බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමි
මීට වසර 33 කට පෙර අපවත් වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමිපාණන් වහන්සේ
බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේත්, අත්තිඩිය මාළිගාවත්ත පුරාණ විහාරස්ථානයේත්
විහාරාධිපතිවරයාණෝ වූහ. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභායක්ත
රත්මලාන විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක පදවියද උන්වහන්සේ විසින් හොබවන ලදහ.
එදා “බෙල්ලන්විල නායක හාමුදුරුවෝ” නමින් කීර්තිධරව වැඩ සිටි නා හිමියන්ගේ පැවිදි
ජීවිතය වර්තමාන භික්ෂු පරපුරට මහත්සේ ආදර්ශයට ගත හැකි විශිෂ්ට ගති ලක්ෂණයන්ගෙන්
හෙබි උදාර චරිතයකි. විහාරාධිපතින් වහන්සේ නමක වශයෙන් ආරාමයක් පාලනය කළ යුතු අයුරු
මනා කළමණාකාරිත්වයකින් යුතුව පවත්වාගෙන යන අයුරුද ශ්‍රී සෝමරතන නා හිමියන්ගේ චරිතය
තුළින් මනාව හෙළි කරගත හැකිය. එපමණක් නොව භික්ෂුවක් තුළ ඇති කර ගත යුතු මනා පෞරුෂය
පිළිබඳ මෙබඳු පරමාදර්ශී චරිතයන් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.
බෙල්ලන්විල සෝමරතන නා හිමිපාණන් වහන්සේ , බෙල්ලන්විල නම් වූ ගම්මානය කේන්ද්‍ර
කොටගෙන ජන්ම ලාභය ලැබූහ. බෙල්ලන්විල විහාරස්ථානයෙහි වත්මන් දියුණුවේ නිර්මාතෘවරයාණෝ
බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමිපාණන් වහන්සේය. සකලාංග සම්පූර්ණ සම්භාවනීය මහා
විහාරයක් බවට උන්වහන්සේ විසින් බෙල්ලන්විල විහාරය පත් කරන ලදහ. බෙල්ලන්විල නම් වූ
ග්‍රාමය විශ්ව කීර්තියට පත්වීමටද මූල සාධකය වූයේ බෙල්ලන්විල විහාරස්ථානය බව
කිසිවෙකුටත් රහසක් නොවේ. එම යසෝරාවය තමන් වහන්සේ උපන් ගමට හිමිකර දීම නා හිමියන්ගේ
උදාරතර සමාජ මෙහෙවරක් සේ සඳහන් කිරීම නිවැරැදිය.
ශ්‍රී ලාංකිකයන් පමණක් නොව ලෝකයෙහි පැවිදි ගිහි ප්‍රභූවරයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද
අතීතයේ සිටම බෙල්ලන්විල විහාරස්ථානයේ ආශිර්වාදය අපේක්ෂාවෙන් පැමිණීම සාමාන්‍ය
කරුණකි. මෑත අතීතය තුළ අපේ මතකයේ රැඳුණ යතිවරයන් වහන්සේලා අතර උන්වහන්සේ තරම්
ආහාරපාන ආදිය ලබාදීමෙන් සතුටු වූ භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳව අපේ මතකයට නොනැඟේ.
තමන් වහන්සේගේ පිහිට පතා පැමිණි කිසිවෙක් උන්වහන්සේ කිසිසේත් හිස් අතින් නොහැරියේය.
උන්වහන්සේ තරම් මිනිස්කම් සපිරි උදාර මනුෂ්‍යයෙකු කෙනෙකුට මුණ ගැසෙන්නේ ඉතා විරලවය.
කිසියම් කරුණක් පිළිබඳ තිරණ ගැනීමේදී අභීතව ඍජුව කටයුතු කළා මිස යුක්තිය හා
සාධාරණත්වය, මිස පුද්ගලයා, තනතුර හෝ සමාජ තත්ත්වයන් උන්වහන්සේට වැදගත් වූයේ නැත.
බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන් අපවත් වී දශක තුනකුත් වසර තුනක් සම්පූර්ණ වී ඇත.
