UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

හේන්පිටගෙදර ඤාණාවාස නා හිමි

දිවුලපිටිය හේන්පිටගෙදර කොරනේලිස් පෙරේරා සකලසූරිය පවුලේ කනිටු පුතණුවන් ලෙස 1917 ජනවාරි 14 දින උපත ලැබූ පින්වත් දරුවා නමින් කරුණාතිලක සකලසූරිය නම් විය.

සකලසුන්දරාරාම විහාරස්ථානය සඟසතුකර පූජා කරන අවස්ථාවේ දී සකලසූරිය පවුලේ අය විසින් කරුණාතිලක සකලසූරිය කුඩා දරුවාද සසුනට පූජා කරන ලදී. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරන්දරව වැඩ විසූ හිස්සැල්ලේ ඤාණෝදය මහා නාහිමියන් වෙතින් 1926 දී හේන්පිටගෙදර ඤාණාවාස නමින් පැවිදි ජීවිතයට ඇතුළත් විය.

පැවිදි ජීවිතයට අදාළ මූලික අධ්‍යාපන කටයුතු බලගල්ල සරස්වතී මහ පිරිවෙනින් ලැබූ අතර වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා රත්නපුර ශ්‍රී සුමන මහ පිරිවෙනට වැඩම කරවන ලදී. 1940 දී උපසම්පදා විය. 1946 දී රාජකීය පණ්ඩිත උපාධියත් 1955 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධියත් ලබා ගැනීමට සමත් විය. 1964 දී දර්ශන විශාරද උපාධියද ලබා ගත්තේ ය.

රත්නපුර ප්‍රදේශයේ ඉමහත් ප්‍රසිද්ධියට පත් ශ්‍රී සුමන විද්‍යාලය හා සුමන බාලිකා උසස් විද්‍යාලය ආරම්භ කිරීමේ දී මූලිකව කටයුතු කළේ ය. විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පාලි අංශයේ මහාචාර්යවරයෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ අතර විදේශ රටවල් කිහිපයකම බුද්ධ ධර්මය පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළේ ය. රත්නපුර ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානයේ මෙන්ම බලගල්ල සරස්වතී මහ පිරිවෙනෙහි ද අධිපතිධූරය ද ඉසිලූහ. හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් සමඟ සෙවනැල්ලක් මෙන් කටයුතු කළහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ව්‍යවස්ථාව සකස් කිරීම, බෞද්ධ කොමිෂන් සභා වාර්තාව, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිහිටුවීමේ ව්‍යවස්ථාව සකස් කිරීමේ දී ද මුල් තැන ගෙන කටයුතු කළහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ නාහිමියන් නිකායේ දියුණුව උදෙසා ද මහත් සේවාවක් ඉටු කළේ ය.

1986 නොවැම්බර් මස 02 දින අපවත් වී වදාළ හේන්පිටගෙදර ඤාණාවාස නාහිමියන් විසින් ඉටු කළ සේවාවන් අගය කිරීමක් වශයෙන් සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘත්‍යාධිකාරී බුළුගහපිටියේ සුමංගල හිමියන් හා විහාරස්ථාදායක සභාව ශ්‍රී සුමන දහම් පාසල බෞද්ධ කාන්තා සමිතිය ඒකාබද්ධව රත්නපුර ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානයේ කඨින පින්කමට සමගාමීව ගුණ සමරු විශේෂ පින්කම් මාලාවක් ඔක්තෝබර් 27 දින සිට සංවිධානය කර ඇත.

හෙන්පිටගෙදර ඤාණාවාස නාහිමියන් වහන්සේට නිවන් සුව අත්වේවා.


අපවත්වී වදාළ නාගොඩ අමරවංශ නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහ පිරිවෙනේ විහාරාධිපතිව වැඩ විසූ ආචාර්ය නාගොඩ අමරවංශ නා හිමියෝ ඉකුත් දා (22) අපවත් වූහ.

අපවත්වන විට හැටනව වැනි වියේ පසු වූ උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ධුරන්ධරව වැඩ විසූ බද්දේගම විමලවංශ නා හිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් වූ අතර විමලවංශ නා හිමියන්ගේ අපවත්වීමෙන් පසු මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහ පිරිවෙනේ අධිපතිත්වයට පත් වූහ.

