වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ
මුල් කරගත්
දම් දෙසුම ලිපි මාලාව අංක - 05 අසිරිමත් පාරමී දම්
පුරන සමයේ...
ත්‍රිපිටකාචාර්ය,
අභිධර්ම විශාරද
දිගන සුගතවංශ හිමි
දීපංකර බුදුරජාණන් වහන්සේ එක්තරා නගරයකට හැටදහසක් මහා රහතන් වහන්සේලා සමඟ වඩින
ගමනක් වුණා. ඉතිං ඒ වෙනුවෙන් ගම් වැසියන් ඒ මාර්ග සකස්කරමින් ඉන්න වෙලාවක්. සුද්ධ
පවිත්‍ර කරමින් ඉන්න වේලාවක්. අහසින් වඩින සුමේධ තාපසයන් වහන්සේ මෙය දැක්කා. බිමට
බැස මේ පිරිසගෙන් කරුණු අහල තමන්ටත් කොටසක් ඉල්ලගත්තා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්
මහා සංඝයා වෙනුවෙන් උපස්ථානයක් වශයෙන් ශුද්ධ පවිත්‍ර කරන්නට.
පින්වතුනි, මේ සියල්ලක් ම ධර්මතාවන්. මේ බෝසතාණන් වහන්සේ, නැතිනම් සුමේධ තාපසයාණන්
වහන්සේට බුදුපියාණන් වහන්සේ මුණ ගැසෙන්න වුණ අවස්ථාවක්. ඉතින් ඒක නිසා ම තමන්ට
ලැබුණේ මඩ වගුරු බිමක්. මෙය සකස් කරමින් සිටියත් බුදුරජාණන් වහන්සේ මහා සංඝයා සමඟ
වඩින වේලාව ළංවුණත් මෙය අවසන් කරගන්ට බැරි වුණා. ඉතින් තමන් වහන්සේගේ හිතේ තියෙන
අධිෂ්ඨානය, හිතේ තිබෙන බලය, හිතේ තියෙන ගෞරවය, හිතේ තියෙන ප්‍රාර්ථනාව යටි හිතේ
තියාගෙන බුදුරජාණන් වහන්සේ වඩින
මඟට මේ මඩවගුරේ ඒදණ්ඩක් සේ දිග ඇරුණා. ‘බුදු
පියාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ මඩ නොපාගා මගේ ඇග උඩින් වඩින සේක්වා’ කියන
අධිෂ්ඨානයෙන්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩමකළා. මේ බෝසත් දරුවා ගැන දැක්කා. එසේ
මෙසේ උත්තමයෙන් නෙමෙයි මේ පාගලා යන්ට පුළුවන් උත්තමයෙක් නෙමෙයි. මතු අනාගතයේ දී
බුදු වෙන්නට පාරමී පුරන මහා පින් ඇති මහෝත්තමයෙක් කියලා තථාගතයන් වහන්සේ මේ ජීවිත
පරිත්‍යාගයෙන් බුදු පියාණන් වහන්සේට තම ජීවිතය ඒ දණ්ඩක් සේ පූජා කළ මහා බෝසතාණන්
වහන්සේට නියත විවරණ දෙනවා. ඒ නියත විවරණ ලබන්නට ඒ වේලාවේ එතුමන් කරුණු අටකින්
සම්පූර්ණ වෙලයි හිටියේ.
‘මනුස්සත්තං ලිංග සම්පත්ති
හේතු සත්ථාර දස්සනං
පබ්බජ්ජා ගුණ සම්පත්තී
අධිකාරෝච ඡන්දතා’
අට්ඨ ධම්ම සමෝධානා
අභිනීහාරෝ සම්ජ්ඣති’
‘මනුස්සත්තං’ අපේ බෝසතාණන් වහන්සේ මනුස්ස ආත්මයක් ලබලයි හිටියේ. ‘ලිංග සම්පත්ති’
ලිංග කියල කියන්නේ මනුෂ්‍ය ආත්මය පුරුෂ ආත්මයක් ලබල තිබුණේ. ඒ වගේ ම ‘සම්පත්ති’
කියල කියන්නෙ මෙතන දී ලිංග සම්පත්තියක්. ඒ මනුස්ස සම්පත්තියක්, ත්‍රිහේතුක
සම්පත්තියක් ලබල තිබුණේ ‘හේතු’ කියල කියන්නෙ මෙතනදී ඒ රහත් වෙන්ට තරම් පාරමී ගුණ
පිරීතිබූ උතුමන් වහන්සේ නමක් වීමයි. ‘සත්ථාර දස්සනං’ ශාස්තෘන්වහන්සේ නමක් දකින්ට
ලැබුණු අවස්ථාවක්. ‘පබ්බජ්ජා’ ඉසි පැවිද්දෙන් පැවිදි වෙලා හිටිය අවස්ථාවක්. ‘ගුණ
සම්පත්තී’ ඉතාමත් ම ගුණවත් අවස්ථාවක් ‘අට්ඨ සමාපත්ති පඤ්චාභිඤ්ඤ’ ගුණ ඇති බව.
