සද්ධර්මය වීර්යයවන්තයන් උදෙසා යි
පොල්ගහවෙල
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
හොඳ දෙයක් ගොඩ නගන්නට, හොඳ දෙයක් දියුණු කරන්නට, හොඳ දෙයක් පවත්වාගෙන යන්නට වුවමනා
කරන ප්‍රධාන ම පුණ්‍ය බලවේගය වීර්යය යි. යම්කිසි කෙනෙකුට වීර්යය නැතිනම් ඔහුට මේ
ධර්ම මාර්ගයේ ගමන් කිරීම අපහසුයි. ධර්මයේ දී හැම දෙයක් ම ගොඩ නැඟෙන්නේ වීර්යය මතයි.
ශී‍්‍ර සද්ධර්මය තුළ සමාධි ස්කන්ධයට අයත් වෙන්නේ සම්මා වායාම, සම්මා සති සහ සම්මා
සමාධි කියන අංග තුනයි. සම්මා වායාම තුළයි සම්මා සතිය වැඩෙන්නේ. සම්මා සතිය තුළයි
සම්මා සමාධිය වැඩෙන්නේ.
මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ දී විශේෂයෙන් ම උදව්වෙන කරුණු තුනක් ගැන බුදුරජාණන්
වහන්සේ දේශනාකොට වදාළා. ඒ සම්මා දිට්ඨිය,එනම් ආර්ය සත්‍යය අවබෝධයට ඉලක්ක කරගත්
දැක්ම, සම්මා සතිය සහ සම්මා වායාම ය යි. ඒ කිසිවක් උත්සාහයකින් තොරව කළ නො හැකියි.
සාමාන්‍ය මනුෂ්‍යයාට ලෞකික කාරණයකට පවා වීර්ය ගැනීමට දැඩි කැපවීමක් කරන්න ඕනෑ.
ළමයෙක් විභාගයට පාඩම් කරන්නට කො තරම් වීර්යයක් ගන්නවා ද? ගොවිතැන් බත් කරන්න කො
තරම් වීර්යයක් ගන්න ඕනෑ ද? ගෙයක් දොරක් පිරිසුදුව ලස්සනට තියාගන්න කො තරම් වීර්යයක්
ගන්න ඕන ද? එසේනම් එදිනෙදා ජීවිතයේ කටයුතු සඳහාත් කැම්මැලිකමට ඉඩ නොදී ඒ දේවල්
කරන්නට අවශ්‍යය යි.
බුදුරජාණන් වහන්සේ ‘කුසීත’ කියන වචනය භාවිත කරන්නේ හීීන වීර්යය තිබෙන පුද්ගලයාට යි.
යම් කෙනෙක් හීන වීර්යෙන් යුතුනම් ඔහු උපන් අකුසල් ප්‍රහාණය කිරීමට වීර්ය ගන්නේ
නැහැ. නූපන් අකුසල් නූපදවීමට වීර්යය ගන්නේ නැහැ. නූපන් කුසල් උපදවන්නට වීර්යය ගන්නේ
නැහැ. උපන් කුසල් දියුණු කර ගන්න වීර්යය ගන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ
ධර්මය තුළ හීන වීර්යය කිසිසේත් ප්‍රශංසාවට ලක් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ ධර්මය තුළ
ප්‍රශංසාවට ලක්වෙන්නේ ‘ආරද්ධ වීර්යය’ යි. ආරද්ධ වීර්යය කියන්නේ අරඹන ලද, පටන් ගත්
වීර්යයයි. එනම් කෙනෙක් තුළ යම්කිසි උත්සාහයක් තිබෙනවා නම් අදාළ කරුණ මුදුන්පත්
වනතුරු ම ඒ උත්සාහය අඛණ්ඩව පැවැත්වීම යි. බුද්ධ කාලයේ රහතන් වහන්සේලාත් ඒ ආකාරයට
ආරද්ධ වීර්යෙන් යුතුව වීර්යය කිරීමෙනුයි අරහත්වයට පත්වී තිබෙන්නේ.
