UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 මරුවා හඳුනා ගන්න

මරුවා හඳුනා ගන්න

සෑම ජීවියෙකුම මාරපාසයට ගොදුරු වී ඇත. මිනිසාට ද ඉන් ගැලවීමක් නැත. මාරවසඟයට ගොදුරක් වී ද,ඒ බව තේරුම් ගන්නා ස්වභාවයක් පෙනෙන්නට නැත.

මාරයින් පස් දෙනෙක් ගැන ධර්මයේ සඳහන් ය. ක්ලේශ මාර,අභිසංස්කාර මාර, මච්චුමාර, ස්කන්ධමාර, දේවපුත්‍ර මාර යනුවෙනි. මෙහි දී අවධානය යොමු කරවනු ලබන්නේ ක්ලේශ මාර සංකල්පය ගැනය. මිනිසා මෙහෙයවනු ලබන්නේ මිනිස් සිත මගිනි. සිතේ හට ගන්නා වූ විවිධ කෙලෙස් මේ සසර මෙහෙයවයි. සිතේ හටගන්නා විවිධ කෙලෙස් තුළින් අතපය,කට, සිත,මෙහෙය වේ. විවිධ ක්‍රියාකාරකම් තුළින් සිතේ කර්ම බලවේගයන් ගොඩනැඟේ. එම කර්ම බලවේග නිසා මිනිසා සසර දුක් විඳිමින් එහි සැරිසරයි. ඒ අනුව ඇස්,කන්, නාසා දී පංච ඉන්ද්‍රිය තුළින් මිනිසා මාරයා සතුටු කරවයි. මාරයාගේ අපේක්ෂාව කෙලෙසුන් රැස් කරවීම ය. එනම් ක්‍රෝධය, වෛරය, ආශාව, රාගය වැනි පාප කර්ම මිනිස් සන්තානයෙහි උපදින්නේ මාර බන්දනය නිසයි. ඒ පාප කෙලෙසුන් ම මාරයා ලෙස සළකයි. මාරයාගෙන් පිනටද බාධාවක් නැත. පවට ද බාධාවක් නැත. මිනිසා පිනට නැඹුරු කරන්නේද, පවට නැඹුරු කරන්නේද, මාරයා විසින්ම ය. හේතුව මිනිස් සිතේ හට ගන්නා තරහා, වෛර, තෘෂ්ණාදී සියලු පාප කර්මත් දාන, ශීල භාවනාදි පුණ්‍යචේතනා පුණ්‍ය කර්මත් සත්ත්වයාගේ සසර ගමනට, සසර දුකට හේතු වන බැවින් මේ මාරයා ඊට අතිශයින් සතුටු වෙයි. මාරයාට අවශ්‍ය වන්නේ සත්වයා සසර රඳවා තබා දුක් වේදනා ගෙන දීමට ය. කල්ප මාර බන්ධනයට ගොදුරු වී ඇති සත්වයෝ මං මුලා වී සසර දුක් විඳිමින් එහි ඇලී ගැලී සසර දිගු ගමනක සැරි සරති.

සිත,කය, වදන මුල් කරගෙන පංච ඉන්ද්‍රිය මඟින් පින් කර ගත් විට සසරේ හොඳ ප්‍රතිඵල නෙළා ගත හැකි ය. දාන, ශීලාදී පුණ්‍යකර්මයන්ගෙන් දෙව්ලොව, මනුලොව ආදි කාම ලෝකවල ඉපදී සැපවිපාක ලබා දෙමින්, මේ සසර දුකට පත් කරවමින්, සසර ගමන දිගු කරවීම මාරයාගේ ක්‍රියාවලියයි. එසේ ම ලෝභාදී පාප ක්ලේශ මාරයා සසර සැරිසරණ සත්වයා සතර අපාය, තිරිසන් ලෝකවල උපද්දවා දැඩි දුක් ලබා දෙමින් සසර ගමන දිගු කරවයි. මේ ක්‍රියාවලියට මේ ක්ලේශ මාරයා මුල් වන බව නො දන්නා සත්වයෝ මාරයාට රැවටෙති. මං මුලා වී නිවැරැදි දේ නිවැරැදි ලෙස තේරුම් ගත නො හැකිව වැරැදි පුහු දේවල් පසුපස හඹා යති. මාර වසඟයට පත් වී සසර දුකට ගොදුරු වී සිටිති.