‘අධිකාරෝ’ තමන්ගේ බුදුවීමේ බලවත් ප්‍රාර්ථනා සහ ‘ඡන්දතා’ ඒ ප්‍රාර්ථනා මුදුන් පත්
කර ගැනීමේ කැමැත්ත. මේ කියන කරුණු අටෙන් සම්පූර්ණ ව බෝසතාණන් වහන්සේ සිටි නිසා
උන්වහන්සේට ‘නියත විවරණ’ ලැබුණා, මතු අනාගතයේ දී අසංඛෙය්‍ය හතරකුත් කල්ප ලක්ෂයක්
ගිය තැන කිඹුල්වත් නුවර සුදොවුන් මහා රජ්ජුරුවන් නිසා මහාමායා දේවියගේ කුසේ දරුවෙක්
වශයෙන් ඉපිද ප්‍රධන් වීර්යය වඩමින් අවුරුදු තිස් පහේ දී ලොව්තුරා සම්මා
සම්බුද්ධත්වය සාක්ෂාත් කරගන්නා වගට ප්‍රතිඥා දුන්නා.
ඒ වෙලාවේ දී මහා බෝසතාණන් වහන්සේට පුදුමාකාර ශක්තියක්, ආශිර්වාදයක්, බලයක් ලැබුණා.
වටේ හිටිය හැම කෙනෙක්ගෙන් ම බුදුපියාණන්ට පුදන්න තිබුණු මලින් බෝසතාණන් වහන්සේ
පිදුවා. දෙවියන් බ්‍රහ්මයන් ද මලින් පිදුවා. තූර්ය නාදයන්ගෙන් ස්තූති පූජා කළා,
තමන් වහන්සේ දැන් විවේක සුවයෙන් කල්පනා කරනවා. ‘මා බුදු බව පතා යන්නේ, මුලින් ම මා
පූර්ණය කළ යුත්තේ කුමන පාරමිතාවක් ද?” බෝසතාණන් වහන්සේ එවිට දැක්කා ‘පඨමං දාන
පාරමිං’ හෙවත් දාන පාරමිතාව. එය දාන පාරමිතාවක්, උප පාරමිතාවක්, පරමත්ථ පාරමිතාවක්
සේ පූර්ණය කරන ගමන් දස පාරමී ධර්මයන් උපපාරමී, පරමත්ථ පාරමී ආකාරයෙන් පූර්ණය කරන්නට
අධිෂ්ඨාන කරගත්තා. එසේ අධිෂ්ඨාන කරගෙන තමන් වහන්සේ අනාදිමත් කාලයක් අතරක් නෑර
නොයෙක් දුක් ගැහැටවලට භාජනය වෙමින් අප්‍රමාණව දුක් විඳිමින් තමයි පාරමී පිරුවේ. එදා
දීපංකර පාද මූලයේ දී සිව්පිළිසිඹියා ඥාන ලාබීව මහ රහත්භාවය ලබන්නට තරම් පුණ්‍ය
ශක්තියක් තිබුණත් තමන්ගේ අතටපත් නිවන අලුයම ඉවතලන කෙළ පිඬක් සේ ඉවත් කරලා, මේ මහා
සංසාර සාගරයේ අතරක් නෑර පාරමී සොයන්නට, පාරමී පූර්ණය කරන්නට එකතු වුණේ ඇයි? අපි
වැනි අහිංසක සත්වයන් වෙනුවෙන් නේද? එදා මහ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන එන ගමනේ
දී, සස ජාතක සමාගමේ දී ජීවිත පරිත්‍යාගයෙන් පාරමී පිරුවා. ඒ වගේ ම මහා සීල ජාතක
සමාගමේ දී ඒ මහා සීලනාග රාජ ව සිට ජීවිත පරිත්‍යාගයෙන් පාරමී පිරුවා. ඔය විදිහට
උන්වහන්සේ අප්‍රමාණ වූ පාරමී ධර්ම පුරාගෙන එන බව ජාතක ඉතිහාසය දිහා දකින කොට බලනකොට
ඕනෑම කෙනෙකුට පෙනී යනවා.
