UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ මහානායක පදවියෙන් පිදුම් ලබන ගිරාඹේ මංගල මහා නා හිමි ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අම්පාරේ දී

උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ මහානායක පදවියෙන් පිදුම් ලබන

ගිරාඹේ මංගල මහා නා හිමි ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අම්පාරේ දී

1983 ශී‍්‍ර නිකේත ජිනචක්‍ර දහම්පාසල නමින් විහාරස්ථානයේ පවත්වා ගෙන ආ දහම්පාසල ගුරුදේවයන් නාමයට උපහාර පිණිස ශ්‍රී ප්‍රඥාසාර දහම් පාසල නමින් නම් කොට දහම්පාසල් වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සව පවත්වා දහම්පාසල අඛණ්ඩව පවත්වාගෙන ඒමට පියවර ගන්නා ලදී.

ශාසන ශෝභන ශ්‍රී ප්‍රඥාසාර ත්‍රිපිටකාචාර්ය ගිරාඹේ මංගල මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ සුරතින් පිළිගැන්වීමේ මහෝත්සවය සැප්තැම්බර් 29 වනදා පස්වරු 3 ට අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිත ය.

උඩරට අමරපුර මහා සංඝ සභාවේ මහානායක වූ ද ධුරන්දර ව වැඩ විසූ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක සංස්කෘත චක්‍රවර්ති විද්‍යා විශාරද ද්වීභාෂාන්තර විශාරද රාජකීය පණ්ඩිත අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර උත්තරීතර මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ අපවත්වීමෙන් උඩරට අමරපුර සාමගී‍්‍ර මහා සංඝ සභාව මගින් අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය ගිරාඹේ මංගල අධිකරණ නා හිමියන් වහන්සේ මහානායක ධුරයට සමානච්ඡන්දයෙන් පත්කරන්නට යෙදුණි.

බදුල්ල දිසාවේ උඩුකිඳ උඩ පළාත කෝරළයේ ගිරාඹ නම් ග්‍රාමයේ දී කාංගනමුදියන්සේලාගේ පුංචි රාළ සහ දිසානායක මුදියන්සේලාගේ හීන්මැණිකා දම්පතීන්ගේ පින්වත් පුත් රුවනක් ලෙස සහෝදර සහෝදරියන් දස දෙනෙකු අතර හතරවන දරුවා ලෙස 1950 ජුනි 17 වනදා මෙම කුමරුවා උපත ලැබීය.

වැලිමඩ පාදිනාවෙල ග්‍රාමයේ කුඩා කල ජීවත් වූ අතර ඩී.එස්.සේනානායක අගමැතිතුමා ඇතිකළ ගල්ඔය ගොවි ජනපද ව්‍යාපාරයේ ඉඩම් ලාභීන් ලෙස 1954 දී ගල්ඔය අංක 27 ජනපදයේ තම මවුපිය සහෝදරාදීන් සමඟ පදිංචියට පැමිණියේය.

1957 සිට 1962 දක්වා අංක 27 ජනපදයේ වළගම්පුර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. වළගම්පුර ශ්‍රී නිකේත ජිනචක්‍ර විහාරාධිපතිව වැඩ විසූ මැදවෙල ශ්‍රී ප්‍රඥාසාර නා හිමියන් වෙත මව්පිය දෙපළ විසින් බාර කළ කුමරුවා එහි දී පන්සල් අධ්‍යාපනය හා පාසල් අධ්‍යාපන ද ලැබුවේය.

1962 දී වළගම්පුර ශ්‍රී නිකේත ජිනචක්‍ර විහාරස්ථානයේදී මැදවෙල ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ඌමැල්ලේ පඤ්ඤානන්ද නා හිමියන්ගේ හා දොඩම්දුවේ ධම්මරතන නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි දිවියට පත්විය.

1964 ජනවාරි 16 වනදා ස්වකීය ආචාර්යයන් වහන්සේ සමඟ පැමිණ පාගොඩ විද්‍යා විජයාරාමයේ දී දවුල්දෙණ ඤාණිස්සර නා හිමියන්ගේ පා සෙවණ ලබමින් එහි නේවාසික විය.අනතුරුව කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් විය. එකල පන්තිභාර ගුරුවරයා ලෙස ශාස්ත්‍රපති වේඩරුවේ අනෝමදස්සි නා හිමියන් කටයුතු කරන ලදී.

1969 වර්ෂයේ පෙරවරු කාලයේ විද්‍යෝදය පිරිවෙන ආරම්භ කළ ත්‍රිපිටක අංශයේ ප්‍රාරම්භ පන්තියට ඇතුළත් වූ අතර 1970 වර්ෂයේ ත්‍රිපිටක මධ්‍යම පරීක්ෂණයෙන් අරුණ වික්‍රමපාල ද්විතීය ත්‍යාගයෙන් හා අමරසේන අභිධම්ම ත්‍යාගය ද සහිතව ත්‍රිපිටක මධ්‍යම විභාගයෙන් සමත් විය.

