අවබෝධයෙන්මෙනෙහි කරමු
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
රාග චරිතයට සුදුසු භාවනාව වන්නේ කායගතාසතියෙන් අශුභ කර්මස්ථානය යි. බුද්ධි චරිතයට
සුදුසු භාවනාව වන්නේ කායගතාසතියෙන් ධාතු මනසිකාකාරය යි.
මෙය ගැඹුරු බව නොසිතන්න. භාවනා ක්‍රමය සාර්ථකව ඉදිරියට ගෙන යන්න. දාන , ශීල පුණ්‍ය
කර්මයන් සිදුකරමින්, සිහි නුවණ දියුණු කරන ක්‍රමය බුදු දහමෙන් උගන්වා තිබෙනවා.
භාවනා කිරීම, ධර්ම ශ්‍රවණය, ධර්ම සජ්ඣායනය, ධර්ම සාකච්ඡාවෙන්, ධර්මය මෙනෙහි කිරීම
ආදියට කවුරුත් අනුයුක්ත වන්න. ඒ මඟින් තණ්හාව, තරහව, වෛරය , ක්‍රෝධය, ඊර්ෂ්‍යාව
අඩුකරගෙන මේ ගමන ඉදිරියට යන්න.
තණ්හාව, තරහව සිතෙන් තුරන් කරන්නට ලෙහෙසි පහසු නැහැ. ලෝ තලය පාලනය කළ මහා මණ්ඩාප
රජතුමා ගේ කාලයේ කහවුණු වර්ෂාවක් වැස්සා. ඒ සියල්ල ගබඩා කළ රජතුමාට එයත් මදි වුණා.
ඔහු කෙතරම් තණ්හාවෙන් මුසපත් වෙලා ද? සෑහීමට පත් නොවන ජීවිතයක්.
ලෝභ , ද්වේශ, මෝහයන්ගේ සන්සිඳීම සමථ භාවනාවෙන් ලැබෙන ආනිශංසයකි. එසේ නම්, කවුරුත්
තමන්ගේ සිත සංවර කර ගැනීමට, සිත දියුණු කර ගැනීමට සමථ භාවනාවක් වැඩිය යුතුම යි.
ඒ සමථ භාවනාවේ පිහිටාගෙන විදර්ශනා භාවනාව වැඩිය යුතු යි. විදර්ශනාව යනු අනිත්‍ය,
දුක්ඛ, අනාත්ම වශයෙන් සැලකීම යි. ඇත්ත ඇති සැටියෙන් සැලකීම යනු විපස්සනාව යි. ඇසෙන්
දකිනවා සේ ම සිතින් දැකීම ද විපස්සනාව යි. ‘වි – පස්සනා’ යනු විශේෂයෙන් දැකීමයි.
නුවණින් දැකීම යි. සත්ත්වයා ඉපදෙන, මිය යන බව වෙනස් වීම යි. මැටි බඳුනක් කැඩී බිඳී
යයි. ගසක් විනාශ වී යයි. ගේ දොර විනාශ වී යයි. එය යි ඇත්ත ඇති සැටියෙන් දැකීම
වන්නේ. එසේනම් ශීල සංස්ඛාරයෝ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණත්‍රයට වැටෙයි. නමුත්
නිර්වාණය මේ ත්‍රිලක්ෂණයට වැටෙන්නේ නැහැ. එය හොඳින් මතක තබා ගත යුතු යි.
පංච නීවරණයන්ගේ සංසිඳීමෙන් ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය ,
චතුර්ථ ධ්‍යාන ලබන්නට සමත් වනවා. මේ භාවනාව නිබඳව ම කිරීමේ දී අහසේ පාවෙනවා සේ
දැනෙනවා. ආලෝක පෙනෙන්නට පටන් ගන්නවා. මෙහිදී තමන්ගේ සිත නිශ්චල බැවින්, චංචල නොවන
බැවින් තමාගේ භාවනාව සාර්ථක වෙයි. ඒ නිසා එක ම අරමුණක් බොහෝ වේලාවක් මෙනෙහි කිරීමට
පුරුදු පුහුණු විය යුතු යි. කායගතාසතිය මෙනෙහි කරන්නේ නම් “කේසා” වදන සියවර, දසවර,
දස දහස්වර මෙනෙහි කරගෙන යන්න. එය තමාගේ චිත්ත සමාධිය පිණිස පවතිනවා. පිළිකුල්
භාවනාව කණ්ඩායම් වශයෙන් තච පංචකය සහ වක්ඛ පංචකය යනුවෙන් පෙර ලිපිවලදී සඳහන් කළා. මේ
දැනුම හොඳින් දියුණු තියුණු කරගන්න. ඒ සඳහා මේ කරුණු නිබඳව ම මෙනෙහි කළ යුතුයි.