බුද්ධ කාලයේ එක්තරා වයසක භික්ෂුණියක් සිටියා. එතුමියට ඒ භිික්ෂු ආරාමයේ තිබෙන සියලු
වැඩ කටයුතු කරන්න සිදුවුණා. නමුත් එතුමිය කාලය පිළිබඳ යම්කිසි දැනුමකින් සිටියේ. ඒ
“මට ජීවත් වෙන්න තිබෙන්නේ බොහෝම සීමිත කාලය යි” කියා. ඉතින් එතුමිය වැඩ කටයුතු
අවසන් කළාට පස්සේ සෙමින් පහළට බහිනවා. ඒ ශාලාවේ මැද කණුවක් තිබෙනවා. ඒ කාලයේ අද වගේ
විදුලිය නෑනේ. ඇය අර කණුව අල්ලාගෙන සක්මන් කරනවා. සක්මන් කරනවා කිව්වාම අපට සිහිපත්
වන්නේ සක්මන් මළුවක එහාට මෙහාට යන බවයි. එහෙත් ඒ භික්ෂුණිය සක්මන් කළේ කණුව අල්ලගෙන
කණුව වටේට. මොකද ඈ දුර්වලයි. ඇය සක්මන් කරමින් පංච නීවරණයන් යටපත් කරන්නට මහන්සි
ගත්තා.
එහෙනම් උපන් අකුසල් ප්‍රහාණය කිරීමට වීර්යය ගැනීමත්, නූපන් අකුසල් යළි හට නො ගන්නා
ආකාරයට හිත රැක ගැනීමත්, නූපන් කුසල් උපදවා ගන්නට වීර්යය කිරීමත්, උපන් කුසල්
දියුණු කර ගැනීමට වීර්යය ගැනීමත් මහා පින්වන්තයෙක් ම කරන එකක්. සාමාන්‍ය ලෝකයා නිතර
ම කරන්නේ නැති අකුසල් උපදවා ගන්නවා. අන් අයගේ අකුසල් තමන්ගේ අකුසල් බවට පත්කර
ගන්නවා. තමා පිළිබඳ වගකීම අත්හළ ලෝකයට බුදුරජාණන් වහන්සේ අදහස් කරන වීර්යයයෙන්
වැඩක් නැහැ. උන්වහන්සේ අදහස් කරන වීර්යය තමාව පිළිසරණ කර ගත් එකක්. තමාට උදව්ව
පිණිස පවතින, තමා අනාථ නො වෙන එකක්.
වීර්යය ගැන අපූරු කථාවක් විනය පිටකයේ මෙසේ සඳහන් වෙනවා. එක්තරා භික්ෂුවකට ගහක්
කපන්න අවශ්‍ය වුණා. ඒ භික්ෂුව ගහ කපන්නට සූදානම් වෙනවිට ඒ ගහේ හිටපු දෙවියෙක් ඒ
භික්ෂුවට පෙනී සිට “අනේ මේ ගහ කපන්න එපා. මේ මගේ විමානය” කියා කිව්වා. නමුත් ඒ
ස්වාමින් වහන්සේ එය ගණන් නො ගෙන ගහේ අත්තක් කැපුවා. සමහර විට ඒ මනෝකායික දෙවි
කෙනෙක් වෙන්න ඇති. එයින් දෙවියාගේ දරුවෙකුට යම්කිසි තුවාලයක් වුණා. එවිට ඒ දෙවියා
“මට මේ භික්ෂුව මරන්න ඇත්නම්” කියා සිතුණා. නමුත් ඒ දෙවියා නැවත කල්පනා කළා මේ
භික්ෂුව සිල්වත්. උන්වහන්සේ මරණයට පත් කළොත් මට අකුසලයක් සිදුවෙනවා. භික්ෂුවට හානි
නො කර මම මේ පැමිණිල්ල බුදුරජාණන් වහන්සේට කියනවා කියා සිතා ඒ දෙවියා බුදුරජාණන්
වහන්සේ හමුවේ පෙනී සිට
”භාග්‍යවතුන් වහන්සේ අර භික්ෂුව මම එපා කියද්දී මගේ විමානය සිඳ දැම්මා. මගේ
දරුවෙකුට තුවාලයක් වුණා. මට ඒ භික්ෂුව කෙරෙහි ද්වේෂයක් හට ගත්තා. ඒත් ස්වාමිනි, මම
ඒ භික්ෂුවගේ ගුණවත්කම සිහි කරලා ඒ හටගත් ද්වේෂය ප්‍රහාණය කළා.
ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඒ දෙවියාට බොහෝම ප්‍රශංසා කළා. “දේවතාව, ඔබ බොහෝම
උසස් දෙයක් කළේ. ඔබ උපන් අකුසලය ප්‍රහාණය කරන්නට වීර්යය ගත්තා.” ඒ භික්ෂුව සීලවන්ත
යි. ඔබ ඒ භික්ෂුවට කරදරයක් කළා නම් එය ඔබේ ජීවිතයේ අයහපත පිණිස බලපානවා. ඊට පස්සේ
බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා කැඳවා “ගස්වැල් සිඳලීම පචිති ඇවතකි” කියා ශික්ෂා
පදයක් පැණවූවා. ඒ ශික්ෂා පදය පනවන්න හේතුවූයේ මේ සිද්ධිය යි. ඒ නිසා දෙවියෙක් වේවා,
මනුස්සයෙක් වේවා උපන් අකුසලය ප්‍රහාණය කරන්න වීර්යය ගන්නවා නම් ඔහුට ඒ සඳහා
වීර්යයත් සමඟ ඤාණයත් අවශ්‍යයි.දෙවියාට ඒ ඤාණය නො තිබුණා නම් බොහෝ අකුසල් රැස්කර
ගන්නට සිදුවෙනවා.
