රෝගවලට නිවාසයක්
කොබෙයිගනේ
පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතනවංස හිමි
සුන්දරත්වය ඇත්තේ දුරින් තිබෙනතාක් පමණි. ඕනෑම දෙයක් ළංකර ගැනීමෙන් හෝ ඕනෑම දෙයකට
ළංවීමෙන් අප එය ලබා ගැනීමට පෙර දුටු සුන්දරත්වය, ආසාව, කැමැත්ත, රුචිකම, ඇල්ම
ක්‍රමයෙන් ඉවත් වේ.
මලක පැහැය, වර්ණය, සුන්දරත්වය ඒ මල දෙස බලා විඳ ගැනීමට පුළුවන. නමුත් මල කඩාගෙන,
අතට රැගෙන ඒ සුන්දරත්වය ඒ අයුරින්ම විඳීමට නුපුළුවන. ඕනෑම දෙයක යථාර්ථය එයයි. ඇලක,
දොලක, ගහක කොලක ආදී පරිසරය තුළ ඇති ඕනෑම දෙයක ස්වරූපය එයම වේ. අප මොනතරම් චිත්‍ර,
ඡායාරූප, රූප රාමු අතට අරන් රස විඳිනවාද? නමුදු එම චිත්‍රයම, එම ඡායාරූපයම තිබෙන
තැනට ගොස් ස්පර්ශ වන අයුරින්, ඉන්ද්‍රියන් වලට හසුකර ගැනීමෙන් එම ඡායාරූපයෙන් දුටු
සුන්දරත්වයම ලැබිය හැකි ද? උදාහරණයකට ඡායාරූපයකින් මුහුද පිළිබඳ මැවෙන සංකල්පනා
මුහුද ළඟට යෑමෙන් ලැබිය නොහැකි ය. වෙරළට යන කලට විවිධ කැළි කසල සතා සිව්පාවුන්
අපවිත්‍ර කිරීම් ආදිය දැකීමෙන්ම, කළකිරීමෙන් අතෘප්ති බවක් දැනෙනු ඇත.
මෙහිදී මා උත්සාහ කරන්නේ මිනිසුන් තුළ පවතින ශරීරය පිළිබඳ පවතින මිථ්‍යා සංකල්පය
දුරු කර ගැනීමට ධර්මානුකූලව කරුණු කිහිපියක් ඉදිරිපත් කිරීමටයි. ශරීරය පිළිබඳව
විවිධ අයුරින් ගහ බැණ ගැනීම්, සටන් කිරීම, මෙම භෞතික ලෝකය තුළ නිරන්තරයෙන් දකින්නට,
අසන්නට ලැබේ. ස්ත්‍රියක් පුරුෂයෙක් දෙසත්, පුරුෂයෙක් ස්ත්‍රියක් දෙසත් නිරන්තරයෙන්
බලන්නේ සුන්දරත්වයත් සමඟය.
ස්ත්‍රියක්නම් පුරුෂයා කෙරෙහි ද, පුරුෂයෙක්නම් ස්ත්‍රිය කෙරෙහිද ඇති කර ගන්නා
මිථ්‍යා සංකල්පනා තුළ ඇත්තේ ඉතා ලස්සනයි, සුන්දරයි, නිත්‍යයයි ආදී සංකල්පනාය. ඒ
ඔස්සේ ශාරීරික කොටස් ද මනසින් වර්ණනාවට ලක් වේ. ඇස් දෙක, දත්, කෙස්, නිය, සම යනාදිය
ඔස්සේ නැඟෙන චිත්ත රූප ඔස්සේ අදහසින් ඉඳ සුන්දරත්වයක් විඳිනු ලැබේ. උදේ හවස එම
චිත්ත රූප මනස තුළ රජ කරවනු ඇත. එහිදී කිසිම අවස්ථාවක ශරීරයේ සැබෑ ප්‍රතිරූපය නො
පෙනේ. හේතුව මෝහයෙන් සිත පිරී තිබීමය.