දැන් අපි තෙවන කාණ්ඩයට යමු. එය පප්ඵාස පංචකය යි. හදයං(හෘද වස්තුව) ,යකනං(අක්මාව),
කිලෝමකං(දළඹුව– මෙය සමට යටින් පිහිටි සියුම් සිවියකි), පිහකං(ඇල දිව– අග්න්‍යාශය) ,
පප්ඵාසං(පපුමස) යන කරුණු පහයි. මෙයත් පෙර සේ ම මෙනෙහි කරන්න. මේ කයෙහි හෘද වස්තුව
වර්ණයෙන් පිළිකුල් ය. සටහනින් පිළිකුල් ය. ගන්ධයෙන් පිළිකුල් ය. ආශි‍්‍රත
කුණුපයන්ගෙන් පිළිකුල් ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල් ය. මෙසේ අනෙක් කොටස් ද වාර
පහ බැගින් වාර විසි පහක් මෙනෙහි කරන්න. මෙය අවබෝධයෙන් මෙනෙහි කළ යුතු යි. මතකය ඇති
නුවණැත්තන් පමණක් මෙය තවදුරටත් මෙනෙහි කිරීමේ දී, මේ කයෙහි හෘද වස්තුව සත්ත්වයෙක්
නො වේ, ජීවියෙක් නො වේ, ආත්මයක් නොවේ, නිසත්ත්ව වූ, නිජීව වූ, ශූන්‍ය වූ, අචේතනික
වූ, අව්‍යාකෘත වූ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු මාත්‍රයකි. එම නිසා මේ කයෙහි හෘද
වස්තුව අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්ම යි. මෙසේ ම ඉතිරි කොටස් ද මෙනෙහි කරන්න. දැන්
ඔබ කායගතාසතියේ තච පංචකය, වක්ඛ පංචකය, පප්ඵාස පංචකයෙන් කරුණු පහළොවක් ඉගෙන ගත්තා.
එය බොහොම වැදගත්. මතක ශක්තිය අඩුනම් කේසා යනුවෙන් මෙනෙහි කළත් ප්‍රමාණවත්. එය තමන්ට
මාර්ගඵල අවස්ථාව දක්වා යොමුවන්නට සමත් වෙනවා. පුරාණ ආචාර්යවරුන් පවසන්නේ එකම කොටසක්
සති ගණනක් මෙනෙහි කරන ලෙසයි. මේ එක කොටසක් (තච පංචකය, වක්ඛ පංචකය, පප්ඵාස පංචකය)
සති තුනක්වත් මෙනෙහි කිරීමෙන් තමන්ට බොහෝ දැනුමක් ලැබෙයි.
ධාතු මනසිකාරය යනුවෙන් සඳහන් කරන්නෙත් මෙහි ම පඨවි , ආපෝ, තේජෝ, වායෝ කොටස් හතර
මෙනෙහි කිරීම යි.
බුද්ධ ශාසනය පාදකව ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණුවෙන් ධ්‍යාන, අභිඥ්ඥා, විපස්සනා,
මාර්ග ඵල සහ නිවන වූ උත්තරීතර ධර්මාවබෝධය ලබන්නට පුළුවන්කම තිබෙයි. එය සොයාගෙන
යන්නට අවශ්‍ය නැහැ. භාවනා ක්‍රමය නිවැරැදිව කළොත් එය තමන්ට ලැබෙන විපාක වාරයක්
වෙයි. භාවනාව ප්‍රගුණ කිරීමෙන් අවසන් ගමන යන සැමටම හොඳ සිතකින් ඒ ගමන යන්නට පුළුවන්
වෙයි. පරලොව ගමන යහපත් වෙයි. සංසාර ගමන කෙටි වෙයි. දුක්ඛ,සමුදය, නිරෝධ, මාර්ග
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එයයි අපට අවශ්‍ය ම කරන්නේ. සංසාරයේ සැප
නැහැ. දුකමයි. මනුලොව උපත ලැබුවත්, දෙව්ලොව , බඹලොව උපත ලැබුවත් දුක මයි. හේතුව
මරණින් මතු ඒ අයත් අපායගාමී වීම යි. අපායේ විඳින දුක අනන්ත යි. එසේ නම් නිවන්
සම්පත් පතාගෙන කුමන පින්කමක් කළත් නිවන් සම්පත් ලබන්න පුළුවන්.
ආලාරකාලාම, උද්දකරාම පුත්ත, අසිත තාපසතුමා, සංජය පරිබ්‍රාජකතුමා, වැනි ප්‍රසිද්ධ
ආචාර්යවරුන් නිවන් සම්පත් පතාගෙන බණ භාවනා කළේ නැහැ. ඒ අය ධ්‍යාන , අභිඤ්ඤා ලබා ගෙන
අහසින් ගමන් කිරීමට සමත් වුණත් උපත ලැබුවේ අරූපාවචර බඹතලවල යි. ඒ අය නිවන් සම්පත්
නොපැතූ බැවින් බඹලොව උපත ලැබුවත් නරකාදී දුකට වැටෙනවා. මේවා සලකාගෙන අප නිවන්
සම්පත් පතා දාන, ශීල, භාවනා, පින්කරන බැවින් සංසාර ගමන වරදින්නේ නැහැ. සංසාර ගමන
සුගතියට පත්වෙන්න පුළුවන්කම තිබෙනවා. සසර ගමන සුවපත් කරගැනීමේ භාරකාරත්වය ඇත්තේ
තමන්ටම යි. ක්‍රමය, ධර්මය පහදා දුන්නත් මේ ගමන යා යුත්තේ අවබෝධයෙන් තමන්ම යි. දෛනික
කටයුතු ගැන පමණක් කල්පනා නොකර පරලොවක් , අපායක් තිබෙනවා, එහි දුක අනන්තයි යනුවෙන්
සිතා පරම පිවිතුරු චේතනාවෙන් උතුම් පින් දහම් කරගන්න. භාවනා ක්‍රමයෙන් ලැබෙන පිනෙහි
මහිමයෙන් මෙලොව යහපත සලසාගෙන ඉක්මනින් ම නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා!
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |