෙන්නට පටන් ගන්නවා. එවිට ඉන් ගැළවීමට ඇති එකම මඟ නම් කෙලෙසුන්ගෙන් බැහැරවීම
හෙවත් කෙලෙසුන්ගෙන් මුළුමනින් ම අත්හැරීම බව වැටහෙන්නට පටන් ගන්නවා.
නිවන් මඟ සොයනවා. ආර්ය පර්යේෂණයට එකතු වෙනවා. සසර ගමන පුරාවට ම අම්මා, තාත්තා, දුව,
පුතා, සොහොයුරු, සොහොයුරියන් හා සියලු ඥාතීන් වෙනුවෙන් වැගුරූ කඳුළු සිව් මහා
සාගරයේ ජල කඳටත් වඩා වැඩි බව ආර්ය පර්යේෂණයෙන් යුක්ත ප්‍රඥාවන්ත මනුෂ්‍යයාට
වැටහෙන්නට පටන් ගන්නවා. ඒ, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය ඇසීමෙන්, සිතේ දරා
ගැනීමෙන් හා නැවත නැවතත් මනසිකාරය කිරීමෙන්.
සසරේ ඇති භයානක බව තේරුම් ගෙන ශෝක පරිදේවයන්ගෙන් ගැළවීමට නිවන් මඟට යොමු වෙනවා.
ක්ලේශ ධර්මයන්ට එකතුවීම නිසා සිදුවන ආදීනවය නුවණින් දැක කෙලෙස්වලින් පීඩාවක් නැති
යෝගක්ෂේම වූ නිවන ම සොයන්නට මේ ප්‍රඥාවන්ත පුද්ගලයා පෙළඹෙනවා. එලෙස ආර්ය පර්යේෂණයට
එකතු වෙනවා.
භාග්‍යවතුන් වහන්සේ විසින් ආර්ය පර්යේෂණය හැටියට දේශනා කරනු ලැබූවේ මේ අදහස් පෙළයි.
ඔබ ද, ඔබගේ ජීවිතයේ මුහුණ දෙන එදිනෙදා අත්දැකීම් ඔස්සේ හෝ තමා සිටින්නේ ආර්ය
පර්යේෂණයෙහි ද අනාර්ය පර්යේෂණයෙහි දැයි සිතින් මෙනෙහි කරන්න. අනාර්ය පර්යේෂණය නම්
ඵලය, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස බව වටහා ගැනීම මැනවි. ආර්ය පර්යේෂණ නම් අවබෝධයෙන්
යුතුව භාග්‍යවතුන් වහන්සේ සරණයන හෝ සරණ ගිය ඔබට ඵලය ලෙස ශෝක රහිත දුක්ඛ, දෝමනස්ස
රහිත ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් විනිර්මුක්ත වූ සදා සුවය ලබන්නට හැකි බව
තේරුම් ගත යුතුයි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළහ. මහණෙනි, මම බුදුවීමට පෙර බෝධිසත්ව වූයේ ම, තෙමේ
ජාති ධර්ම වූයේ ම ජාති ධර්මයක් ම සෙවීමි. මින් අදහස් කරන්නේ තමන් ජාති ධර්මයක් බවට
පත්ව දුක් විඳින්නට හේතුවක් සොයා ගන්නා බවයි. එනම් දුක් විඳින්නට හේතුවන දූ දරුවන්,
ධන ධාන්‍ය මෙන් ම ඒ කාලයේ හැටියට ඇත්, අස්, ගව ආදී දෙයක් පිළිබඳව ම සොයා බැලුවා.
එනම් කාම වස්තූන්ම සෙව්වා. ජරා ධර්මයක් වූයේ ජරා ධර්මයක් ම සෙව්වා. තමා ම නැසෙන
සුළු ස්වභාවයේ ස්කන්ධ පංචකයක් පවත්වාගෙන, එසේ ම දිරාගෙන යන ස්කන්ධ පංචකයකින් යුතු
පුද්ගලයන් හෝ පඨවි ආදී ධාතූන්ගෙන් යුතු වස්තූන් ම සොයා බැලුවා.
මේ සියල්ලක් තමන් සේ ම හටගෙන නැතිවී යන වස්තූන් ය. තෙමේ ව්‍යාධි ධර්ම වූයේ ව්‍යාධි
ධර්මයක් ම සෙවීමි. එනම් තමන් ලෙඩ දුක්වලට උරුම බවයි. එලෙස ම ලෙඩදුක්වලට උරුම වී
නැතිවී යන යම් වස්තූන් ම සෙවීමි. තෙමේ මරණ ධර්මයක් වූයෙන් මරණ ධර්මයක් ම සෙවිමි.
එනම් මිය යන ස්වභාවයට පත්වෙන පුද්ගලයෙක් බවට පත්ව මරණ ධර්මයකට ම උරුම වූ වස්තූන්
මම, මගේ කර ගන්නට මම මහන්සියෙන් උත්සා ගත්තෙමි. තෙමේ ශෝක ධර්ම වූයෙන් ශෝක ධර්මයක් ම
සෙවීමි. එනම් මගේ ජීවිතයේත් උරුමව පැවතියේ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් ය.
එවන් ස්වභාවයට පත්ව, එයින් බැහැර නොවූ, එයට ම උරුම වූ වස්තූන් ම සෙව්වෙමි. තෙමේ
සංක්ලේශ ධර්ම වූයෙන් මම කෙලෙස්වලට උරුම වූ පුද්ගලයෙක් හැටියට සිටිමින් කෙලෙස්වලට
එකතු වූ ධර්මයක් ම සෙව්වෙමි.
- දීපා පෙරේරා |