කරණීය මෙත්ත
සූත්‍රයෙන්...
සිත්
සනසන
මෙත්තාව
කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නා හිමි
මෛත්‍රී භාවනාව වැඩීමට උනන්දුවක් ඇති කෙනෙකු තුළ තිබිය යුතු මූලික අංග ලක්ෂණ මොනවා
ද යන්න කරණීය මෙත්ත සූත්‍රයේ අන්තර්ගත ය. ඒ පිළිබඳ අනවබෝධය ඇති බොහෝ අය සිතන්නේ එම
සූත්‍රය භාවනාව උගන්වන සූත්‍රයක් ලෙසයි.
ඉතා සුළු පිරිසක් තරහ සිතින්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, නො සන්සුන් සිතින්, කපටිකමින්,
අසාධාරණ වැඩ කරමින්, නොයෙක් දුශ්චරිතයන් හි යෙදෙමින් කටයුතු කළ ද, බොහෝ පිරිසක්
තමන් ජීවත්වන සමාජයට මෛත්‍රීය, ශාන්තිය, සිසිලස පතුරුවන ආකාරය පෙනෙන්නට තිබෙනවා.
එසේ මෛත්‍රී සිතිවිලි වඩන ඕනෑම කෙනෙක් ඊට සුදුසු ලෙස තමන්ගේ හැසිරීම් පවත්වාගත යුතු
යි. ලෝකයට නියම මෛත්‍රියක් ප්‍රදානය කළ හැකි වන්නේ එවිටයි. සිල් රෙද්දක් පොරවා ගත්
පමණින්, නව ගුණවැලක් අත දරා ගත් පමණින් සිල්වත් වීමට නොහැකි යි. සීලය තිබෙන්නේ
සිතෙහි, කයෙහි සහ වචනය තුළ යි. ඒ අයුරින් ම කරණීය මෙත්ත සූත්‍රය කියවූ පමණින්,
මෛත්‍රී භාවනා වාක්‍ය කී පමණින් මෛත්‍රී ගති පැවතුම් තිබේදැයි කල්පනා කර බලන්නට
ඕනෑ. යම් පුද්ගලයකු මෛත්‍රී භාවනාව වඩන්නට නම් පහත සඳහන් අංග ලක්ෂණ තමන්ගේ ජීවිතයට
ප්‍රායෝගික කරගත යුතු වෙනවා.
එනම්, දක්ෂ වූවෙක් විය යුතුයි. සෘජු විය යුතුයි. වඩාත් සෘජු විය යුතුයි. සුවච වූද,
මෘදු ගුණ ඇත්තෙක් වූ ද, විය යුතු යි. අතිමානය හෙවත් උඩඟු බව නො තිබිය යුතු යි.
සෑහීමට පත් වූවෙකු වීම පහසුවෙන් පෝෂණය කළ හැකි වීම, ස්වල්ප වූ කටයුතු කරන්නෙකු වීම
(කාර්යය බහුල නොවීමට), සැහැල්ලු ජීවිතයක් ගත කරන්නෙකු වීම, සංසුන් ඉන්ද්‍රිය
ඇත්තෙකු වීම ද වැදගත් වෙනවා. එමෙන් ම තැනට සුදුසු නුවණ තිබීම, හැඩි දැඩි නැති,
ගොරෝසු නැති අයෙකු වීම පවුල්වලට නො ඇළුණු, ගිජු නොවුණු අයෙකු වීම, සත්පුරුෂ අය යම්
කිසි කරුණක් නිසා දොස් කියයි ද, වරද පෙන්වා දෙයි ද එය පිළිගැනීම, එබඳු සුළු වරදක්
හෝ නොකිරීමද මෛත්‍රී භාවනාව වඩන පුද්ගලයකු පුරුදු පුහුණු කළ යුතු වෙනවා. භාවනාවේ
සාර්ථකත්වයට මූලික පදනම මෙම කරුණු පහළොවයි.
මෛත්‍රී භාවනාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ චරිතයක් පිළිබඳ ප්‍රසිද්ධ කතාවක්
තිබෙනවා.
අතීතයේ, අපේ රටේ වන ගත පෙදෙසක ‘අභය’ නමින් හාමුදුරුනමක් වැඩ සිටියා. උන්වහන්සේ ඉතා
සිල්වත්. නිතර බණ භාවනා කරනවා. එක්තරා උපාසක මහත්මයෙක් උන්වහන්සේ ගැන පැහැදීමෙන්
සිටියා. දොළොස් අවුරුද්දක් පුරා බොහොම ශ්‍රද්ධාවෙන් ඇප උපස්ථාන කළා. සෑම වස් කාලයකම
අවසානයේ දී සිවුරු මසා ගැනීමට අවශ්‍ය වස්ත්‍ර පූජා කළා.
ඒත් අභය හාමුදුරුවෝ හැමදාමත් පොරවාගෙන සිටින්නේ ඉරී ගිය, තැනින් තැන මැසු, වැරැහැලි
වූ සිවුරු පමණය යි.