එදා ක්ෂාන්ති වාදී තාපසයන් වහන්සේ ව සිටි මහා බෝසතාණන් වහන්සේ කලාබු රජ්ජුරුවන්
කෑලි කෑලි වලට කපනකම්, කිසිම තරහක් අල්ප මාත්‍රයක තරහක් කේන්තියක්, ඇතිකර ගත්තෙ නෑ.
පුදුමාකාර විදිහට, බලවත් ඉවසීමකින් උන්වහන්සේ පාරමී පිරුවා. එදා කදිරංගාර ජාතක
සමාගමේ දී මහා බෝසතාණන් වහන්සේගේ දානය වළක්වන්නට මාර දිව්‍ය පුත්‍රයා මවල තිබ්බ
විශාල ගිනි අඟුරුවල, කිණිහිර දරවලින් පිච්චුනු අඟුරුවලට ජීවිත පරිත්‍යාගයෙන්
බත්මුලක් අරගෙන පැන්නා. එසේ පැනලා ජීවිත පරිත්‍යගයෙන් ඒ උතුම් දාන පූජාව කරද්දී පවා
මහ පොළව කම්පා වෙමින්, නෙළුම් මල් පිපෙමින් බෝසතාණන් වහන්සේ පිළිගත්තා. පුදුමාකාර
ආශ්චර්යක් නේද? මේ වාගේ ආශ්චර්යන් මැද උන්වහන්සේ පාරමී පුරාගෙන ඇවිදින් අවසාන ආත්මය
වෙන වෙස්සන්තර ආත්ම භාවයේ දී පුදුමාකාර විදිහේ චිත්ත ශක්තියකින්, චිත්ත ධෛර්යයකින්
උන්වහන්සේ පාරමී පුරනවා.
එදා වෙස්සන්තර ආත්ම භාවයේ සඳමහා රජ්ජුරුවෝ නිසා උපන්න ඒ බෝසතාණන් වහන්සේ ඉපදෙන දවසේ
ම කතා කරලා, අම්මාගෙන් දන් දෙන්ට යමක් ඉල්ලාගෙන මුදල් පසුම්බියක් ලැබිලා එයත්
දන්දීලා කුඩා වයසේ දී තමන් නිදාගන්න සිරියහනට ගිහිල්ල පුදුමාකාර මනෝමය දානයක්
දෙනවා. පින්වතුනි පුදුමාකාර ආශ්චර්යයක්. උන්වහන්සේ හිතනවා. ‘යම් කිසි කෙනෙක් මගේ
නේත්‍රා දෙක ඉල්ලාගෙන එනවා නම්, මම ලොව්තුරා බුදු බව පතාගෙන මගේ ඇස්දෙක ගලවා
දන්දෙනවා. මගේ අතපය, මගේ ශරීර අවයව ඉල්ලා එනවා නම්, මේ සියල්ලක් මම දන් දෙනවා.
ලොව්තුරා බුදු බව පතාගෙන, මතු අනාගතයේ දී මට මේ ලැබෙන්න තියෙන රාජධානිය කෙනෙක්
ඉල්ලනවා නම් මට ලැබෙන සියලු සැප සම්පත් ඉල්ලනවා නම් මම මේ සියල්ල දන් දෙනවා
ලොව්තුරා බුදු බව පතාගෙන කියල එක් වරක් නෙමෙයි. සියවර දස දහස්වර මෙනෙහි කරනවාත්
එක්කම පින්වතුනි මේ අචේතනික මහා බොල් පොළොව උන්වහන්සේගේ මනෝමය දානයට කම්පා වුණා.
එසේ පාරමී පුරාගෙන එන මහා බෝසතාණන් වහන්සේ තමන්ගේ සියලු සැප සම්පත් බොහෝ දෙනා
වෙනුවෙන් දන් දුන්නා.
පසළොස්වක, අවඅටවක, අමාවක සහ පුර අටවක යන සතර පෝදා දිනයන්හි ම පළවන ලිපි මාලාවේ
පස්වන කොටස මෙසේ පළවේ. මෙහි සයවන කොටස නොවැම්බර් 10 වන දා ඉල් අව අටවක පෝදා පත්‍රයේ
පළවේ. |