භය:
කුසලයට බිය ද?
වරකාපොල, හැලගල, දංඕවිට,
අමරාවතිය සදහම් සෙනසුනේ අනුශාසක
කැලණියේ අජිත හිමි
" ඇතැම් අය “භාවනා කිරීමෙන් පිස්සු හැදෙන බව” පවසනවා. එවැනි සමාජයක ඇත්තේ භය සහ
සැකය යි. එය නිවනට පමණක් නොව සුගතිගාමීව විසීමටත් බාධාවක්.'
කෙනෙකුට “භය” නම් වූ මනෝ මූලික ධර්මය ඇතිවීම ස්වභාවික ය. ඒ යක්ෂ,හොල්මන්, අවතාරයන්ට
ඇති බිය පමණක් නොවේ. කුසලය වැඩීමට ඇති භය යි. අකුසලය දුරු කිරීමට ඇති භය යි. පිනට
දහමට ඇති භය’යි යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.
තරුණ දිවියක් දහමට යොමු කළේ නම් විමෝදය නැති වන බවට වර්තමානයේ බොහෝ දෙනකුට භයක්
තිබෙනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ගැන සඳහන් කිරීමේ දී අනිත්‍යය යි සිතුවොත් ‘මා
නැති වේ දැ’යි’ ඇතැම් අයට භයක් ඇති වෙනවා. එය මනෝ මූලික ධර්මයක් බැවින් චතුරාර්ය
සත්‍ය ධර්මය වැසී යන අකුසලයක් බවට පත් වෙනවා.
ලෝභ, ද්වේශ, මෝහ අගතීන්ගෙන් නිරුද්ධ වන්නේ සෝතාපන්න වීමෙනු යි. මාර්ගඵල ලාභීන්
වෙතින් පමණක් සතර අගතියෙන් තොර දිවියක් දැකිය හැකි යි. එවැනි උත්තමයා බිය නොවී තීරණ
ගනියි. කුසලය, අකුසලය අවබෝධයෙන් දනියි. ‘කුසලං පජානාති අකුසලං පජානා ති” එමෙන් ම
“කුසලං භාවේති අකුසලං පජාති” කුසල් දියුණු කිරීමටත්, අකුසල් ප්‍රහාණය කිරීමටත්
දනියි. භයකින් තොරව කටයුතු කිරීමෙන් එය නිරායාසයෙන් ම අවබෝධයෙන් යුක්තව දියුණු
කරගන්නට හැකියාව තිබෙයි. යම් කෙනෙකුට සිදුවන අවාසියක දී , අසාධාරණයක දී “භය” නම් වූ
අගතියෙන් තොර පුද්ගලයා නිවැරැදිව , ධර්මයට විනයට එකඟව, තමන්ගේ හෘද සාක්ෂියට එකඟව
තීරණ ගන්නවා. ‘මට මේ කාරණය හෙළි දරව් කිරීමෙන් අසාධාරණයක් වෙයි ද, අවැඩක් වෙයි ද
යනුවෙන්’ භය වන්නේ නැහැ. ජන වහරට අනුව ‘ණයත් නැහැ, භයත් නැහැ’ යනුවෙන් කියමනක් ද
වෙයි.
බුද්ධ දේශනාවට අනුව “භය” නමැති අගතිය සතර අපාය උපදවන හේතුවකි. කෙනෙක් “භය”
මුල්කරගෙන පින් නො කළේ නම්, කුසල් නොවැඩු වේ නම්, ඔහුගේ දිවිමගට අකුසල් ගැලීම
නොනවති යි. එහෙත්, භය නමැති අගතිය කර්මය තුළින් නිරවුල් ව ඉතා හොඳින් අවබෝධ කළ
පුද්ගලයාට භය, සැක ඇති වුණත් එයින් බැහැරව කුසල ධර්මයන් දියුණු කරන්නට හැකියාව
ලැබෙයි.
බුදුන් වහන්සේ පෙන්වා දුන් මඟ ඔස්සේ සතර සතිපට්ඨානය වඩන්නාට භය වන්නට හේතුවක් නොවේ.
ඔහුට භයකින් තොරව සතර සම්‍යග් ප්‍රදන් වීර්ය ය ඇති කරගන්නට පුළුවන්. භයෙන්, සැකයෙන්
තොරව සතර ඍද්ධි පාද මෙන් ම පංච ඉන්ද්‍රිය ධර්ම(සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා)
දියුණු කරන්නට හැකියාව තිබෙයි. ඒ නිසා භය ඇති නොවේ. පංච ඉන්ද්‍රිය ධර්ම දියුණු
කිරීම පංච බල ධර්මයි. එසේනම්, බලයක් ඉපදවීමට සමත් දේ ගැන භයක් ඇති විය යුතු නොවෙයි.
ඇතැම් අය “භාවනා කිරීමෙන් පිස්සු හැදෙන බව” පවසනවා. එවැනි සමාජයක ඇත්තේ භය සහ සැකය
යි. එය නිවනට පමණක් නොව සුගතිගාමීව විසීමටත් බාධාවක්. එබැවින්, සතර අගති, සතර අපායට
විවර වන මඟ ලෙස පෙන්වා දෙනවා.
ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම දියුණු කළ යුත්තේ වයස් භේදයකින් තොරව යි. සප්ත බොජ්ඣංග
ධර්ම (සති, ධර්ම විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා) භයකින් තොරව දියුණු
කරගන්නට අවශ්‍යය යි. භයකින් තොරව ආර්ය අෂ්ඨාංගික මාර්ගය දියුණු කළ යුතුයි. එයට සමත්
වන්නේ සතර අගතියෙන් තොර වූ පුද්ගලයා යි. අගතිය යනු පැත්තක් ගැනීම යි. බුදුරජාණන්
වහන්සේගේ ධර්මය තුළ එක් අන්තයක් , එක් පැත්තක් නැහැ. බුදුන් වහන්සේ දම්සක් පැවතුම්
සූත්‍ර දේශනාවෙන් ද අන්ත දුකෙන් බැහැරව මැදුම් පිළිවෙත අනුගමනය කළ යුතු බව වදාළා.
එසේනම් බුද්ධ ධර්මය තුළ භය නමැති මනෝ මූලික ධර්මයට අවස්ථාව නොදී භය කාරණාව විදර්ශනා
ප්‍රස්තාවට සම්බන්ධ කළ යුතුයි. එනම්, රූප, වේදනා,සංඥා, සංඛාර, විඤ්ඤාණ යනුවෙනි.
යක්ෂ, පේත, පිසාච, කුම්භාණ්ඩයන්ට ඇත්තේ ද සියුම් හෝ ගොරෝසු රූපය ක්. එයට භය වන්නේ
සතර අගතියට පත් වූ පුද්ගලයා යි. “භය” නොවන නුවණැත්තා එය සතර මහා භූතයන්ගෙන් (පඨවි,
ආපෝ, තේජො, වායෝ) සැකසුණු රූප ස්වභාවයක් සේ සිතයි. ජීවිතයේ යථාර්ථය තේරුම් ගෙන
ධර්මය නුවණින් විමසා සිටි යි.
බුදුරදුන් වදාළ අගති සතරෙන් “භය” නම් අගතිය හොඳින් තේරුම් ගෙන එයින් තොරවීම පිණිස
ධර්ම මාර්ගය අනුගමනය කරන පින්වතුන්ට චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලැබේවා!
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |