UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

ඉල් පුර අටවක 2017.10.27

පෞරුෂයේ පදනම තේරුම් ගැනීම වැදගත්

විවිධාකාර වූ පවුල් පරිසරයන්ගෙන් පාසලට පැමිණෙන දරුවන් හැඩ ගැස්වීමෙහි ලා ගුරු මවකට, ගුරු පියෙකුට මනා පෞරුෂයක් තිබිය යුතුම ය. බුදු දහම අවධාරණය කර තිබෙන්නේ මනා පෞරුෂයකට නම් නිවැරැදි බව අත්‍යවශ්‍ය බව ය. පුද්ගල පෞරුෂයේ පදනම නිවැරදි විය යුතු බවය. අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයෙහි ඒ නිවැරැදි බව පිළිබඳ මනා විස්තරයක් ඉදිරිපත් කෙරේ. ඒ අනුව තමන්ගේ සෑම චර්යාවක ම ඵලය තමන්ට අයහපත් නොවන, අනුන්ට ද අයහපත් නොවන, දෙ පිරිසට ම අයහපත් නොවන්නක් විය යුතු ය.

වෙසෙසින් දරුවන් ශික්ෂණය කිරීමෙහි ලා ගුරු මව්පියවරුනට පැවරෙන වගකීම අධ්‍යාපනය ලබා දෙන්නා සේ ම සම වූවකි. වැරැදි කරන දරුවන් ඔවුන්ට කායික, මානසික පීඩාවක් නොවන සේ හික්මවීමට නම් ගුරුවරයා තුළ මානසික පිබිදීමක් තිබීම අත්‍යවශ්‍ය ය. එනම් තමන් කරන සෑම චර්යාවක්ම සිහියෙන් කළ යුතු ය. ගන්නා තීරණය නිවැරදි විය යුතු ය. එවිට ආවේගශීලීව ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නට හෝ ඉන් ලැබෙන ඵලය ගැන පසුවට පසුතැවිලි වන්නට සිදු වන්නේ නැත. සරලව කියනවා නම් ඒ තීරණ ගුරුවරයාට මෙන් ම ළමයාට ද හිතකාමී ය.

ගුණ නැණ බලෙන් යුතු උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් මේ සමාජය හැඩ ගැන්වී තිබෙන්නේ ගුරු මවුපියන් ඔවුන්ට නිසි වයසේ නිසි මඟ පෙන්වූ නිසා ය. ළමයින්, ළමයින් මිස වැඩිහිටියන් නොවේ. වැරැදි කිරීම ඔවුන්ගේ සාමාන්‍ය ස්වභාවය විය හැකි ය. ඇතැම් විට වරදක බරපතලකම් තේරුම් ගන්නට ඔවුන්ට දැනුම් තේරුම් නැත. ගඟ තරණය කරන්නට මව් දෙනගේ හඬ ගව දරුවා පොළඹවන්නා සේ හොඳ නරක තෝරාගෙන, බාධක ජය ගනිමින් ජීවිතය තරණය කරන්නට ළමයාට ගුරුවරයා මඟ පෙන්විය යුතු ය. ඒ කාර්ය අකුරටම ඉටුකරන දෙවිවරුන් වන් ගුරුවරු ලැබීම සමාජයක් ලෙස අප ලද භාග්‍යයකි. එහෙත් කලාතුරකින් ඒ ගුණ ඉක්ම වූ ගුරු වෘත්තියෙහි නියැළෙන්නන්ද වන බව වාර්තාවන බව විවිධ සිදුවීම් අනුව පෙනේ.

විනය විරෝධී හෝ වෙනයම් වරදක දී දරුවාට දඬුවම් දීම වැරැදි නැත. ඒ දරුවන් හික්මවා ගැනීමට ය. මැණිකක් කපා ඔප මට්ටම් කර එහි වටිනාකම වැඩි කරගන්නා සේ ළමයා ද ඔප මට්ටම් කරගත යුතු ය. එහෙත් ඒ දඬුවම ළමයා තවත් කායික, මානසික පීඩනයකට ඇද දමන්නක් නොවිය යුතු සේ ම අනාගතය විනාශ කරන්නක් ද නොවිය යුතු ය. දැඩි වරදක දී දරුවා පාසලකින් ඉවත් කළ ද ලජ්ජාවට පත් නොවී ජීවත්වන්නට හැකි ලෙස, උපායශීලී ක්‍රියාමාර්ගයන් ගත යුතු ය. මනුෂ්‍යත්වය වන්නේ ද එයයි.