සිද්ධාර්ථ බෝසතුන් ඇසතු රුක මුල සියලු කෙලෙස් නැසීමට උත්සාහ දරද්දී එයට මාරයා හරස් වී බාධා කළ අයුරු බෝසත් චරිතයෙන් පෙන්වා දෙයි. එහෙත් බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ තුළ ඇති කරගත් අධිෂ්ඨානය, උත්සාහය අත් නොහළ නිසා ක්ලේශ මාරයින් නසා සසර දුක නසා උතුම් නිවන් සුවය ලබා ගත්හ. මෙහි දී අපට පෙනී යන්නේ මාරයා පිනට පවට ළැදියාවක් ඇතත්, පින් පව් කරන්නාට පි‍්‍රයශීලි වුවත්, කුසල් කරන්නා සමඟ මාරයා අතිශය විරුද්ධ බවයි. කුසලයට මාරයා බාධා කරයි. ඊට විරුද්ධ වෙයි. කුසලය යනු මාර බන්ධනයෙන් මිදීම සඳහා ඇති කරගන්නා දක්ෂතාවයයි. සෑම මිනිස් සිතක ම පාප, පුණ්‍ය කුසල,චේතනා මතුවෙයි. මෙහි කුසල චේතනා යනු සිතේ පවතින කෙලෙස් නමැති මාරයා ජය ගැනීම සඳහා ඇති කර ගන්නා අධිෂ්ඨාන පූර්වක දක්ෂතාවය යි. උදාහරණයක් ලෙස දානයෙන් යමක් පරිත්‍යාග කරයි. එය දාන පුණ්‍ය චේතනාවයි. එම පරිත්‍යාගයේ දී සිතේ පවතින ලෝභය හෙවත් අල්ලා ගැනීමේ, ඇලී සිටීමේ ස්වභාවය යටපත් කර ගැනීමට හැකිවෙයි. තුනී කර ගැනීමට හැකිවෙයි. එම හැකියාව දානමය කුසලය නම් වෙයි. එසේ නම් පරිත්‍යාගයෙන් සසර දිගු කොට සසර දුක සැප ගෙන දෙන පුණ්‍ය චේතනා මෙන් ම සසර දිගු කරවන ලෝභාදිය යටපත් කරවන දක්ෂතාවයෙන් යුතු කුසල චේතනාදිය ද උපදවා ගත හැක. මෙහි දී මාරයා කුසලයට අතිශයින් විරුද්ධ වෙයි. බෞද්ධ අප කළ යුතු වන්නේ මාර බන්ධනයෙන් මිදීමට කුසලය හෙවත් දක්ෂතාවය සඳහා උත්සුක වීමයි. මේ සඳහා මාර සංයුත්තයෙහි ඇතුළත් ඉතා වැදගත් උපදේශ කතා පුවතක් මෙසේ පෙන්වා දිය හැක.

දිනක් සවස් කාලයෙහි ඉදිබුවෙක් හෙවත් ඉබ්බෙක් ගොදුරක් සොයමින් ගංඉවුරක් අසබඩ සිටි අතර සිවලෙක් ද ගොදුරු සොයමින් එම ස්ථානයට පැමිණියේ ය. ඉබ්බා දුටු සිවලා හොඳ ගොදුරක් යැයි සිතිමින් ඉබ්බා ළඟට ගොස් ඉව කර බැලූ වහාම ඉබ්බා සිය හිස අත්දෙක පා දෙක සිය කටුව ඇතුළට කරගෙන සඟවා ගත්තේ ය. නිහඬව නිසොල්මනේ සිටියේ ය. සිවලා ද ඉබ්බාගේ එක අවයවයක් හෝ පිටට දාන තුරු බලා සිටියේ එය ඩැහැ ගෙන කෑමට ය. එහෙත් සිවලාගේ උත්සාහය නිශ්ඵල විය. ඉබ්බා එලෙස ම නිසොල්මනේ සිටියේ ය. ඉබ්බාගේ පණ බේරුණේ ය.

එමෙන් ම ඔබ ද ඇස්, කන්, නාසාදී ඉඳුරන් සංවර කරගෙන මාර වසඟයෙන් මිදීම සඳහා උත්සුක වන්න. ඇස්, කන් ආදි ඉන්ද්‍රියවලට රූප ,ශබ්දාදී අරමුණු ගැනීමේදී එහි ඇලී ගැලී නොසිට එහි නිමිති ග්‍රහණය කොට එහිම ගැටීම් ඇති කර නොගෙන කටයුතු කරන්න. ඇලීම්, ගැටීම්වලින් තොර වී ඉදිබුවා මෙන් සිතිවිලි වසා තබන්න. ඉන්ද්‍රිය මඟින් ගනු ලබන හැම සිතිවිල්ලක් ම නිත්‍ය සුබ වශයෙන් නොගෙන එහි අස්ථිර බව අසුභ බව, දුක බව දැන ගන්න. ලොව ඇති සියල්ලෙහි ඇත්ත ඇති සැටියෙන් දැනගෙන කටයුතු කරන්න. එවිට පින්වත් ඔබට කෙලෙස් මාරයා ජය ගත හැක. එයයි සසර දුක නැති කොට ලබන පරම සැපත වන නිවන් සුවය වන්නේ. එම උතුම් නිවන ලබා ගැනීම සඳහා ඔබට ශක්තිය, බලය උදාවේවා.

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය අගෝස්තු 29 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.36 ට ලබයි. 30 වනදා පූර්ව භාග 02.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 29 වනදා අගහරුවාදාය.

 

මීළග පෝය සැප්තැම්බර් 05 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]