වලේබොඩ ගුණසිරි, සිලෝගම විමල, බඳගිරියේ සෝමවංශ, ඇල්ලේ ගුණවංශ, මහාචාර්ය මැදගම නන්දවංශ, මානම්පිට අග්ගධම්ම, ගම්මැද්දේගොඩ සෝරත හිමිවරුන් වැනි කීර්තිධර මහා ස්වාමීන් වහන්සේලාගේ පැවිදි සහෝදරයාණන් වහන්සේ නමක වූහ.

ශ්‍රී ලංකා මහ පිරිවනේ නූතන ප්‍රබෝධයට සුවිසල් මෙහෙවරක් ඉටු කළහ. භාෂා කිහිපයක හසල දැනුමෙන් යුක්ත වූ නාහිමියෝ ජපානය, ඉන්දියාව, චීනය, නේපාලය, කොරියාව ඇතුළු රටවල් රැසක විදෙස් ධර්මදූත සේවාවේ යෙදුණහ.

පසුගිය දිනවල රෝගී තත්ත්වයෙන් පසු වුවද නාහිමියෝ මීට මාස කිහිපයකට පෙර ජපානයේ ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතවූහ. අන්‍යාගමිකයන් හා අන්‍ය ජාතීන් සමඟ ද සුහදව කටයුතු කළ උන්වහන්සේ අපවත්වන විට මහා මහින්ද ජාත්‍යන්තර ධර්ම සභාවේ අනුශාසක ධූරය දැරූහ. එමෙන්ම අන්තර් ආගමික සමුළු හා සංවිධානවල නිලතල හෙබවූහ. නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය 25 වනදා සිදු කිරීමට නියමිතව තිබිණි.


රද්දොළුවේ විමලවංස අනු නා හිමි

රද්දොළුව ශ්‍රී සුබෝධාරාමාධිපති රද්දොළුවේ විමලවංස අනුනාහිමියන්ගේ උපසම්පදා දිවියට අඩසිය වසරක් සපිරීම නිමිත්තෙන් උන්වහන්සේ විසින් සිදුකර ඇති ශාසනික සේවාව සඳහන් විශේෂ ශිලා ලේඛනයක් මෙම 29 වන දා පෙරවරුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ සුරතින් සුබෝධාරාමයේ දී නිරාවරණය කෙරේ. විහාරස්ථ දායක සභාව මගින් එම සමහරු සටහන පිහිටුවා ඇත.

1945 ජනවාරි 19 වන දා රද්දොළුවේ වෛද්‍යාචාර්ය ඩී.එස්. පෙරේරා සහ චාලට් පීරිස් දම්පතීන් වෙත පින්බර පුත් රුවනක් ලැබිණි. එම කුමරුවා නිසි වියේ දී රද්දොළුව පඤ්ඤානන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

පෙර පින් මහිමයෙන් 1964 මාර්තු 12 වන දා රද්දොළුව අභිනවාරාමයේ දී රද්දොළුවේ අරියවංශ නාහිමියන්ගේ සහ රද්දොළුවේ අමරවංශ නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි බිමට පත් විය. පානදුර රන්කොත් විහාරස්ථ සෞගත විද්‍යාලයෙන් පැවිදි අධ්‍යාපනය ලබා එහි ආචාර්යවරයෙකු ලෙසද සේවය කළේ ය.

1997 වසරේ දී ජර්මනියට වැඩම කළ විමලවංස හාමුදුරුවෝ ඉතාලියේ සිසිලි දූපතේ සිසිලි විහාරයේ ආගමික කටයුතුවල ද නිරතවූහ. 2003 වසර දක්වා ලොව පෙර අපර දෙදිග රටවල් රැසක ධර්මදූත මෙහෙවරෙහි නිරත වූ උන්වහන්සේ සුබෝධාරාමයට වැඩම කර ශ්‍රී ධර්මානන්ද පිරිවෙන අරඹා එහි පැවිදි සිසුන් 40 කට වැඩි පිරිසකට අධ්‍යාපනය ලැබීමට සැලැස්වීමෙන් ඉමහත් ශාසනික මෙහෙවරක් සිදුවේ. අමරපුර පාර්ශ්වයේ කාරක සංඝ සභික ධූරය ලද උන්වහන්සේ එම පාර්ශ්වයෙහි ලේඛකාධිකාරී ධූරයද හෙබවූහ. පළාත්වාසීන්ගේ ආගමික සාමාජික කටයුතුවලදී අනූපමේය අනුග්‍රහයක් දක්වන විමලවංස හාමුදුරුවෝ ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ගෞරවයට ලක්ව වැඩ වෙසෙන සංඝපීතෘන් වහන්සේ නමකි. අල්පේච්ඡ, සරල දිවි පෙවෙතකට හිමිකම් කියන විමලවංස නායක හාමුදුරුවෙන්ගේ නිහඬ මෙහෙවර ආදර්ශවත් වේ. වාර්ෂික කඨින පින්කම ද මෙම 29 වනදා පැවැත්වේ.


