කරණීය මෙත්ත සූත්‍රයෙන් ...:
කලබල නැත ඉවසීම ඇත
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රීමූර්ති
මහා නා හිමි
‘අප්පගබ්භෝ’ නම් ප්‍රගල්භ නොවූ යන අර්ථ දෙයි. ප්‍රගල්භ බව නම් ලජ්ජා නැති,
නොහික්මුණු, තැන්පත් බවක් නොවූ, දරදඬු ස්වභාවයයි. අප්පගබ්භ තැනැත්තා තැන්පත් ගති
ගුණ ඇත්තෙකි. කලබල නැත. ඉවසීමෙන්, බුද්ධිමත් බවින් කටයුතු කරයි. හිතුවක්කාරී නොවේ.
සිත, කය, වචනය යන තිදොරින් සංවරය.
විශේෂයෙන් මෛත්‍රී භාවනාව වඩන භික්ෂූන් වහන්සේ ප්‍රගල්භ ගති ලක්ෂණයන්ගෙන් තොර විය
යුතුය. උන්වහන්සේ සම්බන්ධයෙන් කාය සංවරය ඉතා වැදගත්ය. අත් පා ඇතුළු ශරීරාංගවලින්
නොහික්මුණු , දරදඬු ක්‍රියා කරන්නේ නම් එය භික්ෂූත්වයට නොගැළපේ. උන්වහන්සේ අන්‍ය
භික්ෂූන් වහන්සේට අගෞරවයක් වන ලෙස නො හැසිරිය යුතුවේ. වේගවත් කතාව, ඝෝෂා කිරීම,
ගරුත්වය නොදැක්වීම ආදි දරදඬු ක්‍රියාවලින් වැළකිය යුතුවේ. බණ පදයක් දෙකක් දැන ගත්
පමණින් මා උගත්යැයි මාන්නයෙන් යුතුවීම නොගැළපේ. තරුණ මදයෙන්, ආරෝග්‍ය මදයෙන්, ජාති,
කුල ගෝත්‍ර මදයෙන්, කීර්ති ප්‍රශංසාවන්ගෙන් මත්වීම, ද ප්‍රගල්භ ගති ඇත්තාගේ
ස්වභාවයයි.
මහජන සම්බන්ධතා පැවැත්වීමේ දී කාම සිතිවිලි (කාම විතර්ක) වෛරී සිතිවිලි (ව්‍යාපාද
විතර්ක) අනුන්ට හිංසා පීඩා කරන සිතිවිලි (විහිංසා විතර්ක) ඇති නොවන ලෙස කටයුතු
කිරීම භික්ෂූන් වහන්සේගේ වගකීමකි. කතා කිරීමේදී උන්වහන්සේ පරෙස්සම් විය යුතුය.
අනවශ්‍ය කතාවෙන් වැළකීම, ප්‍රමාණවත් කතාව, නුසුදුසු වචනයෙන් වාද විවාද කිරීම,
භික්ෂුවට සුදුසු නැත. අප්‍රසන්න සිතිවිල්ලෙන් මෙන්ම දරදඬු සිතිවිලිවලින් ද තොර විය
යුතුය. අන් අයට බනින්නට, පහර දෙන්නට, උගුල් අටවන්නට, හිරිහැර කරන්නට, නින්දා
කරන්නට, සිතීම ප්‍රගල්භ ලක්ෂණයන්ය.
‘අප්පගබ්භෝ ගුණය ගිහි ජීවිතයේ ළමා, තරුණ, වැඩිහිටි සියල්ලන් කෙරෙහිම වර්ධනය කර ගත
හැකි මාහැඟි ගුණධර්මයකි. පුද්ගල පෞරුෂය ඔපවත් කරන,අගය කළ හැකි, සියල්ලක් අගය කරන
යහපත් චරිත ලක්ෂණයකි. අපේ සමහර ළමයින්, තරුණ දරුවන් හිතුවක්කාරය. දරදඬුය. කියන දේ
සැලකිල්ලට නොගන්නේය.මවුපිය , වැඩිහිටි, ගුරුවරුනට,අකීකරුය. සමහරු තමන්ට නො ගැළපෙන
වාද විවාදයන්හි පැටලෙති. ඇසැබි වදන් කියති. එක කුස උපන් සහෝදර සහෝදරියන් සමඟද
ගැටුම්ය. සම වයස් කණ්ඩායම් සමඟ ගැටුම්ය. පාසල් උපකරණ පවා ඇතැම් දරුවෝ කඩා බිඳ දමති.
