වප් අව අටවක 2017.10.12
දරුවන් ගැන
මවු පිය අවධානය වැඩිපුර ඕනෑ
ලෝක ළමා දිනය ද, වැඩිහිටි දිනය ද ඉක්ම ගියේ ය. ලබන වසරේ ද ලෝකයේ ම ළමයින් ගැන කතා
කරන, ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කෙරෙන, තීන්දු තීරණ ගැනෙන තවත් ළමා
දිනයක් සැමරෙනු ඇත. දිනයක් වෙන්කළ ද, උදාවන සෑම දවසක් ම, ගෙවී යන සෑම මොහොතක් ම
ළමයින් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ, විශේෂ ආරක්ෂාවක් හා සැලකිල්ලක්
ලබා දිය යුතු වන්නේ වඩාත් පහසුවෙන් බාහිර සමාජයේ පීඩාවන්ට ගොදුරු වන්නේ ළමයින් ම වන
නිසා ය. වැඩිහිටියන් වී රටේ අනාගතය තීරණය කරන්නේද ඔවුන් වන නිසා ය. විනයකින්,
ශික්ෂණයකින් යුතු, ශක්තිමත් පෞරුෂයකින් හෙබි වැඩිහිටියන් නොවුණේ නම් රටක, ලෝකයක
ඉදිරිය ද, පැවැත්ම ද අස්ථාවර හා ගැටලු සහගත වීම වැළැක්විය නොහැකි ය.
ජාතියේ දරුපරපුර දැනුමෙන් මෙන් ම ගුණයෙන් යුතු යහපත් දරු පරපුරක් ලෙස ගොඩනැගීමට රජය
කැපවන බවත්, දරුවන්ගේ ආරක්ෂාවත්, අභිවෘද්ධියත් වෙනුවෙන් ගතයුතු හැම පියවරක් ම රජය
මඟින් ගනු ලබන බවත් ලෝක ළමා දිනය වෙනුවෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී
සංවිධානය කර තිබූ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා අවධාරණය කර තිබුණි. එම තීරණය මෙරට සමස්ත ළමා පරපුර ම ලද භාග්‍යයකි.
එහෙත් රාජ්‍ය නායකත්වයට පමණක් එය තනිව කළ නොහැක්කකි. දරුවන්ගේ අභිවෘද්ධිය හා
ආරක්ෂාව මවුපිය දෙදෙනාගේ ද, භාරකරුවන්ගේ ද අනිවාර්ය වගකීමකි. ළමයා සිල්වතෙක් කිරීම
වෙසෙසින් කාලීන අවශ්‍යතාවයකි. සිල්වත් වීම යනු ශික්ෂණය වීම ය. විනයගරුක වීම ය.
හික්මීම ය. සංවර වීමය. ශීලය අවශ්‍ය වන්නේ සිතින්, කයින්, වචනයෙන් අපචාරී නොවී
තමන්ටද, සමාජයට ද අනර්ථයක්, අයහපතක් නොවී ජීවන හැසිරීම් පවත්වා ගන්නට ය. අද
වැඩිහිටි සමාජයේ එවන් අපගාමී තත්ත්වයන් අත් විඳින්නට ලැබෙනවා නම් ඒ වැඩිහිටි සමාජය
එදා ළමයින් ලෙස උකහාගත් අත්දැකීම් හා හුරු පුරුදු කරගත් චර්යාවන්ගේ වරද ය. වෙසෙසින්
බෞද්ධ සමාජයක එවැනි අනර්ථකාරී හැසිරීම් කිසිසේත් අත් නොදැකිය යුතු දේ ය. අපගේ
ශාස්තෘන් වහන්සේ පංචශීල ප්‍රතිපදාව හඳුන්වා දුන්නේ ගිහියන් ලෙස ජීවිතයේ නිත්‍ය
ප්‍රතිපදාව බවට පත් කරගන්නට ය. පන්සිල් සුරැකෙන සමාජයක, ඒ සඳහා අනාගත පරපුර ද
සූදානම් කරවන සමාජයක මතු කී විපරීතකම් ඇති වන්නේ නැත.
‘පුත්තා වත්ථු මනුස්සානං’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ දරුවන්
මනුෂ්‍යයාගේ සම්පතක් වන බව ය. ඒ වටිනාකම මිල කළ නොහැකි ය. මවක් සිය එකම පුතු තම
ප්‍රාණය හා සරිකොට දිවි හිමියෙන් රැක ගන්නා සේ ළමයින් වෙත වූ ගුණ ධර්ම ද ආරක්ෂා කළ
යුතු ය. ගුණ දහම් ඉගැන්වීමත්, හුරුපුරුදු කරවීමත් තුළින් අනාගතයේ රට බාර ගන්නා
වැඩිහිටි සමාජය අර්ථ සම්පන්න වනු ඇත.
මවුපිය අවධානය ගිලිහුණු වහා ම ළමයා හුදකලා වේ. එය අතිශයින් ම හානිකර ය. විශේෂයෙන් ම
තනි වූ ළමා පරපුර බිලි ගන්නට විවිධ සමාජ බලවේග බලා සිටී. සැඟවුණු මත්ද්‍රව්‍ය
ජාවාරම් කරුවන් ප්‍රධාන ය. මිතුරු වෙසින් ඔබගේ දරුවාට සමීප වී එවන් දුර්ජනයන් කඩා
කප්පල් කරන්නේ දරුවාගේ අධ්‍යාපනයයි. ව්‍යාකූල කරන්නේ මනසයි. විනාශ කරන්නේ රටේ
අනාගතයයි. ළමයින් ගැන මනා සෙවිල්ලක් අවශ්‍ය වන්නේ මේ නිසයි. මවුපිය දෙදෙනා දරුවාගේ
හොඳම ඇහුම්කන් දෙන්නන් විය යුතු ය. ඔවුන්ගේ සිතුම් පැතුම්, ඕනෑ එපාකම් තේරුම් ගන්නට
සාවදනානව කන්දීම ඇවැසි ය.
ලංකා ළමාරක්ෂක සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයෙක් වූ ජී. විමලසිරි මහතා පවසා
ඇත්තේ මවුපිය වැඩිහිටියන් නුරුස්නාබව, අකීකරු වීම, මවුපියන්ට නොදන්වා නිවසින් බැහැර
යාම, පාසල තුළ විනය විරෝධී ලෙස හැසිරීම, අධ්‍යාපනය දුර්වල වීම, දුම්වැටි, ගංජා වැනි
ද්‍රව්‍ය භාවිතයට යොමු වීම, පවුල් පරිසරය මඟ හැරීම, මුදල් සොරකම් කිරීම ආදී
හැසිරීම් දරුවන් අපචාරී වීමේ ලක්ෂණයන් බව ය. මේ සම්බන්ධව සෘජුව ම හෝ ආසන්න තත්ත්වයේ
නම් දරුවා මහා අනතුරක් අභියස සිටින බව ය.
මවුපියන්ගේ අවදිමත් බව ඇවැසි වන්නේ මෙවන් වැරැදි වන්නට පෙර දරුවන් මුදා ගන්නට ය.
එවිට මහලු වූ කල මවට පියාට රැකවරණය ලබා දෙන්නට ද දරුවා මනුෂ්‍යයෙක් ලෙස සුරැකෙනු
ඇත. |