බිනර පුර අටවක 2017.08.29
මානසික සුවය
ගෙනෙන සහනය
මානසික සංතුෂ්ඨිය උතුම් ම ධනය වන බව සම්බුද්ධ දේශිතය යි. සතුටින් ජීවත් වීම අප
සියල්ලන්ගේ ම අභිලාෂය වුව බොහෝ දෙනෙකු වෙත නොවන්නේ ද එයයි. කෙනෙක් දවස ගෙවන්නේ ම
ආතතියෙනි. දොම්නසිනි. තවත් කෙනෙක් ඉවසුම් නොදෙන කෝපයෙන්, ද්වේෂයෙන් දැවෙති. විසඳුම
දැන, දැකත් ඒ අඳුරේ ම ගිලෙමින් තැවෙති. ආලෝකයට නොයති. සිතා බලා කටයුතු කරන්නට ඇති
මැළිකම, නොසැලකිල්ල ඔවුහු අඳුරටම ගෙන යති.
ගෘහ ජීවිතය , සමාජයීය ජීවිතය, අධ්‍යාපනය , රැකියාව ආදී කුදු මහත් සෑම කටයුත්තක ම
සාර්ථකත්වය රඳා පවතින්නේ මානසික සුවතාවය මත ය. කැළඹුණු මනස අවුල් ජාලයකට මුල ය.
අසාර්ථකබවට , නොදියුණුබවට හේතු ය.
මනස නොකැළඹෙන්නට නම්, සංසිඳෙන්නට නම් සිත පිරිසුදු විය යුතු ය. සිත පිරිසුදු වන්නට
නම් රාග, ද්වේෂ, මෝහ ආදි අකුසල සිතිවිලි දුරු කළ යුතු ය.
විවිධාකාර අදහස්, සිතුම් පැතුම් ඇති මිනිසුන් වෙසෙන පරිසරයක , විෂම දේ ම ඇසෙන ,
පෙනෙන වටපිටාවක , නොකැළඹී සිටීම අසීරු බව සැබෑ ය. එහෙත් එය බෞද්ධයාගේ ආකල්පයක්
නොවිය යුතු ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ශ්‍රී සද්ධර්මය කෙරෙහි අවබෝධයෙන් යුතු
ප්‍රසාදයක් ඇති කර ගන්නේ නම්, එනම් ශ්‍රද්ධාවන්ත නම් සුවපත් මනසක් ඇතිවෙයි. ඒ,
ජීවිතය හා එහි පැවැත්ම පිළිබඳ මනා වූ අවබෝධයක් ඇති කර ගැනීමට හැකිවන නිසා ය.
බුදුරජාණන් වහන්සේ පිළිබඳ, ධර්මය පිළිබඳ අවබෝධය ඇති කරගන්නවා යනු ජීවිතය පිළිබඳ
සත්‍යාවබෝධය ලැබීම ය. එවිට ලාබ, අලාබ , යස, අයස, නින්දා ,ප්‍රශංසා, දුක, සැප යන
අටලෝ දහම උපේක්ෂාවෙන් විඳ දරාගන්න හැකි වේ. ජීවිතය මේ යැයි මැදහත් සිතින් මුහුණ
දෙන්නට හැකි වේ. එවිට සිත සංසිඳේ. කලබලකාරි නොවේ.
ජීවිතයට බොහෝ ප්‍රශ්න ඇති වන්නේ රාග ගින්න නිසා ය. ද්වේෂ ගින්න නිසා ය. මේ තාක්
ගෙවා දැමූ කාලය දෙස ආපසු හැරී බලන්නට, සිතන්නට හැකි නම් අප මොන තරම් මුළාවක,
රැවටීමක හසුවී ජීවත්වූ කෙටි කාලය අනවශ්‍ය දේට මිඩංගු කළේ දැයි වටහා ගැන්ම අසීරු
නොවේ. අනවශ්‍ය ලෙස ඇලීම් , ගැටීම් ඇති කර ගත්තේ, අප විසින් අනුන්ගේ සිත් රිදවනු
ලැබුයේ ජීවිතයේ අනිත්‍ය බව වටහා නොගැනීම නිසා ය. මේ , මගේ ම ය. එය සදාකාලිකය;
ස්ථිරය; යන සිතිවිලිවලින් මුළා වීම නිසා ය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් අනිත්‍ය,
දුක්ඛ,අනාත්ම යන තිලකුණු මෙනෙහි කරන්නට සිත යම්තාක් දුරකට හෝ දියුණු කරගත හැකි නම්
ජීවිතයේ මායාව තේරුම් ගන්නට, ඒ අනුව මැදහත් සිතින්, තමන්ටත්, අනුන්ටත් කරදරයක් නොවන
සේ ජීවිත පැවතුම් හසුරුවා ගන්නට අසීරු වන්නේ නැත. නිතර, නිවැරැදි දහම් පොත පත
පරිශීලනය කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම ඊට සුදුසු ම මඟ ය.
බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක පුද්ගලයන් සිව් දෙනකු පිළිබඳ දේශනා කොට වදාළහ. එක්
පිරිසක් අඳුරින් ආලෝකයට යන්නෝ ය. තවත් පිරිසක් ආලෝකයෙන් අඳුරට යන්මෝ ය. අඳුරෙන්,
අඳුරට යන්නෝ ය. ඉතිරි අය ආලෝකයෙන් ආලෝකයට යන්නෝ ය.
රාග, ද්වේෂ ,මෝහ ආදි ක්ලේෂයන්ගෙන් සිත් මුදා ගත නොහැකි පිරිස් අඳුරෙන් අඳුරටත්,
ආලෝකයෙන් අඳුරටත් යන්මෝ ය. ඔවුහු අපිරිසුදු වූ සිත් ඇත්තෝ ම ය. ඔවුන්ට මේ ජීවිතයේ ද
සතුට නැත. පරලොව ද සැනසීමක් නැත.
උදෑසන කොළ රොඩු වැටුණු මිදුල අතුගා පිරිසුදු කළ විට සිතට මොන තරම් පහන් බවක්
දැනෙනවා ද? පන්සලේ බෝධි මළුවේ මල් ආසනයේ පරමල් ඉවත ලා අලුත් සුවඳැතිමල් පුදා
පිරිසුදු බෝ මළුවේ සිටින විට සිතට මොන තරම් සැනසීමක් දැනෙනවා ද? එසේ අපේ සිත ද
පිරිසුදු කරගන්න වෙහෙසිය යුතු ය. ජීවිතය ආලෝකවත් කරගත හැකි වන්නේ එවිට ය.
එසේ, සිත පිරිසුදුව සතුටින් සිටින පුද්ගලයා ධර්මය කෙරෙහි විශ්වාසවන්ත ය. ප්‍රාණ
ඝාතයෙන්, සොරකමින්, කාමය වරදවා හැසිරීමෙන් , මත්පැන් පානයෙන් වළකින්නේ ය.
තෘෂ්ණාවෙන් මිදුණු අයෙකු වන්නේ ය. ධර්මය අනුව ජීවිතය දකින්නේ ය.
බුදු හිමි දවස, උන්වහන්සේගේ රූපශි‍්‍රය නිතර දකිනු පිණිස ම පැවිදි වූ ‘වක්කලී’
හිමියන් අමතා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ "වක්කලී, කුණු වැගිරෙන මේ ශරීරයෙන්
ඇති ප්‍රයෝජනය කුමක් ද? මා දකින්නට කැමැති නම් ධර්මය දකින්න” යනුවෙනි.
මේ, ධර්මය දකින්නට කාලයයි.
|