සමහර අය දැඩි තීරණ අරගෙන යම් යම් අකුසල් කරන්නට පෙළෙඹෙන අවස්ථා තිබෙනවා. නමුත් සමහර
පිරිස් උත්සාහයෙන් ඒ අකුසල් නො කර ඉන්නවා. ඒ ආකාරයට අකුසල් නො කර සිටීමට ඉදිරිපත්
වන්නේ ඤාණය යි. ඒ ඤාණය ක්‍රියාත්මක කරවන්නේ වීර්යය යි. ඤාණය යි, වීර්යය යි කියන්නේ
එකට පිහිටිය යුතු ගුණ ධර්මය දෙකක්.
බුදුරජාණන් වහන්සේගේ කාලයේ සෝණ නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. ඒ සෝණ
ස්වාමින් වහන්සේගේ වීර්යය ගැන සාමාන්‍ය මනුෂ්‍යයෙකුට හිතා ගන්නවත් බැහැ. උන්
වහන්සේට බොහෝ කාලයක් චිත්ත සමාධියක් ඇතිවුණේ නැහැ. උන්වහන්සේ සමාධිය ඇතිකර ගැනීම
පිණිස සක්මන් කරද්දී සක්මනේ ම කකුල තුවාල වුණා. දැන් දණ ගාගෙන සක්මන් කරනවා. ඊට
පස්සේ උන්වහන්සේ සිතුවා “මට පින මදි ඇති. මට කුසල් වඩන්න වාසනාව මදි ඇති. ඒ නිසා
ගෘහස්ථ ජීවිතයක් ගෙවමින් මම නැවත පින් දහම් කරගෙන වාසය කරනවා” කියා. නමුත්
උන්වහන්සේ ඒ සිතුවිල්ලට ඉඩ නොදී නැවතත් වීර්යය කර අන්තිමට අරහත්වයට පත්වුණා. එය
අසාමාන්‍ය වීර්යයක්.
ථේර ගාථාවන්හි එක් රහතන් වහන්සේ නමකගේ සිද්ධියක් සඳහන් වෙනවා. ඒ රහතන් වහන්සේ
අරහත්වයට පත්වෙන්න කලින් දවසක් රාත්‍රියේ සක්මන් කරනවා. සක්මන් කරද්දී නිදිමත කො
තරම්ද යත් නින්ද ගොස් සක්මනේ ම වැටෙනවා. අප නම් සාමාන්‍යයෙන් භාවනා කරමින් සිටිද්දී
පොඩ්ඩක් නිදා වැටුණොත් එතැනම වැටිලා නිදා ගන්නවානේ. අපට සමාධියක් වඩන්නට කොපමණ
ආශාවක් තිබුණත් සමාධිය වඩන්න තිබෙන ඒ ආශාව මැඬගෙන අපේ හීන වීර්යය ඉස්මතු වෙනවා.
නමුත් අර ස්වාමින් වහන්සේ වැටුණට පස්සේ නැගිට්ටා. හොඳට සිහිය පිහිටුවාගෙන දෙවනි
වරටත් සක්මන් කළා. ඒ වතාවේ සාර්ථක වුණා. උන්වහන්සේගේ සමාධිය අරහත්වය දක්වා වැඩී
ගියා.
සමහර අවස්ථාවල අපට හිතෙනවා අප ගන්න උත්සාහය අසාර්ථකයි කියා. නමුත් ඒ අසාර්ථක බව
මැඬගෙන අප යළි උත්සාහ කළොත් එය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේ ම අප ශ්‍රේෂ්ඨ ගුණධර්ම
ඇතිකර ගැනීමට ඉතා වේගයෙන් අපේක්ෂා කරනවා. අප ක්ෂණිකව ඉතා වේගවත් වර්ධනයක් ඇතිවෙයි
කියා හිතනවා. ඒක අප කරන ලොකු වැරැද්දක්. නමුත් බලාපොරොත්තු වුණත් නැතත් අඛණ්ඩව යම්
දෙයක් කළේනම් එය සාර්ථක වෙන්න පුළුවන්.
- නයනා නිල්මිණි |