1971 වර්ෂයේ ත්‍රිපිටක අවසාන ප්‍රථම විභාගයෙන් ජී.වී.ඩී. වික්‍රමසිංහ ශිෂ්‍යත්වය හා ශ්‍රී ප්‍රඥාසේකර ප්‍රථම ත්‍යාගය ද ලබා ගෞරව පන්තියේ ප්‍රමුඛයා ලෙස සාමාර්ථය ලැබීය.

1972 වර්ෂයේ ත්‍රිපිටක අවසාන ද්විතීය විභාගයෙන් ද ත්‍රිපිටකාචාර්ය උපාධිය සහිතව ගෞරව පන්තියේ ප්‍රමුඛයා ලෙස සාමාර්ථ ලැබීය.

1970 වර්ෂයේ දී කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් පවත්වන ලද අභිධර්ම විභාගයට පෙනී සිට ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන, විභාගවලින් සාමාර්ථය ලැබීය.

1971-1972 වර්ෂවලදී ශ්‍රී සුමංගල අනුස්මරණ සභාව මඟින් පවත්වන ලද සූත්‍ර , විනය, අභිධර්ම විභාගවලට ඉදිරිපත් ව සාමාර්ථය ලැබීය.

1971 දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද දහම්පාසල් අවසාන සහතිකපත්‍ර විභාගයට හා 1973 දී බෞද්ධ ධර්මාචාර්ය විභාගයට ඉදිරිපත්ව සාමාර්ථය ලැබීය.

1972 ජූලි මස 08 දින බදුල්ල මයිලගස්තැන්න ශ්‍රී සුදර්මාරාමස්ථ විශුද්ධ බද්ධ සීමා මාලකයේ දී ඌව සපුගොල්ල තපෝධාරාම මූලමහා විහාරාධිපති සිරිසුගත ශාසන වංශාලංකාර පියරතන ඌමැලේ පඤ්ඤානන්ද මහානායක මා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා සපුගොල්ල මූලමහා විහාරාධිවාසි දවුල්දෙණ ජිනරතන මා හිමි, දෙහිවල ආනන්ද ධර්මරාජ විහාරාධිපති බුස්දුල්ලේ ධම්මරතන නාහිමි, බදුල්ලේ මයිලගස්තැන්න ශ්‍රී සුධර්මාරාධිපති බදුල්ලේ සුගතඤාණ මා හිමි යන මාහිමියන් වහන්සේලාගේ කර්මාචාර්යත්වයෙන් උපසම්පදා සීලය ලබන ලදී.

1972 වර්ෂයේ උපසම්පදා විනය කර්මය අරමුණු කරගෙන රචනා කළ ‘සදිසා වැඳුම ’ ධර්ම ග්‍රන්ථය ධර්ම දානය පිණිස රචනා කරන ලදී.

1974 දී රචනා කළ ‘මානව චිත්ත තත්ත්වය’අභිධර්ම විෂය ඇසුරෙන් මිනිස් සිතේ ක්‍රියාකාරිත්වය පිළිබඳ කල විමසුමකි. ඉගෙනුම ලබන කාලයේදී ‘බුදුසරණ’ පත්‍රයට හා ‘සිංහල බෞද්ධයා’ පත්‍රයට ද වරින්වර ලිපි සපයමින් ධර්ම ශාස්ත්‍රීය වශයෙන් සේවය කොට ඇත.

1973 වර්ෂයේ රත්මලාන පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වූ අතර 1974 අවසානය දක්වා පුහුණුව ලබා ප්‍රවීනාචාර්ය සහතිකය ලබන ලදී.

1974 වර්ෂය වන විට වළගම්පුර ශ්‍රී නිකේත ජිනචක්‍ර විහාරය ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානය යන උභය විහාරාධිපති ගුරුදේව මැදවෙල ශ්‍රී ප්‍රඥාසාර නා හිමියන් තරමක අසනීප තත්වයෙන් පසු වූ නිසාත් පැවිදි සහෝදරයන් වැඩිදුර අධ්‍යාපනය ලැබීමට යාමට බලාපොරොත්තුව සිටි නිසාත් බෞද්ධ මධ්‍යස්ථායේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය නිසා පිරිවෙන් ගුරුවිද්‍යාලයේ අවසන් විභාගයට පෙනී සිට 1974 දී ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ නේවාසිකව කටයුතු කිරීම සඳහා පැමිණීමට සිදු විය.