“මම පූජා කරන සිවුරු පිරිකරවලට මොකද වෙන්නේ. මුන් වහන්සේ ඒවා කාට හෝ දෙනවාද? ඒ බවක්
පෙනෙන්ටත් නෑ.”
උපාසක සිතුවා, එක් දවසක් ඔහු පුරුදු පරිදි වස්ත්‍ර පූජා කර එදින රාත්‍රියේ පන්සල
අසළ ළැහැබක සැඟවී බලා සිටියා. මැදියම් රැයේ එක්තරා මිනිසෙක් හෙමින් සීරුවේ ආවාසගෙය
ඇතුළට ගියා. පූජා කළ වස්ත්‍ර සොරා ගත්තා. උපාසක ඔහු පසු පස එළවා ගොස් ඔහු අල්ලා
ගත්තා. පහර හත අටක් ගැසුවා. කලින් වස්ත්‍ර ගැන ද ඇසුවා. දොළොස් අවුරුද්දක් ම තමා
වස්ත්‍ර සොරකම් කළ බව සොරා කීවා. උපාසක තවත් මිනිසෙකුට කතා කොට සොරා අමු සොහොනට ගෙන
ගියා. එදින ම සොහොනට ගෙනත් දැමූ මළ මිනියක් දැක සොරාගේ පිටට එය තබා තදකර බැන්දා. ඒ
රාත්‍රියේ ම ගෙයක් පාසා ඇවිද මෙහෙම කීවා.
‘අද රාත්‍රියේ ගමට යකෙක් එනවා. නිවෙස්වල දොර හරින්නට කියනවා. නෑදෑකම් කියමිනුයි
එන්නේ. කිසිම කෙනෙක් ගෙදර දොර නම් අරින්නට එපා”
ගමේ මිනිස්සු බියට පත් වුණා.
මළ මිනිය පිට බැඳී සොරා එය ගලවා ගත නොහැකි ව රැයේ ගෙයක් පාසා ම ගියා. කිසිවෙක් දොර
ඇරියේ නෑ. තමන්ගේ ගෙදරටත් ගියා. බිරිඳට පවා ඔහු හඳුනා ගන්නට බැරි වුණා. ඇය ද බියෙන්
ගැහෙමින් නිවස තුළටම වී සිටියා.
අවසානයේ වස්ත්‍ර සොරකම් කල මේ සොරා පන්සලට ආවා. හාමුදුරුවන්ට ඇත්ත කීවා. මළ මිනිය
ගලවා ඒ සොරා බේරා ගත් හාමුදුරුවෝ ඔහුගේ සිරුරේ වූ තුවාල සෝදා පිරිසුදු කළා.
කරුණාවෙන් ඇප උපස්ථාන කළා. උදෑසන අර උපාසක ඇත්තා පන්සලට ආවා.
හාමුදුරුවෝ සොරාට සලකන සැටි දුටු ඔහුගේ සිතට තරහක් ආවා. ‘හාමුදුරුවනේ’, දොළොස්
අවුරුද්දක් පුරා මේ සොරා ඔබ වහන්සේට පූජා කළ දේ සොරකම් කළා. ඔබ වහන්සේ වැරහැලි වුණු
සිවුරුම පෙරවූවා. එසේ තිබියදී ත් මේ සොරාට, මේ විදිහට සලකන්නේ කුමක් නිසා ද?
හාමුදුරුවන්ගෙන් ඇසුවා.
“උපාසක, නපුරු සුනඛයෙක් අපේ පය සපා කෑවාට අපි ඒ සතාගේ පය සපාකන්නේ නෑ නේද? කෙනෙක්
තමන්ට නපුරක් කළත්, වදරක් කළත් සිල්වත්, ගුණවත් පුද්ගලයා ඔහුට වෛර කරන්නේ නෑ. දඬු
මුගුරුවලින් පහර දෙන්නේ නෑ. මෛත්‍රී කරනවා. මෛත්‍රීය කියන්නේ බොරුවට අන් අයට
පෙන්විය යුතු දෙයක් නොවෙයි. හදවතේ ම තිබිය යුතු ගුණ ධර්මයක් යැයි හාමුදුරුවෝ
පැහැදිලි කළා. මේ කතාවෙන් ලබාදෙන ආදර්ශය කොතරම් ද?
කරණීය මෙත්ත සූත්‍රය හොඳින් කියවා එහි සඳහන් කරුණු එකිනෙක ගැන හොඳින් සිතා බලන්න.
ජීවිතයට සමීප කරගන්නට උත්සාහ කරන්න. සිත මෛත්‍රියෙන් පිරෙන අයුරු ඔබට දැනෙනවා.
ශාන්ත බවක් දැනෙනවා. කළයට ජලය පුරවන්නා සේ, බෝලයකට හුළං පුරවන්නා සේ සිතෙහි
මෛත්‍රීය පිරෙන සැටි ප්‍රායෝගිකව ම දැනෙනවා. ඕනෑම අරමුණක දී, ඒ හා සම්බන්ධ කිසිම
ගැටීමක්, හැල හැප්පීමක්, නොමැතිව ශාන්ත බවින් සිත පවත්වා ගන්නට අපට පුළුවන්කම
ලැබෙනවා. |