මතුගම ගුණරතන නා හිමි

ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන තල්ගස්යාය ශ්‍රී අශ්වත්ථාරාමාධිපති ගාල්ල ශ්‍රී පියරතන පිරිවෙනහි කෘත්‍යාධිකාරී, මතුගම ගුණරතන නාහිමිපාණෝ සැප්තැම්බර් මස 05 වැනි දින 64 වන වියට පා තැබූහ.

උන්වහන්සේගේ මව්පියදෙපළ වූයේ නැසීගිය ප්‍රේමා දොන් කුලසේකර උපාසිකා මාතාවත්, කළුතර හිටපු සුළු නගර සභා නාගරික මන්ත්‍රී හා අනුරාධපුර හිටපු නාගරික කොමසාරිස් නැසීගිය කේ.එන්. ඊ.පී. රාජකරුණා මහතා ය.

උන්වහන්සේ මූලික අධ්‍යාපනය ලැබුවේ කළුතර, කටුකුරුන්ද ධර්මපාල මහා විද්‍යාලයෙන් ය.

අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත තෙල්ලඹුරේ සිරි පවරකිත්ති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක හිමිපාණන් වහන්සේ හා අපවත්වී වදාළ රාජකීය පණ්ඩිත ග්‍රන්ථ විශාරද මහෝපාධ්‍යාය හෑගොඩ සිරි ධම්මින්ද කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හිමිපාණන් වහන්සේගේත් ආචාර්ය උපාධ්‍යායත්වයෙන් මතුගම ගුණරතන නමින් 1966 පෙබරවාරි මස 21 වන දින පැවිදි බිමට විය.

ඒ වයස අවුරුදු 13 දී ය. පසුව ත්‍රිපිටක ධර්ම ශාස්ත්‍ර ඉගෙනීම සඳහා ගාල්ල බෝපේ ශ්‍රී පියරතන පිරිවෙන හා ගාල්ල, චීන කොරටුව ශ්‍රී පුඤ්ඤාසාර පිරිවෙනින් අධ්‍යාපනය හැදෑරූ උන්වහන්සේ, උසස් අධ්‍යාපනය ද ලදහ.

උගතමනා බණ දහම් ඉගෙනීමෙන් පසු 1974 ජූලි 27 වන දින මහනුවර ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ උපෝෂිත පුෂ්පාරාමයේ දී උපසම්පදාව ලදහ.

ගමට ආලෝකයක් වෙමින් විහාරාරාම කර්මාන්ත මෙන්ම ශාසනික, සමාජීය, ආගමික කටයුතු, පොදු සමාජ සේවාවන් කිරීමට නැඹුරුවිය. විහාරයට අනුබද්ධ ශ්‍රී පවරකිත්ති දහම් පාසල ආරම්භ කළහ.

නිරන්තරයෙන්ම පොදු කටයුතුවලදී පෙරමුණ ගෙන කටයුතු කරන නාහිමිපාණෝ 1984 දී ස.ණ.ස සමිතිය ආරම්භ කරමින් එහි වර්තමානය දක්වා සභාපති ධූරය හොබවමින් සිටිති. උන්වහන්සේට චිර ජීවනය පතා බිනර පුර පසළොස්වක පොහොය දින තල්ගස්යාය අශ්වත්ථාරාමයේ දී විශේෂ පින්කමක් පැවැත්විණි.

 

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 27 වනදා සිකුරාදා අපරභාග 02.45 ට ලබයි. 28 වනදා සෙනසුරාදා අපරභාග 04.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වනදා සිකුරාදා ය.
 

මීළග පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]