මේ ගැන අනවධානයැති ඇතැම් ගුරුවරු අදාළ ළමයින්ට ප්‍රසිද්ධියේ දඬුවම් දෙති. සමහරවිට ඒ කායිකවත්, මානසිකවත් උහුලන්නට බැරි දඬුවම් ය. පාසලේ සිසු දරු දැරියන් ඉදිරියේ ලජ්ජාවට පත්වන ඒ දරුවා ග්‍රාමීය පරිසරයක නම් ගමේ දී ද විවේචනය වේ. එවිට බිඳ වැටෙන මනස යළි ප්‍රකෘති කළ නොහැකි ය.

එක්තරා සෙන් ගුරුවරයෙක් සිටියේ ය. සිය පන්තියේ ගෝලයන්ගේ යම් යම් දේ නැතිවන බවට වරින්වර ඔහුට පැමිණිලි ලැබිණි. සොරා කවුදැයි දැන සිටිය ද, ගුරුතුමා සොරකම් නොකරන ලෙස සිය ගෝලයින්ට අවවාද දුන්නේ පොදුවේ ය. දිනක් සොරා අල්ලාගෙන ළමයින් විසින් ගුරුතුමාට ඉදිරිපත් කර කියා සිටියේ සොරකම් කළ සිසුවා පාසලෙන් අස් කරන ලෙස ය. එසේ නොකළොත් වෙනත් ගුරුවරයකු සොයා ගන්නා බව ද ඔවුහු කීහ. ටික වේලාවක් නිහඬව සිටි ගුරුතුමා පැවසුවේ ඔබලා හරිම හොඳ දරුවන් නිසා ඕනෑම ගුරුවරයෙකු ආදරයෙන් බාර ගන්නා බවත්, සොරකම් කළ මේ දරුවා බාර ගන්නට කිසිම ගුරුවරයෙක් කැමැති නොවනු ඇති බවත් ය. තවමත් සොරකම හොඳ ද නරක ද කියා නොදන්නා මේ ළමයාට එය කියා දෙන්නට ඉන්නේ මම පමණයි. ඔබ සියලු දෙනා යන්න. මම ඔහුට උගන්වන්න නම් යැයි ද කීවේ ය. අදාළ සිසුවා ඉකි ගසමින් හැඬුවේ ය.

සෙන් ගුරුවරයාගේ හැසිරීම පිළිබඳ මේ පුවත පළ කර තිබුණෙ අපේ මහා විද්‍යාලයක විදුහල්පතිවරයෙකු විසින් ලියු ලිපියක ය. ඔහු ඒ සටහන තබා තිබුණේ සිසු දරුවන් ගැන අපමණ වූ ආදරයකිනි. ආමන්ත්‍රණය කොට තිබුණේ සමස්ත ගුරුපරපුරටය. මෙවන් ගුරුවරු ලද ශිෂ්‍යයෝ ද භාග්‍යවන්තයෝ ය.

ජාතක කතා පොත්වහන්සේ තුළ එන තිලමුට්ටි ජාතකයේ දිසා පාමොක් ඇදුරුතුමාගේ ක්‍රියාව විමසීමෙන් ද අපුර්ව ආදර්ශයක් ගත හැකි ය. එතුමා රජකුමරෙකුට වුව සොරකමේ දී දුන් දඬුවම නිවැරදි විය. අනාගතයේ ඉන් තමන්ට ලැබිය හැකි දඬුවම ගැන එතුමා නොතැකුවේ ය. ඒ මධ්‍යස්ථ තීරණය අනාගතයේ සොරෙක් නොව රජෙකු බිහි කළේ ය. දඬුවම ලබා දුන්නේ ද කෙනෙක් කී පමණින් නොවේ. තල කෑ පුවත ගැන කුමරුගෙන් ම විමසා සැක හැර දැන ගැනීමෙන් ය. එහි අවසානය අපේ ගුරු භවතුන්ට සිතන්නට යමක් ඉතිරි කරයි. ඒ දරුවන් වරදින් මුදවා ගැනීම, මෙත් කරුණා මුදිතා උපේක්ඛා ආදි ගුණ වර්ධනය කර ගැනීම, දරුවන්ගේ අනාගතය තුළින් ගොඩනැඟෙන රටේ අනාගතය තමන් අත රැඳී ඇති බව සිතීම ආදි ගුණාංග තමන් තුළ වර්ධනය කර ගැනීමට ය.

 

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 27 වනදා සිකුරාදා අපරභාග 02.45 ට ලබයි. 28 වනදා සෙනසුරාදා අපරභාග 04.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වනදා සිකුරාදා ය.
 

මීළග පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]