බෙල්ලන්විල ඇසළ මහා පෙරහරද ශ්‍රී සෝමරතන නා හිමිපාණන් වහන්සේගේ විශිෂ්ට නිර්මාණයකි.
උන්වහන්සේ එය මෙරට ජාතික මට්ටමේ පෙරහරක් බවට පත්කළා පමණක් නොව එයට අවශ්‍ය සියලු
අංගෝපාංගයන්ද මැනවින් සකසා තබන්නට යෙදිණි. ශ්‍රී සෝමරතන නා හිමිපාණන් වහන්සේ
විහාරස්ථාන දියුණු කිරීමෙන්,ඇසළ පෙරහර නිර්මාණය කිරීමෙන් ඇති කළ මෙම නවෝදය එසේම
පවත්වාගෙන යාම සඳහා උන්වහන්සේ මනා සංවිධානයකින් යුතුව අනාගතය දෙස බලා සැලසුම් කළ
ක්‍රමවේදයක්ද ඉතා පැහැදිලිව දක්නට ලැබේ. එහි ජීවමාන සාධක ලෙස වර්තමාන විහාරාධිපති
සිංගප්පූුරුවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් සහ
විහාරාධිකාරි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන
අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේත් දැක්විය හැකිය. උන්වහන්සේලා විසින් ගෙවී ගිය වසර
33 පුරාම නා හිමිපාණන් වහන්සේ විසින් ගොඩනගා ආරම්භ කළ බෙල්ලන්විල විහාරස්ථානය
පිළිබඳ කීර්ති රාවය දිනෙන් දින ප්‍රවර්ධනය කොට ඇතිවා මතු නොව විහාරස්ථානය
කාලානුරූපීව විධිමත් කොට තිබේ. බෙල්ලන්විල රජමහා විහාරය කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි
සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ පාර්ශ්ව මූලස්ථානයකි. එහි ප්‍රධාන සංඝනායක ධුරය හොබවන
ලද්දේ බෙල්ලන්විල ශී‍්‍ර සෝමරතන නා හිමිපාණන් වහන්සේය. අද මෙම සංඝ සභාවේ අනුනායක
ධූරයෙන් උන්වහන්සේගේ කනිෂ්ඨ ශිෂ්‍ය රත්නය වූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා
හිමිපාණන් වහන්සේ පිදුම් ලබා ඇත.
සාම්ප්‍රදායික පෞරාණික විහාරස්ථානයක ක්‍රියාවලියට යොමුව තිබූ බෙල්ලන්විල,
බුද්ධියටත්, විමර්ශනයටත් නතු වු ජන සමාජයෙහි කාලීන ගැටලු සඳහා විසඳුම් දෙන ස්ථානයක්
වශයෙන් නවමු යොමු කිරීමක් සඳහා උන්වහන්සේලා සමත්ව ඇත.
බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමි ගුණානුස්මරණ පින්කම ගෙවීගිය කාල පරාසය තුළ නොයෙක්
ආකාරයෙන් ආදර්ශවත් නව ක්‍රමයක් බවට පත් කිරීමටද හැකියාව ලැබුණි. දුෂ්කර
ප්‍රදේශයන්හි ඉතා දුෂ්කරව වැඩ වසන භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය පරිස්කාර ආදිය සහිතව
දන් පිරිනැමීම එම ක්‍රම පිළිවෙතයි. මෙවරද එම අනුස්මරණ මහා පින්කම අනුරාධපුර
දිස්ත්‍රික්කයේ මැදවච්චිය වසමට අයත් ඉසින් බැස්සගල රජමහා විහාරස්ථානයේදී ජූලි මස
29.30 දිනයන්හිදී පැවැත්වේ. එමෙන්ම බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී අගෝස්තු මස 10
වැනි දින සිට අනුස්මරණ ධර්ම දේශනා මාලාවක්ද පැවැත්වෙන අතර, වාර්ෂික ඇසළ පෙරහර
පූජෝත්සවයේ ආරම්භයද එය වන්නේය. මෙම සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් බෙල්ලන්විල ශ්‍රී
සෝමරතන නා හිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
කොළඹ 06.හැව්ලොක් සිටි, සාම විහාරාධිපති,
අතපත්තුකන්දේ ආනන්ද හිමි
චන්ද්‍රජෝති නා හිමි
රත්නපුර වෙරළුප ශ්‍රී ඛෙත්තාරාමාධිපති ධූරය හෙබවූයේ රත්නපුරේ මොරගහයට චන්ද්‍රජෝති
නාහිමිපාණන් වහන්සේ අපවත්වී ජූලි මස 29 දිනට වසර විසිපහක් සම්පූර්ණ වූහ.