කිඹුල්වත් පුර රූපානන්දා දේවිය ඉතා රූප සම්පන්නය. මුලින් ජනපද කල්‍යාණි නමින්
හැඳින් වූ අතර රූ සපුව නිසාම පසුව රූපානන්දා නමින් හැඳින් විය. ඇය රූපයෙන් තමන්
තරම් කෙනෙකු නැතැයි ආදී වශයෙන් දැඩි මානයකින් සිටියාය. බුදුරදුන් රූපයේ දොස්
කියනවා, යැයි සිතා බණ අසන්නට පවා නොගොස් එයින් වැළකුණි. දිනක් බණ ඇසීමට සිතා වෙහෙරට
ගොස් බුදු රදුන්ට නොපෙනී මෙහෙණින් අතරම හිඳ ගත්තාය. පසුව බුදුරදුන් ඇයට පෙනෙන්නට
පමණක් ඊටත් වඩා ලස්සන කාන්තාවක් රන්,මිණි මුතු පළඳා ගෙන බුදු හිමිට පවන් සලන අයුරු
පෙනෙන්නට සැලැස් වූහ. එය දැකීමෙන් ඇයට තමන් හංස දෙනක් ළඟ සිටින කැවිඩියක් සේ
සිතුනි. පසුව එම කාන්තාව තරුණ වයස ඉක්මමා මැදිවියට හා මහලු වයසට පැමිණ එවෙලේම
ජරාවෙන් මිරිකී අත්පා වසඟ නොවී පවන්පත ඉවත දමා වැතිර මැරී බලු කපුටන්ට බත් කවන සැටි
දැක මානය බිඳී ගොස් කළකිරුණි. ඒ නිමිති කොට යම් තැනෙක ජරා, මරණ, මාන, ගුණමකු බව
තැන්පත් කෙරුණේද, මේ සිරුරද එසේ මස් ලේ ගැල්වුණු ඇටවලින් කරන ලද නුවරක් වැනි බව
වදාරා ඒ රූපානන්දා රහත්පල පිහිට වූ සේක.
එම කතා පුවතින් පැහැදිලි වන්නේ රූපය ලස්සනයි. සුන්දරයි. ආදී හැඟීම් නිසා උදම් වුන
කාන්තාවකගේ ස්වරූපයයි. අපගේ ශරීරය නිසා අපට කිසිවිටෙක මාන්නයක්, ආඩම්බරයක් ඇතිකර
ගැනීමට පුළුවන්කමක් නැත. එයට හේතුව මෙම ශරීරයේ ඇති වෙනස් වීමත්, දුක් සහගත බවත්,
අනාත්ම ලක්ෂණයත් හේතුවෙනි.
තිර පැවැත්මක් නැත්තා වූද ඇට කටුවලින් නඟා සිටුවන ලද්දා වූද, වණ තුවාල සමූහයක් වැනි
වූද, නොයෙක් දෙනා විසින් නොයෙක් ආකාරයෙන් දකින්නා වූ ද, බොහෝ සෙයින් ආතුර වූද,
වස්ත්‍රාභරණයෙන් සරසන ලද්දා වූද, මේ ශරීරය දෙස බලන්න.
පරිජිණ්ණ මිදං රූපං
- රෝග නිඩ්ඩං පභංගුරං
භිජ්ජති පූති සන්දෙහෝ
- මරණංතං හි ජීවිතං
බොහෝ සෙයින් දිරා ගියා වූද, (තව තවත් දිරා යන්නා වූද) මේ ශරීරය ලෙඩ රෝගවලට
නිවාසයකි. වහා කැඩී බිඳී යන සුළුය. මේ ජීවිතය මරණය අන්ත කොට ඇත්තේ ය. (නව දොරකින්)
කුණු වැගිරෙන මේ ශරීරය වහා බිඳී යන්නේ ය.
අට්ඨිනං නගරං කතං
- මංසලෝහිත ලෝපනං
යත්ථ ජරා ච මච්චු ච
– මනෝ මක්ඛෝ ච ඕහිතෝ
මේ ශරීරය වනාහි ජරාවත්, මරණයත්, මානයක්, ගුණමකු බවත් ගබඩා කරන ලද නගරයක් වැනි ය.
මේ ආදී දේශනා තුළින් ශරීරයක සැබෑ තතු පැහැදිලි නොවන්නේ ද? එබැවින් මේ ශරීරය පිළිබඳ
අධික මානයෙන්, ආඩම්බරකමින් ජීවත් වීම අඥාන ක්‍රියාවකි. මහපොළවට පස් වී යන රූප කායක්
රැගෙන මාන්නයෙන්, ඊර්ෂ්‍යාවෙන්, රාගයෙන් ජීවත් වීම උසස් මනසක් ලැබූ සත්ත්වයාට නො
ගැළපෙන්නකි. ශරීරයේ සැබෑ තතු ධර්මානුකූලව දැක තම තමන්ගේ යුතුකම්, වගකීම් ඉෂ්ඨ සිද්ධ
කරමින්, පින්දහම් සිද්ධ කරමින්, ගුණධර්ම පුරමින් ජීවත් විය යුතු ය. ‘රූපං ජීරති
මච්චානං නාම ගොත්තං න ජීරති’ රූපය දිරා යයි. නාමය නො දිරයි. එනම් හොඳ කටයුතු කර
හොඳනමක් දරමින් මිය යෑම වැදගත් වන බවයි. |