සමහර විශ්වවිද්‍යාලවල සිදු කෙරෙන නවක වදය ප්‍රගල්භ ලක්ෂණයන් ගේ ඵලයන්ය.
සමහර තරුණ තරුණියන්ගේ විලාසිතා දෙස බලන්න. තරුණ මදයෙන් මත් වූ ඔවුන්ට අඳින ඇඳුම
තමන්ට සුදුසුද, තැනට උචිතද යන වගක් නැත. කෙස් රවුළු කැපීම් පවා අපිළිවෙළය. තමන්
විසින්ම සමාජයේ විහිළුවට ලක් වන්නේය. වැඩිහිටියන්ගේ අප්‍රසාදයට , අනවශ්‍ය
පෙළඹවීම්වලට ලක් වන්නේය.ඇතැම් අය බාහිර මෙන්ම නිවෙසේ පරිසරයද අවුල් කරගෙනය. පාවහන්
ගැලවූ තැන්වලය. අපිරිසුදු ඇඳුම් තැන තැනය. පොත පත කියවු තැනමය. පොත් පිටු පුරා ඇඳි
පෑන් ඉරිය. කිළිටි වී ගිය කවරය. මේ අපිරිසුදු බව, අපිළිවෙළ තීරණය කරන්නේ මේ
දරුවන්ගේ හෙට දවස නොවේද?
ඔවුන් අනාගතයට ගෙන යන්නේද මේ පුරුදුමය. ජීවිතයට කා වැදුණූ පුරුදු, ඇබ්බැහි වීම්
වෙනස් කළ නොහැකිය.
මැටි පිඬකට වටිනාකමක් ලැබෙන්නේ එයින් නිමැවෙන දේ අනුවය. මැටි පිඬ රිසි පරිදි
හසුරුවමින් අලංකාර නිමැවුමක් ප්‍රයෝජනවත් භාණ්ඩයක් තැනීමට හැකි වන්නේ එය වියළෙන්නට
පෙරය. නිම කළ බඳුනේ මල් වැල්, මෝස්තර රටා ඇඳෙන්නේද වියළෙන්නට පෙරය. බඳුන විනාශ වන
තුරුම ඒ රටා සුරැකේ. පුංචි දරුවාද එවැනිය. කුඩා කල ඇසෙන පෙනෙන දේ ගලේ කෙටූ අකුරක්
සේ හිතේ ඇඳේ. වෙනස් නොවේ. කුඩා කල ජීවිතය ඉගෙන ගන්නේ ඇසෙන පෙනෙන දෙයිනි.
අත්දැකීම්වලිනි. මේ නිසා අම්මා තාත්තා ආදර්ශමත් විය යුතුය. දරුවා වයසින් මෝරන්නට
පෙර හොඳ දේ ඇසෙන්නට පෙනෙන්නට සැලැස්විය යුතුය. දරුවාගේ හැසිරිම් යහපත් ලෙස හසුරුවා
ගත යුතුය.
බුදුරජාණන් වහන්සේ මවුපියන් ‘පුබ්බාචරිය’ ලෙස හඳුන්වා ඇත්තේ මේ නිසාය. මවුපියන්
දරුවන්ගේ මුල් ගුරුවරුන්ය. ඔවුන් ප්‍රගල්භ නම්, එනම් හිතුවක්කාරී නම් දරුවාද යන්නේ
ඒ මඟය. වැඩිහිටි වු පසු ඒ හැසිරීම් වෙනස් කිරීම අසීරුය. වියළි මැටි පිඩකින් සාර්ථක
නිර්මාණයක් තැනිය නොහැකි මෙනි. ප්‍රගල්භ ගති පැවතුම් ඇත්තා කවරෙක් වුවද ඔහුගේ
ජීවිතය අවලස්සනය. අප්පගබ්භ ජීවිතය මිනිසා සුවඳවත් කරන්නේය.
රමණී සුබසිංහ |