1975 වර්ෂයේ ගැමුණුපුර පරම ධර්මෝදය දහම් පාසල ප්‍රතිසංස්කරණය කොට මැයි 17 වන දින ප්‍රථම ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වා, වාර්ෂිකව ත්‍යාග ප්‍රධානෝත්සව පවත්වමින් අධ්‍යාපන චාරිකාද සංවිධානය කරමින් මේ දක්වාම දහම්පාසල අඛණ්ඩව පවත්වාගෙන ඒමට අවශ්‍ය පසුබිම සකස් කළේය.

බෞද්ධ මධ්‍යස්ථානය ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවගේ උතුම් පුණ්‍ය භූමියක් බවට පත්කිරීමට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීමට පළමුව ඉඩම නිරවුල් කරගත යුතු නිසා 1975 වර්ෂයේ බෞද්ධ මධ්‍යස්ථානයට සමීපයේ පදිංචි අයට සුදුසු තැන් ලබා දී ඉඩම නිරවුල් කරගැනීමට පියවර ගන්නා ලදී.

අනතුරුව දානපති පරිත්‍යාගශීලින්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ ආධාරයෙන් විහාරස්ථානය සකලාංග සම්පූර්ණ කරවූයේ මහත් ධෛර්යයෙනි.

උහන සමණබැද්ද සිරිධම්මරතන පිරිවෙනේ කෘත්‍යාධිකාරි අමුපිටියේ ධම්මරංසි නා හිමියන්ගේ ඉල්ලීම පරිදි 1976.10.15 දින එම පිරිවනේ උපගුරුවරයෙකු ලෙස සේවය කිරීමට එක් වූ අතර 1980.10.01 දින සමණබැද්ද සිරිධම්මරතන පිරිවෙනේ පරිවෙණාධිපති ධුරයේ වැඩ බාර ගන්නා ලදී.

ගුරුදේව මැදවෙල ශ්‍රී ප්‍රඥාසාර අධිකරණ නා හිමියන් 1982 සැප්තැම්බර් 29 වන දින අපවත් වූ සේක.

වළගම්පුර ශ්‍රී නිකේත ජිනචක්‍ර විහාර ස්ථානයේ හා ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන වගකීම අකමැත්තෙන් නමුත් ගුරුදේවයන්ගේ අවසාන බලාපොරොත්තු ඉටුකරමින් විහාරස්ථාන දෙකේම වගකීම බාරගැනීමට සිදුවිය.

1983 ශී‍්‍ර නිකේත ජිනචක්‍ර දහම්පාසල නමින් විහාරස්ථානයේ පවත්වා ගෙන ආ දහම්පාසල ගුරුදේවයන් නාමයට උපහාර පිණිස ශ්‍රී ප්‍රඥාසාර දහම් පාසල නමින් නම් කොට දහම්පාසල් වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සව පවත්වා දහම්පාසල අඛණ්ඩව පවත්වාගෙන ඒමට පියවර ගන්නා ලදී.

1983 සැප්තැම්බර් ගුරුදේව නා හිමියන්ගේ ප්‍රතිමාව සහිත ස්මාරකය ගොඩනඟා එය විවෘත කිරීමද 1983 පෙර පාසල් වයසේ පසුවන සිගිති දරු දැරියන්ගේ ශුභසිද්ධය පිණිස සර්වෝදය ව්‍යාපාරයේද අනුග්‍රහය ලබා ජිනචක්‍ර පෙර පාසල හා සර්වෝදය ශ්‍රමදාන සමිතිය ආරම්භ කිරීමද ඇතුළු විහාරාංග රැසක් කරවූහ.

වළගම්පුර ශ්‍රී නිකේත ජිනචක්‍ර විහාරය ,ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරස්ථාන දෙක කේන්ද්‍රකොට ගෙන පවත්වාගෙන යන දහම් පාසල් හා සිඟිති පාසල්වල දරු දැරියන්ගේ හා අනාගත බාල පරපුරේ යහපත අපේක්ෂා කරමින් “යහපත් අනාගත පරපුරක් ගොඩ නඟමු” යන තේමාව යටතේ ගුරුදේව නා හිමියන්ගේ නාමය අනුස්මරණය කර 1995 පෙබ. 19 දින ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේදී ශ්‍රී ප්‍රඥාසාර සමගි පදනම ආරම්භ කරන ලදී

1983 මාර්තු 5 දින උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ කාරක සභාවට පත්වූ අතර 1994 නොවැ.4 දින සපුගොල්ල තපෝදාරාම මූල මහා විහාරස්ථානයේදී උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් එහි ප්‍රධාන අධිකරණ නායක පදවිය සඳහා තෝරා පත් කර ගන්නා ලදී.

 

වප් පුර අටවක පෝය


වප් පුර අටවක පෝය සැප්තැම්බර් මස 27 වනදා බදාදා අපරභාග 07.08 ට ලබයි. 28 වනදා අපරභාග 09.36 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් මස 05 වනදා බ්‍රහස්පතින්දා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]