1901 ජනවාරි මස 26 දින රත්නපුර මොරගහයට විලේගොඩ මහමැදුරේ උපන් චාර්ලිස් විලේගොඩ
කුමරුවාගේ මව්පියන් වූයේ විලේගොඩ මුදලිගේ දොන් පොඩිඅප්පුහාමි යන දම්පතීහුය. රත්නපුර
බැප්ටිස් හා ශාන්ත ඇලෝසියස් යන විද්‍යාලවලින් ප්‍රාථමික හා උසස් අධ්‍යාපනය ලැබූ
චාර්ලිස් දරුවා 1909 දී රත්නපුර ගඟබඩ සීවලියට උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් විය.
රත්නපුර වෙරළුප ශ්‍රී ඛෙත්තාරාමාධිපති ධූරය හෙබවූයේ කිරිඇල්ලේ ධීරානන්ද
මාහිමිපාණෝය. උන්වහන්සේට චාර්ලිස් දරුවා පැවිදි කිරීම පිණිස මවුපියන් විසින් භාර
කළහ. පැවිද්දට අවශ්‍ය මූලික බණ දහම් ඉගෙන 1917 දී වටාපත සීලවංස සහ කිරිඇල්ලේ
ධීරානන්ද යන මහ තෙරුන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් රත්නපුරේ මොරගහයට
චන්ද්‍රජෝති යන ශාසනික නාමයෙන් සාමණේර පැවිද්ද ලැබීය. අනතුරුව කොළඹ මාලිගාකන්ද
විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත්ව ඉතා උසස් අන්දමින් පිරිවෙන් අධ්‍යාපනය ලබා ගත්හ.
1923 ජුනි මස 05 දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාවට පත්
වූ චන්ද්‍රජෝති හිමියන් 1927 දී අධ්‍යාපන කටයුතු නිමාකොට ස්වකීය විහාරස්ථානය වූ
වෙරළුප ඛෙත්තාරාමයට වැඩම කළහ. නීතීඥ ඒ.සී. ආටිගල මහතාගේ ආරාධනාවකට අනුව සීවලී
විද්‍යාලයේ දරුවන්ට සිංහල, පාලි, බුද්ධ ධර්මය යන විෂයන් පිළිබඳව දැනුමක් ලබා දුන්හ.
එකල උන්වහන්සේ සමඟ හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි කුරුණෑගල අංගීරස නාහිමියන්ද සීවලී
විද්‍යාලයේ අධ්‍යාපනික සේවාවේ නිරත වූහ. මෙසේ අධ්‍යාපනික සේවාව අරඹා හිදැල්ලන සීවලි
මධ්‍ය මහා විද්‍යාලයෙන් 1961 ජනවාරි මස 26 දින විශ්‍රාම ලබාගත් උන්වහන්සේ කිසිදු
වැටුපක් ලබා නොගෙන නිශ්ශරණධ්‍යාසයෙන් සේවය කළ අතර, උන්වහන්සේට ඒ නිසා විශ්‍රාම
වැටුපක් ද හිමි නොවීය.
ස්වකීය ගුරු දේවයාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු විහාරස්ථානයේ භාරකාරත්වය දරමින්
ශ්‍රී ධම්මදින්නා දහම් පාසල ආරම්භ කරමින් විහාරස්ථානයට අවශ්‍ය විහාරාංග ඉදිකරවමින්
ද විශාල සේවාවක් සිදුකළහ.එමෙන්ම උන්වහන්සේගේ පැවිදි දිවිය ආදර්ශවත් ය. උන්වහන්සේ
ප්‍රදේශයේ ගිහි පැවිදි සියලු දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූහ. උන්වහන්සේගේ සරල මෙන්ම
චාම් ජීවිතය පෝෂණය කිරීම දායක ප්‍රජාවට අපහසු නොවීය. ඒ නිසාම අපවත්වන තෙක්ම නිරෝගීව
දිර්ඝායුෂ වින්දනය කළහ. පරාර්ථකාමි දිවි පෙවෙතක් ගත කළ වෙරළුප ඛෙත්තාරාමාධිපති
චන්ද්‍රජෝති නාහිමිපාණන් වහන්සේගේ ගුණ සමරා විශේෂ පින්කම් මාලාවක් පැවැත්වීමට
වර්තමාන විහාරාධිපති කොලමැදිරියේ රතනසාර හිමියන් ඇතුළු දායක සභාව, කුළඟන සමිතිය
කටයුතු යොදා ඇත. නා හිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා!
රත්නපුර ශ්‍රී ඤාණසීහ තපෝවන විහාරාධිපති
අකරැල්ලේ ඤාණවංස හිමි
බටදූවේ ධම්මදස්සි හිමි
ගාල්ල බටදූව ශ්‍රී සුගතාරාමය, මාගාල්ල කච්චිවත්ත පුරාණ විහාරය, අක්මීමන කුරුඳුවත්ත
බෝධිමළු විහාරය යන විහාරත්‍රයාධිපති, යටගල හෙට්ඨාචල මහ පිරිවෙනේ විශ්‍රාමික
පරිවේණාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති බටදූවේ ධම්මදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ
ඉකුත් ජූලි 03 වැනිදා අපවත්වී වදාළහ. ආදාහන පූජෝත්සවය ජූලි 06 වැනිදා ගාල්ල බටදූව
රතනජෝති විද්‍යාල ක්‍රිඩාංගණයේ දී සිදු කෙරිණි.
දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ අක්මීමන බටදූව ගම්පියසේ 1945 නොවැම්බර් 28 වැනි
දින ධම්මදස්සි හිමියෝ ජන්මලාභය ලැබූහ. කුඩා කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ බටදූව
රතනජෝති විද්‍යාලයෙනි. ඉක්බිතිව 1965 ජනවාරි 18 වැනි දින බටදූව ශ්‍රී සුගතාරාමයේ දී
උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත්වූහ. එහිදී උන්වහන්සේගේ ආචාර්යවරුන් වූයේ බටදූවේ
ශ්‍රී සුගතාරාමාධිපතිව වැඩ සිටි තෙල්වත්තේ සංඝානන්ද නා හිමි හා මාගාල්ලේ කච්චිවත්ත
පුරාණ විහාරාධිපතිව වැඩ සිටි පිටුවල පියතිස්ස මාහිමියන්ය. ගාල්ල විද්‍යාලෝක
පිරිවෙනින් ධර්මවිනය භාෂා ශාස්ත්‍රය මැනවින් හදාළ ධම්මදස්සි හිමියෝ 1965 ජූනි 07
වැනිදා මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූහ. පසුව
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධියත්, ශ්‍රී ලංකා
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන්
පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත්, පුරාවිද්‍යාව හා ජන සන්නිවේදන පිළිබඳ
ඩිප්ලෝමාවද ලබා ගත්හ. ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ විහාගයන්ද උසස් ලෙස සමත් වූහ. 1976
දී ඓතිහාසික යටගල රාජමහා විහාරීය හෙට්ඨාචල මහ පිරිවෙනේ පරිවේනාචාර්යවරයෙකු ලෙස ගුරු
සේවයට එක් වූ උන්වහන්සේ පසුව එහි පරිවේණාධිපති ලෙසද පත්ව වසර 30 ක ඉතා සාර්ථක ගුරු
සේවාවක් සිදු කළහ. අක්මීමන ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් හා සභාපති
තනතුරු ද දැරූහ.
ගාල්ල යටගල හෙට්ඨාචල
පරිවේණාධිපති අක්මීමන ප්‍රාදේශීය
ශාසනාරක්ෂක බල මණ්ඩලයේ
ලේඛකාධිකාරී ශාස්ත්‍රපති
කෙහෙල්වල සුමංගල හිමි |